ආණ්ඩුවට තවත් කල් දෙන්න අපි සූදානම් නැහැ – රංජිත් මද්දුමබණ්ඩාර – මහ ලේකම්, සමගි ජන බලවේගය

  • පුනරුද ආණ්ඩුවට අවුරුද්දයි, දැන් ආණ්ඩුව දෙවැනි අය-වැයත් සූදානම් කරමින් ඉන්නවා. ඒ වගේම නලින්ද ජයතිස්ස, සුනිල් හුන්නෙත්ති වැනි ආණ්ඩුවේ ප්‍රබලයින් කියන ආකාරයට ජනතාවට දැන් සරුයි, ඔවුන්ගෙන් හෝටල් පිරිලා ගිහින්ලු. ප්‍රධාන විපක්ෂයේ, සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා ලෙස ඔබට මේ වෙනස දැනෙන්නේ කොහොමද ?

මුලින්ම කියන්න ඕනෑ මේක තමයි ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව. ඕනෑම ආණ්ඩුවක හොඳම කාලේ, මධුසමය තමයි පළමු අවුරුද්ද. ඒත් මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද සම්පූර්ණයෙන්ම අසාර්ථක, හැම දේකින්ම අනා ගත්ත අවුරුද්දක් වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවේ පළමු අවුරුද්ද ගැන විපක්ෂය ලෙස අපටත්, ජනතාවටත් කතා කරන්න දෙයක් නැහැ. හරියට පුස්ස බින්ඳා වාගේ ආණ්ඩුවක්.

  • නමුත් ආණ්ඩුව කියන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව කටයුතු සිදුවෙනවා කියලා නේද ?, දුන්න පොරොන්දු ඉටුකරනවා කියලා නේද ?

මාළිමාව පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ලෝකයේ ලොකුම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. පොරොන්දු දහස් ගණනක් දුන්නා, ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ දී තවත් පොරොන්දු දුන්නා. විදුලි බිල 33%කින් අඩු කිරීම, අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල වැට් බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීම, අධ්‍යාපන හා සෞඛ්‍ය උපකරණවලට පනවා ඇති වැට් බද්ද අහෝසි කිරීම වාගේ ජනතාවට තදින් දැනෙන පොරොන්දු දුන්නා. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා 35,000ක් ලබාදීම වාගේ ආකර්ෂණීය පොරොන්දු දුන්නා. මධ්‍යම පංතියට මොන තරම් පොරොන්දු දුන්න ද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වාගේ පොරොන්දු දුන්නා. හොරු ඇල්ලීම, නාස්තිය හා දූෂණය පිටු දැකීම වාගේ පොරොන්දු දුන්නා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වාගේ සුළුජනතාවට ඉතාම වැදගත් පොරොන්දු දුන්නා, ගොවීන්ට මොන තරම් පොරොන්දු දුන්න ද, මාස හයෙන් හයට වැටුප් වැඩි කරනවා කියලා රාජ්‍ය සේවකයින්ට පොරොන්දු දුන්නා. පෙට්ට්‍රල් සහ ඩීසල් වරායෙන් බාන මිලට දෙනවා කියලා කිව්වා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබෙන ගිවිසුම සංශෝධනය කරනවා කියලා කිව්වා, අවුරුද්දක් ගත වෙන්න පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බව කිව්වා. ඒ කිසිවක් මේ දක්වා ඉටු වෙලා නැහැ. මේ ආණ්ඩුවට ජනතාවට දුන්න පොරොන්දු ඉටු කරන්න දැක්මක්, හැකියාවක් හෝ විනයක් පවා නැහැ. කිව්ව දේ නොකරන, නොකිව්ව දේම කරන අසාර්ථක ආණ්ඩුවක් මේක.

