ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය අගෝස්තු 12 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණය නොකළ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
නීතිඥ සංගමයේ පරිපාලන ලේකම් සුරානි සමරසේකර මහත්මියගේ අත්සනින් යුතුව ඊයේ (14) ජනාධිපති මාධ්‍ය ඒකකය වෙත මෙම ලිපිය යොමු කර තිබේ.
මෙම නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මේ වනවිට එම සාකච්ඡාවේ වීඩියෝ පටිගත කිරීමේ කොටසක් පමණක් තමන්වෙත ලැබී ඇති බවයි. එම වීඩියෝවෙන් ලබාදී ඇත්තේ සාකච්ඡාවේ ආරම්භක සාකච්ඡාවක කොටසක් පමණක් වන අතර ඇතැම් කොටස්වල ශබ්දයද පැහැදිලි නොමැති බව එම ලිපියේ සඳහන් වේ.
ඒ අනුව සාකච්ඡාව පුරා සිදුවූ සියලු මැදිහත්වීම් නිරීක්ෂණ සහ ප්‍රතිචාර මෙන්ම නීතිඥ සංගමයේ නියෝජිත පිරිසේ අවසන් අදහස් ද ඇතුළත් සම්පූර්ණ සහ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස නීතිඥ සංගමය මෙම ලිපියෙන් ඉල්ලා ඇත.
















