සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකදීම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 248 වැනි කතිකාව ‘නඩු ප්‍රමාදය අවම කිරීම යතාර්ථයක් කර ගැනීම සඳහා ගත යුතු ප්රවේශයන් මොනවා ද ?’ යන තේමාව යටතේ පසුගිය දා පැවැත්විණි. මෙවර කතිකාව සංවාදයේ සම්පත්දායකයින් ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා සහ නීතිඥ දුලාන් දසනායක මහතා සහභාගී වූ අතර නීතිඥ ගයත්‍රී නවරත්න මහත්මිය විසින් සංවාදය මෙහෙයවනු ලැබුවාය. මෙම සංවාදය ඇසුරින් මෙම ලිපිය සම්පාදනය ක ඇත.
නඩු ප්‍රමාදයන් වැළැක්වීමට අගවිනිසුරුතුමා ගෙන ඇති නව වැඩපිළිවෙළ අපි සියලු දෙනාම නොමසුරුව සහාය දෙමු – මහාචාර්ය රොහාන් සමරජීව
වර්තමානය වන විට මෙරට අධිකරණ පද්ධතිය තුළ නොවිසඳන ලද නඩු ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව වාර්තා වේ. මේ අතර පසුගිය කාලය තුළ බලයට පත් වූ ආණ්ඩු සහ අධිකරණ අමාත්‍යවරුන් මෙම නඩු විභාගය ප්‍රමාදය වැළැක්වීමට විවිධාකාර පියවර අනුගමනය කළ ද අද ද එය නොවිසඳුණු ගැටලුවක් බවට පත්ව තිබේ.
2017 වර්ෂයේ දී පමණ වන විට මෙරට අධිකරණ පද්ධතිය තුළ නඩු විශාල සංඛ්‍යාවක් නොවිසඳී පැවැති අතර ඒ සම්බන්ධයෙන් රජය, අධිකරණ අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කළේය. මේ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධ කර ගැනීම සඳහා සහ මෙම ගැටලුවට විසඳුම් ලබාදීම කළ හැකි වන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා Ernst & Young Consulting සමාගම පුළුල් අධ්‍යනයක් කළේය.
- කාලය අඩු කිරීමේ වැදගත්කම
මෙහිදී අදාළ අධ්‍යයනය කරුණු ගණනාවක් හෙළිකර ගත්තේය. එම වාර්තාවට අනුව ඇතැම් නඩු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතර ඉන් ඉහළට යාමක් සිදු නොවේ. නමුත් මහාධිකරණයේ විභාග වන නඩු අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඉදිරියට යන අතර මෙම නඩු විභාග කර තීන්දුවක් ලබාදීමට සැලකිය යුතු කාලයක් ගත වේ.
මෙරට අධිකරණ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අලි සබ්රි මහතා වරක් ප්‍රකාශ කළ ආකාරයට මහාධිකරණයේ විභාග වන අපරාධ නඩුවක අවසන් තීන්දුව ලබාදීමට වසර 9.5කට ආසන්න කාලයක් ගත වන අතර බොහෝ විට මෙම කාලයට වඩා වැඩි කාලයක් ගත වීමට ද හැකියාව තිබේ. මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය ගිය හොත් තවත් සැලකිය යුතු කාලයක් ගත වන අතර අභියාචනාධිකරණය තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ හැකියාව ද පවතින හෙයින් අවසන් තීන්දුව (ශ්‍රේෂ්ඨාධිකරණය) තවත් කාලයක් ගත වේ. මේ අනුව මහාධිකරණයේ විභාග වූ අපරාධ නඩුවක්, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් අවසන් තීන්දුව ලැබීමට ගත වන කාලය දීර්ඝ කාලයක් විය හැකිය.