  • ඔබ මෙවැනි චෝදනා කළත් ජනතාවට වඩාත් වුවමනා කරන්නේ නිදහසේ ජීවත් වීම බව ආණ්ඩුව කියනවා. මත්ද්‍රව්‍ය වලට එරෙහිව ජනාධිපතිවරයා කඩුව අතට අරන් තිබෙනවා. මේ වන විට මත්ද්‍රව්‍ය වලට එරෙහිව ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි ආණ්ඩුව නම් කියන්නේ. විපක්ෂයට මේවා පේන්නේ නැද්ද ?

මේක ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුළුවන් කිව්ව ආණ්ඩුවක්. නමුත් මේ වන විට ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා බව පුංචි ළමයෙකුට පවා පේනවා. කොළඹ මහාධිකරණය තුළ දී, ප්‍රාදේශීය සභාවක නිල කාමරය තුළ දී පුද්ගලයින් ඝාතනය වන රටක් දක්වා මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව බිඳ දමා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා ඝාතන තර්ජන තිබෙන බව ජගත් විතාන මන්ත්‍රීතුමාගේ සිද්ධියෙන් පැහැදිලි වුණා. අද ආණ්ඩුව ජනතාවගේ ජිවිත සමඟ සෙල්ලම් කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ කතාව වුණත් හුදු මාධ්‍ය සංදර්ශනවලින් ඔබ්බට නොයන බව පැහැදිලියි. ආණ්ඩුව විපක්ෂය මර්ධනය කරන්න, බිය වද්දන්න මත්ද්‍රව්‍ය සහ පාතාලය යොදා ගෙන තිබෙනවා. මේ සේරම හරහා යළි ප්‍රකට වෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි. අනෙක් කාරණය මත්ද්‍රව්‍ය වලට එරෙහිව පසුගිය කාලය තුළ බලයට පත් වූ සෑම ආණ්ඩුවක් කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් යහපාලන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කළා. ලංකා ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ යහපාලන ආණ්ඩුව කාලේ. පාතාලේ මර්ධනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශාල වැඩ කොටසක් කළා. එදා මර බයෙන් රටින් පළා ගිය අපරාධකාරයෝ යළිත් ලංකාවට ආවේ මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ. මේ ආණ්ඩුව පාතාලය හුරතල් කරමින් දේශපාලන සංදර්ශන, මාධ්‍ය සංදර්ශන තියමින් සිටිනවා. මේක තනිකරම බොරුවෙන් ජීවත් වෙන ආණ්ඩුවක්.

ආණ්ඩුව තමන් දුන්න පොරොන්දු කිසිවක් ඉටු නොකිරීම සහ ඔවුන්ගේ නොහැකියාව නිසා සෑම අංශයකින්ම ජනතාව අතර අප්‍රසාදයට පත්ව සිටිනවා. ඒ වගේම වත්කම් සහ බැරකම් ප්‍රකාශ හරහා ආණ්ඩුවේ නිරුවත හෙළි වුණා. ඔවුන් අවංක පුද්ගලයින් නොවන බව දැන් ජනතාවට වගේම ඔවුන්ගේ පාක්ෂිකයින්ට පවා පැහැදිලි වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවෙන් ඉවත් වෙන ජනතාව, පාක්ෂිකයින් රැක ගැනීමට මේ මාධ්‍ය සංදර්ශන පවත්වනවා. මේක වැඩ බැරි ටාසන්ලාගේ ආණ්ඩුවක් බව දැන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඔප්පු වෙලා තිබෙනවා. මේ සියලු සංදර්ශන ජනමතය රැක ගැනීමට පමණයි. එයින් රටට හෝ ජනතාවට ලැබෙන දෙයක් නැහැ.

  • ඔබ කියන්නේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කරන්නේ අවංක චේතනාවෙන් නොවන බව ද ?

