ගොවියා පාරට ගෙනඒම වෙනුවට ගොවි සංගම් ගොවියා සමඟ කෙතට බැසිය යුතුයි – හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ, කේ.බී. ගුණරත්න

2026 යල කන්නයේ වගා කළ වී වලට සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් පසුගිය මාස කිහිපය පුරාම ගොවීන් උද්ඝෝෂණයේ යෙදී සිටින අතර එය මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව ඇතැයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ, කේ.බී. ගුණරත්න මහතා පැවසුවේය.

මෙහි දී ඔහු පෙන්වා දුන්නේ ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් මීට වඩා සංවේදී විය යුතු අතර වී වගාවේ නිරත ගොවීන් 12,000,000කගේ දුක-සැප ලබා ගැනීමට බත් ප්‍රධාන ආහාර කොටගත් සමස්ත ජනතාවගේ යුතුකම බවයි.‍

‘බුද්ධ බෝගය’ ලෙස ජනතාවගේ මහත් ගෞරවයට හා බුහුමනට පත් වන වී ගොවිතැන මේ ආකාරයේ නොසලකා නොහැරිය යුතු බව අවධාරණය කළ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා බුද්ධ බෝගය වගා කරන, මිලියන 22කගේ කුසගිනි නිවීමට අවශ්‍ය බත්පත සපයා දෙන වී ගොවියාගේ ගැටලු ගැන සමාජයක් ලෙස මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ගුණරත්න මහතා යළි අවධාරණය කළේය.

“රටට බත සපයන අපේ වැඩිහිටි ගොවිජනතාව මේ වන විට වකගඩු රෝගීන් බවට, දියවැඩියා රෝගීන් බවට පමණක් නොවෙයි හදවත් රෝගීන් බවටත් පත්ව සිටිනවා. විශේෂ අනුරාධපුර, පොළොන්නරුව ආදී ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල ගොවි ජනතාව බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්ව සිටිනවා. අද තරුණ පරපුර කෘෂිකර්මාන්තයට කැමැති නැහැ, ඔවුන් ඒ වෙත ආකර්ෂණය වෙන්නේ නැහැ. මේක බරපතළ තත්ත්වයක්. මෙය දිගටම පැවතුනොත් කෘෂිකර්මාන්තයට තව දුරටත් බරපතළ ශ්‍රම හිඟයකට මුහුණ මුහුණ දීමට සිදුවිය හැකියි” ගුණරත්න මහතා වැඩි දුරටත් පැහැදිලි කළේය.

  • වී වගාවෙන් ලාභයක් නැති හේතුව

‘වී ගොවිතැනෙන් ලාභයක් නැහැ’ ගොවියා නිතරම මේ චෝදනාව කරන බව කී ගුණරත්න මහතා වී වගාවෙන් ලාභ නොලැබීමට හේතු පැහැදිලි කළේය.

“මම මේ කතා කරන්නේ පර්යේෂණ කරලා සොයා ගත්ත දේවල් නෙමෙයි. අත්දැකීමෙන් උකහා ගත් දැනුම අනුවයි මේ කතා කරන්නේ. ලංකාවේ සාමාන්‍යයෙන් හේටයාරයකින් ලබා ගත හැකි වී අස්වැන්න කිලෝ 3500 සිට 6500 දක්වා වෙනස් වෙනවා. ඒ අනුව ලංකාවේ සාමාන්‍ය අස්වැන්න ලෙස ගණනය කරන්නේ හෙක්ටයාරයකට වී කිලෝ 4500ක්. මේ වී වලින් කෑමට යම් ප්‍රමාණයක් තියා ගෙන ඉතිරි ටික රුපියල් 100 ගානේ අලෙවි කළත් රුපියල් ලක්ෂ හතරකට හෝ ඊට ආසන්න ආදායමක් ලබා ගන්න පුළුවන්. වර්තමානයේ හේකටයාරයක වී වගා කිරීමට සාමාන්‍යයෙන් රුපියල් 200,000ක පමණ වියදමක් යනවා. එතකොට රුපියල් ලක්ෂ 2.5ක පමණ ආදායමක් තමයි ඉතිරි වෙන්නේ.  අවුරුද්දට කන්න දෙකක් වැඩ කරන නිසා මේ මුදල මාස හයෙන් බෙදුවොත් මාසික ආදායම රුපියල් 40,000ක් පමණයි.  මම මේ කතා කරන්නේ හෙක්ටයාරයක වී වගා කරන, වෙනත් රැකියාවක් නොකරන ගොවියෙක් ගැන.  මෙවැනි පසුබිමක් තුළ ‘පූර්ණ කාලීන ගොවියෙක්’ අසරණ වෙනවා. රුපියල් 40,000ක පමණ මාසික ආදායමකින් පවුලකට මාසයක් ජීවත් වෙන්න නොහැකි බව අපි පිළිගත යුතුයි. ඒ නිසා තමයි වී ගොවීන් කාලයක් පුරා මේ ආකාරයෙන්  හඬ නගන්නේ” හිටපු  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වී ගොවීන් මුහුණ දෙන ප්‍රමුඛ ගැටලුව තව දුරටත් පැහැදිලි කරමින් කීවේය.