“1997 දී මිනී මැරුම් නඩුවකට චෝදනා ලැබූ කාන්තාවකට නිදොස් කොට නිදහස් කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණේ 2025 දී.” කතිකාවට ප්‍රවේශයක් ගනිමින් මහාචාර්ය රොහාන් සමරජීව සඳහන් කළේය. මෙම උදාහරණය සමඟ මහාචාර්ය මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ නඩු ප්‍රමාදය බරපතළ ප්‍රශ්නයක් ලෙස සැලකීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාධක පවතින බවයි.
මෙහිදී යළි හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා නීතිඥ සංගමයේ 47 වන වාර්ෂික සම්මේලනයේ දී කළ ප්‍රකාශයක් උපුටා දැක්වූ මහාචාර්ය සමරජීව ගිවිසුමක් බලාත්මක කිරීමට ගත වන සාමාන්‍ය කාලය දින 1318ක් බව ද කීවේය.
- නව ක්‍රමවේදයක්
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම නඩු ප්‍රමාදය ගැඹුරින් සලකා බැලූ බව කී මහාචාර්ය සමරජීව එම ආයතනය නඩු ප්‍රමාදය දුටු ආකාරය ද පැහැදිලි කළේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්ය රොහාන් සමරජීව මහතා, “නඩු ප්‍රමාදය ජන ජීවිතයට පමණක් නොව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් තීරණාත්මක ගැටලු නිර්මාණය කරන බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අදහස වුණා. නමුත් ඔවුන් මේ ප්රශ්නය දැක්කේ වෙනමම ආකාරයකට. ලංකාවේ අධිකරණ අන්තර් සම්බන්ධිත පද්ධතියක් ලෙසයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවගේම නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක ඇතුළු තවත් ආයතන ගණනාවක් මේ ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනවා. මේ සියලු පද්ධතිවල එකතුවක් ලෙස තමයි යම් අපරාධ නඩුවක අවසාන තීන්දුව එන්නේ. යම්කිසි ආකාරයකින් මේ එක ආයතනයක හෝ ප්‍රමාදයක් ඇති වුණොත් අවසාන තීන්දුවට එය බලපෑමක් කරනවා, තීන්දුව ලබාදීම ප්‍රමාද වෙනවා. මේ සංකීර්ණ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කිව්වා ‘විශාල වෙනසක් නොකර මේ අන්තර් සම්බන්ධිත පද්ධතියට තොරතුරු දර්ශනය යොදලා, මේ නඩුවල ප්‍රගතිය අදාළ බලධාරීන්ට පෙනෙන ආකාරයට සකස් කරන්න පුළුවන් කියලා. මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේ මලයාසියාවේ මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි. එහි ප්‍රගතිය අනුව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මලයාසියාවේ මෙන් නඩු ප්‍රමාදය කෙරෙහි ම යොමු වූ පද්ධතියක් ලංකාවටත් යෝජනා කළත් මුදල් ප්‍රශ්න ඇතුළු විවිධ හේතු මත මෙම වැඩපිළිවෙළ අතහැර දැමීමට සිදු වුණා”.