ඔව්, ආණ්ඩුව තමන් දුන්න පොරොන්දු කිසිවක් ඉටු නොකිරීම සහ ඔවුන්ගේ නොහැකියාව නිසා සෑම අංශයකින්ම ජනතාව අතර අප්‍රසාදයට පත්ව සිටිනවා. ඒ වගේම වත්කම් සහ බැරකම් ප්‍රකාශ හරහා ආණ්ඩුවේ නිරුවත හෙළි වුණා. ඔවුන් අවංක පුද්ගලයින් නොවන බව දැන් ජනතාවට වගේම ඔවුන්ගේ පාක්ෂිකයින්ට පවා පැහැදිලි වෙලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවෙන් ඉවත් වෙන ජනතාව, පාක්ෂිකයින් රැක ගැනීමට මේ මාධ්‍ය සංදර්ශන පවත්වනවා. මේක වැඩ බැරි ටාසන්ලාගේ ආණ්ඩුවක් බව දැන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඔප්පු වෙලා තිබෙනවා. මේ සියලු සංදර්ශන ජනමතය රැක ගැනීමට පමණයි. එයින් රටට හෝ ජනතාවට ලැබෙන දෙයක් නැහැ.

  • විපක්ෂ කොතරම් චෝදනා කළාත් ජනාධිපතිවරයා කියන ආකාරයට ඔහුට භාර ගන්න සිදු වුණේ අපරාධ රාජ්‍යයක්, ආණ්ඩුවට අනුව 76 වසරක ශාපයට ලක් වුණ අුරු රටක්. ඉතිං අවුරුද්දක් වාගේ කාලයක් මේ තත්ත්වය යහපත් කරන්න ප්‍රමාණවත් නැහැ නේද ?, ආණ්ඩුව කරලා තිබෙන දේ ප්‍රමාණවත් නැද්ද ?

මේ රට් මුලින්ම තුවක්කු, ගල්කටස් ගත්තේ, බැංකු මංකොල්ල කෑවේ පාතාලය නෙමෙයි, ප්‍රභාකරන් නෙමෙයි, ජනතා විමුක්ති පෙරමුණ. ජවිපෙ ආරම්භ කළ 1965 සිට ඔවුන් අවි දරාගෙන හිටියේ, විරුද්ධවාදීන් මර්ධනය කරමින්, කොල්ලකමින් හිටියේ. 1971 දී ඒක උපරිමයට ආවා. ඊට පස්සේ 1986-90 දක්වා කාලය තුළ ඔවුන් මුළු රටම භීෂණයෙන් භීෂණයට පත් කළා. පුද්ගල ඝාතන 6000කට අධික සංඛ්‍යවක් කළා, රාජ්‍ය දේපොළ විනාශ කළා, මුළු රටම අඳුරට ඇද දැම්මා. මේකට අද ජනතාව කියන්නේ 60 අවුරුදු ශාපය කියලා. ඇත්තටම රට විනාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ මිස රට පාලනය කළ ආණ්ඩු නෙමෙයි. ඔවුන් වැඩ වර්ජන, උද්ඝෝෂණ හරහා රටට කළ විනාශය ගණනය කළ නොහැකියි. නිදහස් අධ්‍යාපනයට, විශ්වවිද්‍යාල අධ්‍යාපනයට හා සෞඛ්‍ය සේවයට කළ විනාශය මිල කළ නො හැකියි. ආසියාවේ දියුණුම රට වෙන්න තිබුණ ශ්‍රී ලංකාව ඒ දියුණුවෙන් පහළට ඇද දැම්මේ ජනතා විමුක්ති පෙරමුණේ පටු සහ අවස්ථාවාදී දේශපාලනය බව දැන් ජනතාව වටහා ගෙන සිටිනවා. මම යළිත් කියනවා ඔවුන් කියන ආකාරයට මේක අපරාධ රාජ්‍යයක් නම් ඒකට අඩිතාලම දැම්මේ ජනතා විමුක්ති පෙරමුණයි. ආණ්ඩු බලය ලබාගත් පසු ඔවුන් මේ රට තව තවත් අර්බුදයට ලක් කරන අතර අලුත් අර්බුදවලට ඇදල දමා තිබෙනවා.

  • ඒත් රටේ සංවර්ධන කටයුතු වේගයෙන් හා කාර්යක්ෂම ලෙස සිදු වෙනවා නේද ?