  • නිෂ්පාදන වියදම

වී වගාවේ ඉහළ යන නිෂ්පාදන වියදම සහ එය දරා ගත නොහැකි වීම ද ගොවීන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන තවමත් නොවිසඳී පවතින ගැටලුවකි. නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට හැකියාව තිබේ නම් ගොවීන්ගේ ආදායම ඉහළ නංවා ගත හැකි බවට කොපමණ පැහැදිලි කිරීම් සහ තර්ක ඉදිරිපත් වුව ද ගොවීන් චෝදනා කරන්නේ ඒ සම්බන්ධයෙන් ‘වගකිව යුතු ආයතන’ වෙතින් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. රත්නායක මහතා පැවසුවේ නිෂ්පාදන වියදමින් 42%ක් වැය වන්නේ ඉන්ධන සහ යන්ත්‍ර – සූත්‍ර සඳහා බවයි. 38%ක් ශ්‍රම වියදම් ලෙස 20%ක් යෙදවුම් වලට (පොහොර, බිත්තර වී, පළිබෝධනාශක) වැය වන බව ගුණරත්න මහතා පෙන්වා දුන්නේය.

මෙම පසුබිම තුළ යෙදවුම් වල මිලෙහි ඇති වන ඉහළ යාමක් පවා නිෂ්පාදන වියදම ඉහළ යාමට ඍජුව දායක වන බව ගුණරත්න මහතා පැවසුවේය.

“මැදපෙරදිග යුද්ධයට පෙර රුපියල් 9500ක පමණ මිලකට අලෙවි කළ යූරියා පොහොර කිලෝ 50ක් යුද්ධය හේතුවෙන් රුපියල් 18,000ක් පමණ දක්වා ඉහළ ගියා. මේක විශාල මිල ඉහළ යාමක්. ඇතැම් අවස්ථාවල අම්පාර ප්‍රදේශයේ යූරියා බෑග් එකක් රුපියල් 30,000ක් දක්වා ඉහළ ගොස් තිබුණ බව කියනවා. ඒ වගේම ඉන්ධන මිල පසුගිය කාලයේ විශාල වශයෙන් ඉහළ ගියා. මේ හරහා ඉතාම පැහැදිලි ලෙස වී ගොවීන්ගේ නිෂ්පාදන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ ආකාරයට නිෂ්පාදන වියදම ඉහළ ගිය නිසයි ගොවීන් මේ ආකාරයට මැසිවිලි නගන්නේ” ගුණරත්න මහතා පැවසුවේය.

මෙහි දී ඔහු පැවසුවේ මැදපෙරදිග යුද්ධයට පෙර වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 110-114ක් ලෙස ගණනය කළ බවයි. නමුත් මැදපෙරදිග යුද්ධ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම, පොහොර මිල ඉහළ යාම ඇතුළු කරුණු හේතුවෙන් වර්තමානය වන විට  වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 135-140 දක්වා ඉහළ ගොස් ඇති බව අනුමාන කළ හැකි බවයි.