- යළි පණ දීම
තමා ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා ලෙස පත් වූ පසු තාක්ෂණ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වූ නීතිඥ අජිත් පී. පෙරේරාගේ ද සහාය ඇතිව ඉහත සඳහන් කරන ලද වැඩපිළිවෙළ යළි ආරම්භ කිරීමට පියවර ගත් බව මහාචාර්ය සමරජීව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ මෙම වැඩපිළිවෙළ හරහා අධිකරණ කටයුතු කාර්යක්ෂම වුව ද එහි ව්‍යුහාත්මක වෙනසක් සිදු නොවූ බවයි. මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් ඔහු මෙසේ ද සඳහන් කළේය, “අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඇතුළු අදාළ සියලු දෙනාටම මේ කරුණු ඉදිරිපත් කරලා මේ වන විට අකර්මන්‍යව පැවැති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු කියලා කිව්වා. මෙහිදී වැදගත් කරුණක් සිහිපත් කළ යුතුයි. විශාල වශයෙන් තාක්ෂණය භාවිතා කරන්නේ නඩු දින නියම කිරීම වැනි වැඩවලට පමණයි. ඒ වගේ නීතිපති දෙපාර්තුමේන්තුව, රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවලින් ලබාගත යුතු ලිපි ලේඛන ආදිය තාක්ෂණය හරහා ලබා ගැනීමට සැලසුම් කළා. මේ හරහා අදාළ කටයුතුවලදී සිදුවිය හැකි ප්‍රමාදයන් අඩු කිරීමට හැකියාව ලැබෙනවා වගේම නඩු ලේඛන ගත කිරීම ආදිය හරහා නීතිඥයින්ට විශාල පහසුවක් ලැබෙනවා. නමුත් නඩු අහන විදිහට, සාක්ෂි ලබා දෙන ආකාරය වෙනස් වෙන්නේ නැහැ. මේක බොහොම නිහතමානීව, වැඩ අවුල් නොකර කරන්න හදපු උත්සාහයක්”
- පද්ධතිමය වෙනසක්
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට යාමේදී තවත් මතයක් ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ අදහස වූයේ අපරාධ නඩු අසන ආකාරය ද වෙනස් විය යුතු බවයි. සාක්ෂි ලබාදීම ආදිය අධිකරණයට නොපැමිණ තාක්ෂණය හරහා කළ හැකි ආකාරයට වෙනස්කම් සිදුකළ යුතු බව ඔවුහු යෝජනා කළහ.
මහාචාර්ය සමරජීව මෙහිදී පෙන්වා දුන්නේ එවැනි වැඩපිළිවෙළක් ඒ වන විට ද යම් ප්‍රමාණයකට හඳුන්වා දී තිබූ බවයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම වැඩපිළිවෙළට යම් ‘ගැම්මක්’ ලැබුණු බව කී ඔහු වාණිජ මහාධිකරණය තුළ පමණක් 2025 වන විට කල් දැමූ නඩු 6146 තිබූ බව හෙළි කළේය. මෙම වානිජ නඩුවල සාක්ෂිකරුවන් සහ පාර්ශ්වකරුවන් ඇතැම් විට ලංකාවේ වාසය නොකරන බවත් එවැනි පුද්ගලයින්ට තාක්ෂණික පහසුකම් හරහා සාක්ෂි ලබාදීමේ යම් වැඩපිළිවෙළක් ඒ වන විටත් ආරම්භ කර තිබූ බව මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අධිකරණ අමාත්‍යවරයා වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට පියවර ගත්තේය. මේ වෙනුවෙන් අවශ්‍ය සක්‍යතා අධ්‍යයන ආදිය මේ වන විට අවසන්ව පැවැති අතර එම අධ්‍යයන පදනම් කරගෙන මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අධිකරණ අමාත්‍යවරයා තීරණය කළේය. එහෙත් අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත්ව යාම සහ ආර්ථික ගැටලු සමඟ මෙම වැඩපිළිවෙළ අතරමග නතර වූ බව මහාචාර්ය රොහාන් සමරජීව කීවේය.
- වත්මන් තත්ත්වය
“මේ අතර තමයි වත්මන් අගවිනිසුරුතුමා පත් වෙන්නේ. මේ අතර අපට ආරංචි වුණ එතුමා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී අපි ගෙන ගිය වැඩපිළිවෙළ ගැන එතුමා යම් වැඩ කටයුත්තක් කළ බව. ඒ වගේම මේ ප්රශ්නය ගැන එතුමගේ මුල් කාලයේ සිටම උනන්දුවක් තිබිලා තියෙනවා. නඩු ප්‍රමාදය වළක්වා ගැනීමට තාක්ෂණය භාවිතා කළ හැකි ආකාරය ගැනත් එතුටමට උන්නදුවක් තිබිලා තියෙනවා. නමුත් එතුමා අගවිනිසු ලෙස පත් වූ පසු තාක්ෂණයට වඩා වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ මානව සාධක වෙතයි”
නඩු කැඳවන අවස්ථාවේ විත්තියේ හෝ පැමිණිල්ලේ නීතිඥයින් විවිධ කරුණු ඉදිරිපත් කරමින් නඩු කල් දමන ලෙස ඉල්ලා සිටින අතර, මෙම ඉල්ලීම් නිසා ඇතැම් විට මාස ගණනකින් නඩු කල්යාම සිදුවේ. වර්තමානය වන විට නඩු කැඳවීමට දින දීම සම්බන්ධයෙන් ගුණාත්මක වෙනසක් සිදුව ඇති බව නීතිඥයින්ගේ අදහසයි.