මං ඒ ගැන කතා කරන්න වචන නාස්ති කරන්නේ නැහැ. ආණ්ඩුවේ මාධ්‍ය නොබලන ඕනෑම අයෙකුට, සමාජ මාධ්‍යවල ඉන්න ඕනෑම අයෙකුට ආණ්ඩුවේ දැවැන්ත සංවර්ධනය දැක බලා ගන්න පුළුවන්. දෙවැනි මහළ ඉදි කරන්න මුල්ගල් තියන, බස් නැවතුම් පොළවත් විවෘත කරන, කාණුවලට කොන්ක්‍රීට් ලෑලි දාන්න ඇමැතිවරු යන, ටයර් වලින් වට රවුම් හදන ආණ්ඩුවක් මේක. ඔවුන්ට පසුගිය ආණ්ඩු කළ දැවැන්ත සංවර්ධනයක් නෙමෙයි පසුගිය ආණ්ඩු කළ සංවර්ධන ව්‍යාපෘතිවලින් සීයට එකක්වත් කරන්න ශක්තියක් හෝ දැක්මක් නැහැ. ඒ බව මහා මාර්ග අමාත්‍යාංශයට පසුගිය අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 32ක් නැවත හරහා යැවීම තුළින්ම පේනවා. මේ වන විට 2025 අයවැයෙන් වෙන් කළ ප්‍රාග්ධන විදයම් වලින් 20%ක්වත් කර ගන්න මේ ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. උපාධිධාරීන් 35,000කට රැකියා දෙන්න 2025 අයවැයෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කළා, කෝ එක උපාධිධාරියෙකුට රැකියා දුන්න ද ? නැහැ.

  • ඔබ කියන ආකාරයට ආණ්ඩුව කොතරම් අසාර්ථක වුණත්, ජනතාව අතර අප්‍රසාදයට ලක් වුණත් විපක්ෂය ආණ්ඩුවට ප්‍රබල තර්ජනයක් වෙලා නැහැ නේද ? වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කිරීම, ජගත් විතාන මන්ත්‍රීවරයාට එල්ල වෙලා තිබෙන මරණ තර්ජන සහ ආණ්ඩුව මේවාට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ජනතාවට විපක්ෂ ගැන සතුටක් ඇතිවෙන්නේ නැහැ නේද ?

නැහැ, අපි මේ සියල්ලට එරෙහිව පාර්ලිමේන්තුව තුළ දැඩිව කටයුතු කරනවා. අවශ්‍ය නෛතික පියවර ගනිමින් සිටිනවා. ඉදිරියේ දී වඩාත් දැඩිව මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ජනමතයට කන්දීලා අපි ආණ්ඩුවට අවුරුද්දක කාලයක් දුන්නා. නමුත් දැන් ආණ්ඩුවේ මධුසමය ඉවරයි. තව දුරටත් ආණ්ඩුවට අවස්ථාව දෙන්න, අත්දැකීම් ලබා ගන්න කාලය දෙන්න ප්‍රධාන විපක්ෂය ලෙස අපි සූදානම් නැහැ.

අපි තමයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ සියල්ල හෙළි කළේ. ඒ වගේම මේ වන විට ගරු අධිකරණයේ මාරු කිරීම්, උසස් වීම් සම්බන්ධයෙන් ද යම් යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව ජනතාවට හෙළි කළා. නමුත් අපිට මේ සිදුවීම් මුල්කර ගෙන පාරට බහින්න බැහැ, වීදි සටන් කරන්න බැහැ.

  • ජගත් විතාන මන්ත්‍රීවරයාගේ සිද්ධියේ දී පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය ගැන බරපතළ විවේචන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ඉදිරි පියවර ගන්න සූදානමක් තිබෙනවා ද ?

