ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා ජ්ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබේ. මෙම පත්වීම 2026 අගෝස්තු 20 වැනිදා සිට බලපැවැත්වෙන අතර, ඔහු 2027 දෙසැම්බර් 31 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කිරීමට නියමිතය.
නව වගකීම යටතේ හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ පදනම්ව කටයුතු කරමින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ පිතිකරණ පුහුණුවීම් සහ දක්ෂතා සංවර්ධනය කිරීමේ වැඩසටහන් සඳහා සෘජුවම සම්බන්ධ වනු ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම පුහුණුකරුවෙකු ලෙසද දීර්ඝ අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන හෂාන් තිලකරත්න මහතා මීට පෙර ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, බංග්ලාදේශ කාන්තා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් ඔහු සිය පුහුණුකාරී අත්දැකීම් පුළුල් කරගෙන ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 1989 වසරේ සිට 2003 වසර දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළ හෂාන් තිලකරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කැපී පෙනෙන පිතිකරුවෙකු ලෙස සැලකේ.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 83කට සහ එක්දින ජාත්‍යන්තර තරග 200කට ක්‍රීඩා කර ඇති අතර, එම ආකෘති දෙකෙන්ම ජාත්‍යන්තර ලකුණු 8,200කට වැඩි සංඛ්‍යාවක් රැස් කර තිබේ. 1996 වසරේ ශ්‍රී ලංකාව ලෝක කුසලාන ශූරතාව දිනාගත් අවස්ථාවේ එම ජයග්‍රාහී කණ්ඩායමේද ප්‍රධාන සාමාජිකයෙකු වූ ඔහු, ජාත්‍යන්තර තරග පිටියේ දශකයකට වැඩි කාලයක් පුරා ලැබූ අත්දැකීම් සම්භාරයක් සමඟින් ක්‍රීඩාවෙන් සමුගත්තේය.
ක්‍රීඩකයෙකු ලෙස ලැබූ අත්දැකීම් පුහුණුකරුවෙකු ලෙස ලබාගත් නවීන දැනුම සමඟ එක් කරගනිමින් ජාතික කණ්ඩායමේ පිතිකරණ අංශය තවදුරටත් ශක්තිමත් කිරීම ඔහුගේ නව වගකීමේ ප්‍රධාන අරමුණක් වනු ඇත.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නව පරපුරේ පිතිකරුවන් හඳුන්වාදීම, ඔවුන්ගේ තාක්ෂණික සහ මානසික දක්ෂතා වැඩිදියුණු කිරීම මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අභියෝග සඳහා ඔවුන් සූදානම් කිරීමේදීද හෂාන් තිලකරත්න මහතාගේ අත්දැකීම් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.
ජාතික ඉහළ දක්ෂතා මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රීඩකයන් සමඟ සමීපව කටයුතු කිරීමට නියමිත මෙම නව පත්වීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික පිරිමි ක්‍රිකට් වැඩසටහනේ පිතිකරණ අංශය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.
source:srilankacricket.lk