“මේ වන විට පුද්ගලික හේතු මත නඩු දින ගැනීමට නීතිඥයින්ට හැකියාවක් නැහැ. ඒ යුගය අවසන් වෙලා” යැයි නීතිඥයින් කිහිප දෙනෙකු තමාට පැවසූ බව මහාචාර්ය සමරජීව කීවේය.
“මේ තත්ත්වය තුළ ඉස්සරට වඩා වේගයෙන් නඩු විභාග වීම සිදුවෙන්න පුළුවන්. ඒ වගේම අගවිනිසුරුතුමා පැහැදිලි නායකත්වයක් දීලා තියෙනවා. ඒ වගේම පසුගිය දා නඩු භාණ්ඩ පිළිබඳ පැරණි චක්‍රලේඛයක් නැවත බලගන්වලා තිබෙනවා. මේ චක්‍ර ලේඛනය අනුව නිවාඩු දිනවල පවා වැඩකර අදාළ නඩු භාණ්ඩ සම්බන්ධ කටයුතු කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව අදාළ අධිකරණවලට දැනුම් දී තිබෙනවා” මහචාර්ය සමරජීව සඳහන් කළේය.
මෙහිදී ඔහුගේ අදහස වූයේ අදාළ සියලු කටයුතු ‘හොඳ’ බවයි.
- නඩු කල් යන ඇත්ත හේතු
“ඒ කැපවීම, ඒ නායකත්වය අනිවාර්යයෙන් තිබිය යුතුයි. නමුත් මේක ඇද්ද ? කියන ප්රශ්නය මම අහනවා. ඒ කියන්නේ අවසානයක් නොදුටු නඩු 11,38,918ක් තිබෙන බව 2025 පෙබරවාරී මාසයේදී අධිරණ අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තු අනු කමිටුවට දැනුම් දීලා තිබෙනවා. මෙච්චර නඩු ප්‍රමායක් තිබියදී වත්මන් වැඩපිළිවෙළ ප්‍රමාණවත් ද ? කියන ප්රශ්නය මම යළි විමසනවා. මේකට හේතුව කුමක් ද ?, නඩු කල් දැමීමට ඉඩ දීම ද, නීතිඥයින් නඩු කල් දමන ලෙස ඉල්ලීම ද ?, එපමණක්ද ? කියන එකයි අපට තිබෙන ප්රශ්නය. අපි බොහෝ විට අහන දෙයක් තමයි, ‘නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබිලා නැහැ’ කියලා නඩු කල් යනවා කියන එක. අපට මේ ප්‍රමාදයන් නිවැරදි කරන්න පුළුවන්” යැයි පෙන්වා දුන් මහාචාර්ය සමරජීව මෙහිදී පෙන්වා දුන්නේ විවිධ හේතු මත නීතිඥයින් නඩු කල් දමා ගැනීමට දින ඉල්ලීමට වඩා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු නඩු පවරන ආයතනවල ප්‍රමාදයන් ද නඩු කල් දැමීමට බොහෝ විට හේතු වන බවයි.
“නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතවලින් සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට අපට පුළුවන්ද ?, ඒවා ඉවත් කළ යුතුයි නේද ? කියන එක අපි සලකා බැලිය යුතුයි. හුදෙක් නීතිඥයින් නඩු කල් දමා ගැනීමට දින ගැනීම පමණක් නොවෙයි මේකට හේතුව, නීතිපති දෙපාර්තමේන්තුව, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතනවල ප්‍රමාදයන් මේකට හේතුව නම්, එම ප්‍රමාදයන් වළක්වා ගැනීමට පියවර ගතයුතුයි නේද කියන ප්රශ්නය විමසිය යුතුයි” මෙහිදී නඩු කල් යාමට තවත් සාධකයක් ද මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය.