මේ ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරනවා කිව්වට නොකරන්නෙත් ඒකම තමයි. මේ වන විට පාතාල ක්‍රියාකාරකම් සහ ආණ්ඩුවේ සැලසුම් සහගත වැඩ නිසා නීතියේ ආධිපත්‍ය බරපතළ ලෙස බිඳ වැටී තිබෙනවා. පොලිස් අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා බරපතළ ලෙස දේශපාලන මැදිහත්වීම් සහ දේශපාලන වුවමනා එපාකම් අනුව කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අපට බරපතළ විවේචනයක් තිබෙනවා. ජගත් විතාන මන්ත්‍රීවරයාගේ සිද්ධියේ දී වගේම වැලිගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු කටයුතු කළ ආකාරය ඉතාම ප්‍රශ්නකාරීයි. විශේෂයෙන් ජගත් විතාන මන්ත්‍රීවරයාට මේ ආකාරයෙන් චෝදනා කරන්න පොලිස්පතිවරයාට හැකියාවක් නැහැ. ඔහු මීට වඩා වගකීම් සහගතව කටයුතු කළ යුතුයි. රටේ සියලු පුරවැසියන් සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කළ යුතු පොලිස්පතිවරයාට අද තමන්ගේ වගකීම සහ වගවීම අමතක වී ඇති බවක් පේනවා.

  • පොලිසියභාර කැබිනට් අමාත්‍යවරයා, ඔබ කියන ආකාරයට පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් ඔබ බරපතළ චෝදනා එල්ල කළත් ඔවුන්ට එරෙහිව ඉදිරි කටයුතු සැලසුම් කර තිබෙනවාද ?

ඔව්, අපි ඒ ගැන සාකච්ඡා කර තිබෙනවා. අවශ්‍ය අවස්ථාවේ දී අදාළ පියවර ගන්න බවට මට සහතිකයක් ලබා දෙන්න පුළුවන්.

  • අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විපක්ෂය පසුගිය දිනවල බරපතළ ලෙස චෝදනා එල්ල කළා. නමුත් දැන් ඒ උණුසුම නැහැ නේද ?

අපි තමයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ සියල්ල හෙළි කළේ. ඒ වගේම මේ වන විට ගරු අධිකරණයේ මාරු කිරීම්, උසස් වීම් සම්බන්ධයෙන් ද යම් යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව ජනතාවට හෙළි කළා. නමුත් අපිට මේ සිදුවීම් මුල්කර ගෙන පාරට බහින්න බැහැ, වීදි සටන් කරන්න බැහැ.

  • විපක්ෂයට වීදි සටන් කරන්න ශක්තියක් නැහැ කියල ද ඔය කියන්නේ ?

ජනතා විමුක්ති පෙරමුණ 60 අවුරුද්දක් පුරාම පාරෙම හිටිය නිසා ජනතාවට යම්කිසි වෙනසක් දැනෙනවා ඇති. නමුත් හැම වෙලාවෙම පාරට බැහැලා ජනතාව පීඩාවට පත්කරන්න අපට අවශ්‍ය නැහැ. නමුත් වීදි සටන් අවශ්‍ය වෙලාවට ඒක කරන්න අපි දෙවරක් හිතන්නේ නැහැ.

  • පුනරුද ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය දැන් සූදානම්. 2026 අයවැය ගැන විපක්ෂයට යම්කිසි අදහසක් තිබෙනවා ද ?

ආණ්ඩුව දුන්න පොරොන්දු ඉටුකරන ආකාරය දෙස අපි විමසිල්ලෙන් වගේම ඉවසිල්ලෙන් බලා ගෙන සිටිනවා. ඒ වගේම 2025 අයවැයෙන් දුන්න පොරොන්දු තිබෙනවා. ආණ්ඩුව ඒවා ඉටුකළ යුතුයි. නමුත් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය දැක්ම සහ ශක්තිය නැහැ. 2025 අයවැය හිස් කොළයක් වුණා වගේම 2026 දී යම් වෙනසක් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ආණ්ඩුව පරණ පාරෙම යයි.

  • ඔබ ජනාධිපතිවරයා ගැන හොක් දකින්නෙම නැද්ද ?

