එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය සහ කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද (03) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුව අතරතුර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වත්මන් රජය ලබා ඇති ප්‍රගතිය විග්නරාජා මහත්මිය අගය කළ අතර ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාව සමඟ සමීප හවුල්කාරිත්වයක් පවත්වා ගැනීමට UNDP හි කැපවීම නැවත තහවුරු කළාය.
මූල්‍ය විනය සහ විනිවිදභාවය වැනි ප්‍රධාන මූලධර්ම සම්බන්ධයෙන් UNDP සහ වත්මන් රජය අතර කිසිදු වෙනසක් නොමැති බව ඇය සඳහන් කළ අතර, රජයේ අඛණ්ඩ ආර්ථික ඩිජිටල්කරණ වැඩසටහනට ද ප්‍රශංසා කළාය.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා UNDP විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය අගය කළ අතර ගැඹුරු සහ වඩාත් පුළුල් සහයෝගීතාවයක් වර්ධනය කිරීමේ අරමුණින් මූල්‍ය ආධාර සහ තාක්ෂණික උපදේශන සේවාවලින් ඔබ්බට හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ UNDP නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ UNDP හි ආර්ථික විද්‍යාඥ ආචාර්ය වගීෂා ගුණසේකර ද සහභාගී වූහ.