ලංකාවට ප්‍රමාණවත් තරම් අධිකරණ විනිශ්චයකාරවරුන් නොමැති අතර මේ ගැටලුවට විසඳුම් සෙවීමට ද හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා යම් යම් පියවර ගත්තේය.
“20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත වන අවස්ථාවේ එක හොඳ දෙයක් කළා, (සාධාරණ සමාජය මෙම ව්‍යවස්ථා සංශෝධනය දැඩිව හෙළා දැක්කේය) ඒ කියන්නේ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කළා. අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට පෙර අභියාචනාධිකරණයේ අවසන් නොවුණ නඩු 4172ක් තිබුණා. ඒ අනුව ඊට පෙර තිබුණ නඩු සංඛ්‍යාව ගැන අපට අවබෝධයක් ලබා ගන්න පුළුවන්” බව මහාචාර්ය සමරජීව සඳහන් කළේය.
- සිල්ලර ප්‍රශ්න
ඉහත දක්වන ලද ප්‍රධාන ප්‍රශ්නවලට අමතරව තවත් ‘සිල්ලර’ ප්‍රශ්න ගණනාවක් ද පවතින බවත් විශේෂයෙන් අධිකරණයේ නඩු ලේඛනගත කරන යතුරු ලේඛිකාවන්ගේ සැලකිය යුතු අඩුවක් පැවතීම ද නඩු ප්‍රමාදයට සැලකිය යුතු හේතුවක් වී ඇති බවත් මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේ ය.
නඩු ලේඛනගත කිරීමට සාම්ප්‍රදායික යතුරු ලියනය භාවිතා කිරීම වෙනුවට නවීන තාක්ෂණය යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තමා අගවිනිසුරුවරයාගෙන් අදහස් විමසූ බව කී මහාචාර්ය සමරජීව ඒ සම්බන්ධයෙන් තමාට පැහැදිලි පිළිතුරක් නොලැබුණු බව ද සඳහන් කළේය.
‘මේ ගැනත් අපි ටිකක් කල්පනා කළ යුතුයි’ ඔහු යළි අවධාරණය කළේය.
“යතුරු ලේඛිකාවන් අලුතින් හදන්න බැහැ, රටේ එවැනි ඉල්ලුමක් නැහැ වගේම එවැනි පාඨමාලාත් නැහැ. ඒ වගේම මෙවැනි රැකියාවට දැන් ඉල්ලුමකුත් නැහැ. ඒ නිසා ක්ෂය වෙමින් යන මේ වෘත්තිය වෙනුවට තාක්ෂණික වශයෙන් කටයුතු කළ හැකි ඵලදායී විකල්පයක් වෙත කඩිනමින් යොමු විය යුතුයි” යැයි මහාචාර්යවරයා යළි අවධාරණය කළේය.
- කෘත්‍රිම බුද්ධියට ඉඩ ?
නඩු තීන්දු ඉතා දීර්ඝ (පිටු 70-80) බවත්, කවුරුන් විසින් හෝ ඒවා අතින් ලිවීම විස්මයට කරුණක් බවත් පෙන්වා දුන් මහාචාර්ය සමරජීව මෙය අතිෂය කල්ගත වන ක්‍රියාවක් බව තම අදහස බව ද කීවේය.