ඔහු ඉතාම ආකර්ෂණීය ලෙස හයියෙන් වේගවත්ව කතා කරනවා. නමුත් ඔහුට පුළුවන් කතාව විතරයි.

  • අල්ලස සහ දූෂණය නතර කළ රටකට විදේශ ආයෝජන ගලා එන බව ජනාධපතිවරයා විපක්ෂයේ සිටිදී සහතික වුණා. දැන් අල්ලස සහ දූෂණය නතර කරලා අවුරුද්දකට වැඩියි. ඔබ දන්න ආකාරයට විදේශ ආයෝජන පැමිණ තිබෙනවා ද ?

මම ඒ ගැන සහතික දෙන්න යන්නේ නැහැ. ඇමෙර්කාවේ වාණිජ ශ්‍රී ලංකාව ආයෝජනයට සුදුසු රටක් නොවන බව ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව පසුගිය දා නිවේදනය කළා. අපි දන්න ආකාරයට ලංකාවට අලුතින් ආයෝජන පැමිණ නැහැ.

  • පාර්ලිමේන්තුව තුළ විපක්ෂය අනවශ්‍ය තරම් දුර්වල බව, බියට පත්ව සිටින බව ඇතැම් විට පෙනී යනවා. මේ ගැන ඔබට යමක් කියන්න පුළුවන් ද ?

මේ වන විට පාර්ලිමේන්තුවේ ගෞරවය සහ පැවැත්ම බරපතළ අවදානමකට ලක්ව තිබෙනවා. කතානායකවරයාගේ භූමිකාව දැඩිව හෙළා දැකිය යුතු තත්ත්වයක තිබෙනවා. ඔහු ආණ්ඩුවේ කතානායකවරයා ලෙසයි කටයුතු කරන්නේ. ඔහු විපක්ෂයට අවස්ථාව දෙන්නේ නැහැ. අපි මේ සම්බන්ධව පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිනවා.

  • ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර මේ වන විට තිබෙන සම්බන්ධය කුමක් ද ?

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වූ පසු අතීතය සම්පූර්ණයෙන් අමතක කරලා පාර්ලිමේන්තුවත් පාලනය කරන තැනට පත්ව සිටිනවා.

  • වත්මන් ජනාධිපතිවරයා යටතේ ස්වාධීන කොමිෂන් සභාවල තත්ත්වය කොහොමද ?

ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ජනාධිපතිවරයා ස්වාධීන පොලිස් කොමිෂමට තර්ජනය කළා, පොලිස් කොමිෂමේ බලතල පොලිස්පතිට දුන්නා. මේක සිදු නොවිය යුතු තත්ත්වයක් වගේම මීට පෙර සිදු නොවුණ දෙයක්. අපිට පේන ආකාරයට ජනාධිපතිවරයා තනි පක්ෂයක පාලනයක් වෙත මේ යන්න හදන්නේ.

විපක්ෂය පොලිස්පතිවරයාගේ වත්මන් භූමිකාව දැඩිව ප්‍රශ්න කරනවා, විවේචනය කරනවා. ඒ ඇයි ?

පොලිස්පතිවරයා ආණ්ඩුවේ පොලිස්පතිවරයා බව ඇත්ත. නමුත් ඔහු පැලවත්තේ පොලිස්පතිවරයා නොවිය යුතුයි.

  • ඔබ මේ ආකාරයට කතා කළත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සම සමගි ජනබලවේගය යහපත් සම්බන්ධයක් නැහැ නේද ? පසුගිය දා පැවැති විපක්ෂයේ පක්ෂ එකතුවේ මාධ්‍ය හමුව සමගි ජන බලවේගය වර්ජනය කළා නේද ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගත් අවස්ථාවේ අපි එතුමා වෙනුවෙන් පෙනී සිටියා. දේශපාලන තීන්දු ගත යුතු නිවැරදි වෙලාවට අපි නිවැරදි දේශපාලන තීන්දුව ගන්නවා. ඒ වගේම ප්‍රධාන විපක්ෂය අපියි. අපි අපේ වගකීම නිසි ලෙස වටහා ගෙන ඒ අනුව කටයුතු කරනවා. අපට කිසිම කලබලයක් හෝ බයක් නැහැ. ඒ වගේම විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ සමඟ අපට ගැටුමක් හෝ තරඟයක් නැහැ. ආණ්ඩුවට එරෙහි ජනමතය සංවිධානය කළ යුතු නියම අවස්ථාවේදී අපි ඒ පියවර ගන්නවා.

