පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට එරෙහිව ගනු ලැබූ නීතිමය ක්රියාමාර්ගයකින් රුපියල් මිලියනයක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය අද (24) නිකුත් කළ වාර්තාවක් කියයි.
අධිකාරියේ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇල්ල ප්‍රදේශයේ ආපනශාලාවකට එරෙහිව ගනු ලැබූ නීතිමය ක්රියාමාර්ගයකින් රුපියල් මිලියනයක දඩයක් නියම කර ඇත.
මැන්ඩෙලා කැෆේ ඇන්ඩ් බාර් පුද්ගලික සමාගම (Mandala Cafe & Bar Pvt Ltd), අංක 18, දුම්රියපොළ පාර, ඇල්ල යන ආයතනයේ සිදුකළ වැටලීමේදී, එම වැටලීම සිදුකළ කාලයේ ක්‍රියාත්මක වූ 2025.04.01 දිනැති අංක 2430/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 93 දරන නියෝගය යටතේ ලීටර් 1 පානීය ජල බෝතලයක් සඳහා නියම කර තිබූ රු.100/-ක උපරිම සිල්ලර මිල ඉක්මවා එම බෝතලයක් රු.200/-කට අලෙවි කර තිබීම අනාවරණය කරගෙන ඇත. අංක 93 දරන නියෝගය අනුව එම ප්‍රමාණයේ බෝතලයක උපරිම සිල්ලර මිල රු.100/-ක් වූ අතර එම නියෝගය 2025.04.01 දින සිට ක්‍රියාත්මක විය.
අදාළ නඩුව 2026 සැප්තැම්බර් 23 දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සමාගම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ගරු අධිකරණය විසින් රු.1,000,000/-ක දඩයක් නියම කරන ලදී.
පාරිභෝගිකයින් සහ වෙළෙඳුන්ගේ විශේෂ අවධානයට:
මෙම නඩුවේ සඳහන් රු.100/- යනු වැටලීම සිදුකළ අවස්ථාවේ ක්‍රියාත්මක වූ අංක 93 දරන නියෝගය යටතේ ලීටර් 1 පානීය ජල බෝතලයක් සඳහා පැවති උපරිම සිල්ලර මිලයි. එය වර්තමාන උපරිම සිල්ලර මිල නොවේ. දැනට ක්‍රියාත්මක 2026.06.10 දිනැති අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ දේශීයව ඇසුරුම් කරන ලද බෝතල් කළ පානීය ජලය සඳහා වර්තමාන උපරිම සිල්ලර මිල ගණන් 500ml–999ml රු.80/-, 1L–1.499L රු.120/-, 1.5L–1.999L රු.150/-, 2L–2.499L රු.180/- සහ 5L–6.999L රු.400/- වේ. එබැවින් ලීටර් 1–1.499 පානීය ජල බෝතලයක් සඳහා වර්තමාන උපරිම සිල්ලර මිල රු.120/-කි.
පාරිභෝගිකයිනි, ආපනශාලාවකින්, කැෆේ එකකින්, හෝටලයකින්, නිකේතනයකින් හෝ වෙනත් වෙළෙඳසැලකින් බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීමේදී බෝතලයේ ප්‍රමාණයට අදාළ වත්මන් උපරිම සිල්ලර මිල පරීක්ෂා කරන්න. අය කළ මුදල තහවුරු කරගැනීම සඳහා බිල්පතක් ලබාගන්න.
සංචාරක හෝටල්, ආපනශාලා, කැෆේ, නිකේතන සහ අනෙකුත් වෙළෙඳ ආයතන හිමියනි, උපරිම සිල්ලර මිල නියම කර ඇති භාණ්ඩ එම මිල ඉක්මවා අලෙවි කිරීමෙන් වළකින්න. සංචාරක ප්‍රදේශයක හෝ වෙනත් ස්ථානයක ව්‍යාපාරය පවත්වාගෙන යාම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අය කිරීමට අවසරයක් නොවේ.
උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම ඇතුළු වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
