“සමහරු කියනවා මුළු දවසම නඩු අහලා තීන්දුව දෙන්න පුළුවන් නේද ? කියලා. නමුත් මුළු දවසම නඩු ඇහුවොත් තීන්දුව ලියන්නේ කවුද ?, කොයි වෙලාවේ ද, රාත්‍රියේ ද ?, මේක අධිකරණය සම්බන්ධයෙන් තිබෙන ඉතාම වැරදි ආකල්පයක්. අධිකරණමය කටයුතු වල අපි දකිනවාට වඩා විශාල කාලයක් ගත වෙනවා. මේක බාහිර පුද්ගලයින්ට පේන්නේ නැහැ. මම මේ ගැන සොයා බැලීමට තීරණය කළා, ‘විදේශ රටවල මේ සම්බන්ධ පූර්වාදර්ශ තිබෙනවාද ?’ කියලා සොයා බැලුවා. බ්‍රසීලය වාර්ෂිකව නඩු මිලියන ගණනක් ගොනු කරන රටක් වගේම විශාල වශයෙන් නඩු ප්‍රමාද වන රටක්. මේ ගැටලුවට විසඳුමක් ලෙස බ්‍රසීලය කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම ආරම්භ කර තිබෙනවා. නමුත් මෙහිදී උපකාරක දේවල් කරනවා මිස අවසන් දෙයක් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ තාක්ෂණය අවසන් වශයෙන් විශ්වාසනීය තත්ත්වයට පැමිණ නැහැ. නමුත් එමඟින් 70%ක්, 80%ක් නිවැරදි තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ තුළ කටයුතු කරන බ්‍රසීල නිලධාරීන් කියන්නේ කෘත්‍රිම බුද්ධිය හරහා යම් ප්‍රමාණයකට කටයුතු කළත් එහි නිරවද්‍යතාව සම්බන්ධයෙන් තමන් 100%ක්ම වගකීම බාර ගන්නා බවයි” මෙම ක්‍රියාවලිය හරහා වේගවත් ලෙස ලේඛන ගත කිරීම් කිරීමට අවස්ථාව ලැබුණ ද අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත.
“දැන් නීතිඥවරුත් මේ වැඩේට බැහැලා. දැන් නඩු දාන එක වැඩි වෙලාලු” යැයි සඳහන් කළ මහාචාර්යවරයා චීනය මේ වන විට අධිකරණ කටයුතු වලදී කෘත්‍රිම බුද්ධිය බහුලව භාවිතා කරන බ බව ද පෙන්වා දුන්නේය.
- අගවිනිසුරුගේ නව ප්රයත්නය
නඩු ප්‍රමාද වීම පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට අගවිනිසුරුවරයා ගෙන තිබෙන ප්රයත්නය අගය කළ මහචාර්ය සමරජීව නඩු භාණ්ඩ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂම කටයුතු කළ ආකාරයට ද අගය කළේය.
“අපි සියලු දෙනාම මේ වැඩපිළිවෙළට සහයෝගය ලබාදිය යුතුයි. විශේෂයෙන් අපි නීතිඥවරුන්ගෙන් ද ඉල්ලන්නේ, කරුණාකරලා මේ වැඩපිළිවෙළට සහාය ලබා දෙන්න’ කියලයි. මේ ක්‍රමය තුළ නීතිඥවරුන් යම් කිසි ආකාරය පීඩනයකට ලක් වෙන්න පුළුවන්. නමුත් ඒ පීඩනයට වඩා නඩුවක් දිගින් දිගටම ප්‍රමාද වීම නිසා ජනතාවට, සමාගම්වලට ලබන්න වෙන පීඩනය, අසහනය සහ අලාභය වැඩියි. ඒ නිසා අපි සියලු දෙනාම මේ නව වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබාදීලා මේ ප්රශ්නය විසඳීමට අගවිනිසුරුතුමාට සහ අධිකරණ සේවා කොමිෂමට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙමු කියලා මම ඉල්ලා සිටිනවා”යැයි මහාචාර්ය රොහාන් සමරජීව සඳහන් කළේය.