  • එක්සත් ජාතික පක්ෂය සම නැවත එක්වීමේ සාකච්ඡාවල ප්‍රගතිය කොහොමද ?

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි එක්සත් විය යුතු බව අපේ මතය පමණක් නොවෙයි, ඒක රටේ මතය බවට පත්ව තිබෙනවා. ඒ අනුව ඉදිරි පියවර සැලසුම් කිරීමට අපි සම්බන්ධයෙන් කමිටුවක් පත් කළා, ඒ කමිටුවේ වාර්තාව ලැබී තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී කටයුතු කරනවා. නමුත් පසුගිය දිනවල පැවැති විවිධ ගැටලු නිසා මේ කටයුතුවල යම් ප්‍රමාදයක් තිබෙනවා.

  • ඔබ කියන ආකාරයට ආණ්ඩුවේ මර්ධනයට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම සාකච්ඡා කරන්නේ නැද්ද ?

ආණ්ඩුවේ මර්ධනයට මුහුණ දීමට අපි එකට එකතු වෙලා කටයුතු කරනවා. නමුත් එකට එකතු වෙලා ඡන්දය ඉල්ලන්න කිසිම සූදානම් අපි දෙගොල්ලන්ටම නැහැ.

  • පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ සූදානම ගැන විපක්ෂයේ ස්ථාවරය කුමක් ද ?

අපි මේ ගැන ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කරනවා. නමුත් ආණ්ඩුව බය වෙලා ඉන්නේ. ඒ නිසා පළාත් සභා ඡන්දය නොතියා ඉන්නවා.

  • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එයිද ?

ආණ්ඩුව මේ ගැන පොරොන්දු දීලා තියෙනවා. ඔවුන්ට මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඓතිහාසික වගකීමක් තිබෙනවා.

  • ජනාධිපතිවරයා කියනවා ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැහැ කියලා. නමුත් ආණ්ඩුව අයවැයෙන් දිගින් දිගටම පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සමාගට රුපියල් කෝටි ගණන් ලබා දෙනවා. මේ තත්ත්වය ගැන ඔබේ අදහස කුමක් ද ?

ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැහැ කියලා ජවිපෙ පිළිගත්ත එක ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් වගේම රටට සහනයක්. ශ්‍රීලංකන් ගැන කතා කළෙත් ආණ්ඩුව ඔවුන්ට සහාය දුන් ව්‍යාපාරික බලවතුන්ට ඒක භාර දීලා ජාතික ධනය විනාශ කරමින් සිටිනවා.

  • සමගි ජන බලවේගය තමන්ගේ ප්‍රතිපත්ති යළි සමාලෝචනය කරමින් සිටිනවා ද ? නැතිනම් පරණ පාරෙම යනවාද ?

පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල කරනවා, ඒකට අදාළ සියලු මට්ටම්වල කටයුතු මේ වන විට සිදුවෙමින් තිබෙනවා. වගකීම් බෙදා ගෙන ඒ අනුව අපි ඉදිරි දේශපාලන සැලසුම් සකස් කරමින් සිටිනවා. ආණ්ඩුවට තවත් කල් දෙන්න අපි සූදානම් නැහැ. ආණ්ඩුවට එරෙහිව ගත හැකි සියලු පියවර අපි ගන්නවා.

සටහන – භාතිය බරුකන්ද

උපුටා ගැනීම – රතුඉර  පුවත්පත, 2025 නොවැම්බර් 03 කලාපය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website