අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය, සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, පවතින අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා (නොවැ. 06) රැස් වූ අතර, 2026 වර්ෂය සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අයවැය ප්‍රතිපාදනවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය එහිදී සමාලෝචනයට ලක් විය.
මෙහිදී පාසල් ගොඩනැගිලි හා යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පෙළපොත් මුද්‍රණය හා බෙදා හැරීම, පාසල් සිසුන්ගේ සුබසාධන කටයුතු සහ ගුරු අධ්‍යාපනයේ ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම අදාළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය, විභාග පැවැත්වීමේ කටයුතු, පෙළපොත් නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අවශ්‍ය අධ්‍යාපනික පහසුකම් සැලසීමේ වැදගත්කම ද අවධාරණය විය.
තවද, පාසල් සිසුන්ගේ සුබසාධන වැඩසටහන් යටතේ නිල ඇඳුම් බෙදා හැරීම සහ ශිෂ්‍යාධාර ගෙවීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා වූ අතර, ශිෂ්‍යාධාර ගෙවීම් කඩිනම් කිරීම සඳහා නව පරිගණක පද්ධතියක් හඳුන්වාදීම සහ එමගින් සිසුන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් බැර කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද නිලධාරීහු කාරක සභාව දැනුවත් කළහ.
උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ක්ෂේත්රයට අදාළ විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම අධිකාරිය සහ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතනවල ක්‍රියාකාරීත්වය හා සංවර්ධන සැලසුම් ද සමාලෝචනයට ලක් විය.
මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් සියලුම අදාළ ආයතන තම මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳ සම්පූර්ණ වාර්තා කාරක සභාව වෙත ඉදිරිපත් කළ යුතු බවට උපදෙස් ලබා දෙන ලදී. එම වාර්තා නියමිත පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
තවද, වසර අවසානයේ පමණක් නොව වසර මැදදී ද අදාළ ආයතන කැඳවා සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට කාරක සභාව තීරණය කළේය.
ඊට අමතරව, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන සඳහා 2026 වර්ෂයේදී වෙන් කරන ලද අයවැය ප්‍රතිපාදනවල භෞතික හා මූල්‍ය ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් විය.
මෙම අවස්ථාවට කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.