අධිකරණයේ සහ නීතිඥයින්ගේ ගැටලු විසඳීම තුළින් පමණක් නඩු ප්‍රමාදය වළක්වා ගන්න බැහැ – නීතිඥ දුලාන් දසනායක
‘යුක්තිය ඉටුවීම ප්‍රමාද වීම යුක්තිය ඉටු නොවුණා හා සමානය’ යනුවෙන් නීති ක්ෂේත්රය තුළ ප්‍රකට කියනමක් තිබෙන අතර ජනතාවගේ අපේක්ෂාව වන්නේ ද කඩිනමින් යුක්තිය ඉටුවනු දැකීමය. එහෙත් අධිකරණ ක්ෂේත්රය තුළ පවතින ප්‍රායෝගික ගැටලු සහ දුෂ්කරතා හේතුවෙන් නඩු විභාගය දිගින් දිගටම ප්‍රමාද වන අතර එය කඩිනමින් විසඳා ගත යුතු ගැටලුවක් බවට පත්ව තිබේ.
කතිකාවට එක් වෙමින් නීතිඥ දුලාන් දසනායක සඳහන් කළේ ‘නඩු ප්‍රමාදය දීර්ඝ කාලයක් පුරා පවතින ගැටලුවක්’ බව කවුරුත් පිළිගන්නා බවයි. පසුගිය කාලය පුරා බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර ඔවුන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශන වල නඩු ප්‍රමාදය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බවට ප්‍රතිඥා දී ඇති බව ද නීතිඥ දුලාන් මෙහිදී සිහිපත් කළේය.
- අලි සබ්රිගේ භූමිකාව
“වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුවත් නඩු ප්‍රමාදය අවම කිරීමට පියවර ගන්නා බවට පොරොන්දුවක් ලබා දී තිබෙනවා” යැයි පෙන්වා දුන් නීතිඥවරයා නඩු ප්‍රමාදය අවම කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට වඩාත් ප්‍රායෝගික පියවර ගත් අධිකරණ අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අලි සබ්රි මහතා බව ද පෙන්වා දුන්නේය.
නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා වර්තමානයේ දී ගෙන ඇති පියවර පැහැදිලි කරමින් නීතිඥ දසනායක පෙන්වා දුන්නේ මේ වන විට ඒ සම්බන්ධ පැහැදිලි ප්‍රගතියක් දැක ගැනීමට හැකි බවයි.
ඔහු තම අදහස තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද සඳහන් කළේය, “අලි සබ්රි මහතා නඩු ප්‍රමාදය අවම කිරීම වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් දියත් කළත් මේ ගැටලුවට තිරසර විසඳුමක් ලබා දෙන්න නොහැකි වුණා. ආර්ථික අර්බුදය ඒකට ප්‍රධාන හේතුවක් විය හැකියි. ඊට පසුවත් USAID ආධාර යටතේ විශාල වැඩ කොටසක් කළා, නව අධිකරණ ඉදිකළ අතර වීඩියෝ පටිගත කිරීමට ඇතුළු නවීන තාක්ෂණික පහසුකම් ලබා දුන්නා. නමුත් මේ වන විට එම වැඩපිළිවෙළ නතර වෙලා තිබෙනවා. මේ වන විට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළේ වැදගත්ම ලක්ෂණයක් තමයි අගවිනිසුරුතුමාගේ සහභාගීත්වයෙන් මේ සම්බන්ධ සාකච්ඡාවක් ඇති වීම සහ ඒ සම්බන්ධයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වීම. මම දන්නා ආකාරයට අධිකරණ සේවා කොමිෂම මේ වන විට සියලුම විනිසුරුවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් දීලා චක්‍ර ලේඛයක් නිකුත් කරලා තියෙනවා. විනිසුරුවරුන් මේ උපදෙස් පිළිගන්නා බව අපට ප්‍රායෝගිකව දැක ගන්නත් පුළුවන්. නීතිඥයින් නඩු කල් දමන ලෙස ඉල්ලීම් කළත් ඒවාට ඉඩ නොදීම සහ ඇතැම් නඩු එදිනම සමථකරණය කිරීම අපට දැන් දැක ගන්න පුළුවන්. මේ අනුව නඩු අවසන් කිරීම සඳහා සැලකිය යුතු වැඩපිළිවෙළක් දියත්ව ඇති බව අපට මේ වන විට දැක ගන්න පුළුවන්”.
- නිර්මාණාත්ම පියවර
මේ වන විට ඇතැම් උසාවි නඩුවේ පියවරයන් පරිඝණක ගත කිරීම ආරම්භ කර ඇති බවත් මේ හරහා කාලය සැලකිය යුතු ලෙස ඉතිරි වන බවත් නීතිඥවරයා කීවේය.
“මේක ඉතාම ධනාත්මක වැඩක්. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන උසාවි වල හවසට නීතිඥයින්ට වට්ස්අප් හරහා නඩුවට කුමක් ද වුණේ, එහි ඉදිරි පියවර මොකක්ද කියලා දැන ගන්න සලස්වා තිබෙනවා. මේ හරහා ඉදිරියට කළ යුතු කුමක්ද කියලා නීතිඥයින්ට දැන ගැනීමට අවස්ථාව හිමිවෙනවා. ඒ වගේම අදාළ උසාවියේ නොසිටියත් නඩුවට අදාළ ඉදිරි පියවර ගැන ඉතා කෙටි කාලයක් තුළ අදහසක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. කාල කළමනාකරණයට අදාළ සමහර පොඩි වැඩ ටිකක් සමහර උසාවි නිර්මාණශීලීව කරමින් සිටිනවා” නීතිඥ දුලාන් සිය අත්දැකීම් ඇසුරින් තව දුරටත් පැහැදිලි කළේය.
- අධිකරණය පමණක් ප්‍රමාණවත් ද ?
නඩු ප්‍රමාදය වැළැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ‘අධිකරණ ක්ෂේත්රය පමණක් කටයුතු කිරීම ප්‍රමාණවත් ද ?’ යන සංවාදයක් නිර්මාණය වී තිබෙන බව නීතිඥ දුලාන් දසනායක මෙහිදී පෙන්වා දුන්නේය. මෙවැනි පියවරක් හරහා නීති ක්ෂේත්රයට පමණක් පාලනය කරගත හැකි දේට පමණක් විසඳුම් ලැබෙන බව පෙන්වා දුන් දුලාන් බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන තවත් ගැටලු ගණනාවක් ද තිබෙන බව ද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ නීතිඥ දුලාන් දසනායක මෙසේ ද සඳහන් කළේය, “අපි බොහෝ දෙනෙක් කතා නොකරන තවත් ගැටලු ගණනාවක් තිබෙනවා. ඒ අතර තිබෙන, නමුත් සාකච්ඡා නොවන බරපතළ ගැටලුවක් තමයි මිනින්දෝරු මහත්වරුන්ගේ ගැටලු සහ ප්‍රමාදයන් හේතුවෙන් ඉඩම් නඩු ඇතුළු නඩු ප්‍රමාදයන් බහුලව සිදුවෙනවා. මෙවැනි තාක්ෂණික ගැටලු විසඳා ගැනීමට වෙනත් ක්‍රමයක් නැහැ. මේ ආකාරයෙන් අධිකරණමය කටයුතුවලට සම්බන්ධ ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ නිසා අධිකරණ ක්ෂේත්රයට පමණක් හුදකලාව මේ ගැටලුව විසඳා ගන්න බැහැ. ඒ සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතුයි. ආණ්ඩුවේ ද ඍජු මැදිහත් වීම මත සිදුවන පුළුල් ක්‍රියාවලියක් හරහා පමණයි නඩු විසඳීම තුළ සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ. නීතිඥවරුන්ගේ සහ අධිකරණයේ ප්‍රශ්න පමණක් විසඳීම තුළින් මේ ගැටලුවට තිරසාර විසඳුමක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ” නීතිඥ දුලාන් දසනායක වැඩි දුරටත් සඳහන් කළේය.
සංවාද සටහන – තුෂාල් විතානගේ