“මේ ආකාරයට නිෂ්පාදන වියදම විශාල වශයෙන් ඉහළ ගිය නිසා තමයි වී ගොවීන් කිලෝවකට රුපියල් 140ක් වැනි මිලක් ඉල්ලන්නේ. ඒක සාධාරණ ඉල්ලීමක’  හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

“නමුත් පසුගිය දා රජයේ නිලධාරියෙක් කිව්වා වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 106ක් කියලා. ඒ නිෂ්පාදන වියදමෙන් 20%ක් රජය විසින් දරන බවත් ඔහු කිව්වා. නමුත් ඒ රුපියල් 20 රජය දරන්නෙ කෙ‌සේද කියලා ඔහු පැහැදිලි කළේ නැහැ. මොකද රජය රුපියල් 20ක් දරනවා නම් නිෂ්පාදන වියදම රුපියල් 86ක් විය යුතුයි. කොහොම වුණත් 2026 යල කන්නයේ නාඩු කිලෝවක් මිලදී ගැනීමේ රජයේ මිල රුපියල් 120ක් ලෙස නියම කරලා තිබෙන්නේ වත්මන් යෙදවුම් මිල ගණනය කිරීම් අනුවයි” ගුණරත්න මහතා පැවසුවේය.‍

  • ගොවියාගේ වගකීම

ප්‍රායෝගිකව නිෂ්පාදන වියදම අඩුකර ගැනීමේ වගකීමක් ගොවියා සතුවත් තිබෙන බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

මෙහි දී ‘අටවා ගත් ගොවි සංවිධාන’ ගොවියා වෙනුවෙන් ‘කළ කිසිවක්’ නැති බවට චෝදනා කළ හිටපු  කෘෂිකර්ම අධ්‍යක්වරයා ගොවි සංවිධාන සිය වගකීමෙන් බැහැර වී ගොවියා පාරට ඇදදමා අනවශ්‍ය කලබලයක් ඇති කරමින් ප්‍රශ්නය අයාලේ යවන බවට චෝදනා කළේය.

“ගොවීන් කොළඹ ගේන එක, පාර්ලිමේන්තුවට වටලන එක, ගොවිජන සේවා මධ්‍යස්ථාන වටලන එක නෙමෙයි ගොවි සංවිධානවල වගකීම.‍ ගොවි සංවිධානවල වගකීම තමයි ගොවියාගේ නිෂ්පාදන වියදම අඩුකර ගැනීමට උපකාර කිරීම, ඔවුන්ව දැනුවත් කිරීම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිතරම අවධාරණය කරනවා, ‘කන්නයට වගා කරන්න’ කියලා. කන්නයට වගා කිරීම කියන්නේ එකම අවස්ථාක මුළු යායම  එකට වගා කිරීම. යායම එකටට වගා කළොත් පළිබෝධ කළමනාකරණය පහසුවෙන් කරන්න පුළුවන්‍‍. ඒ වගේම කන්නයට වගා කළොත් ජල කළමනාකරණය පහසු සහ කාර්යක්ෂමව කරන්න පුළුවන්. ඒ වගේම මුළු යායම  එකට පැහෙන නිසා කුරුල්ලන්ගේ හානිය ඇතුළු වන සත්ත්ව හානි පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ඒකාබද්ධ පිළිබෝධ පාලන ක්‍රම අපි නිර්දේශ කරලා තිබෙනවා. මේ හරහා කෘමිනාශක, වල් නාශක භාවිතය අවම කරන්න පුළුවන්. ඒ වගේම ‌මේ වන විට භාවිතයෙන් ඈත් වෙලා තිබෙන අත්තම් ක්‍රමයට යළි පණ දෙන්න ගොවි සංවිධානවලට පුළුවන්. මේ හරහා නිෂ්පාදන වියදම සැලකිය යුතු ලෙස අඩුකර ගන්න පුළුවන්. ගොවි සංවිධාන විසින් කළ යුත්තේ මේවාට අවධානය යොමු කරමින්, ගොවීන් ඒ ගැන දැනුවත් කිරීමයි. ගොවීන් එක්ව මේවාට අදාළ කටයුතු කිරීමයි. පන්දම් අරගෙන පාරට බැස්සා කියලා, පඹයෝ පිච්චුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ නිෂ්පාදන වියදම අඩුකර ගැනීමේ වගකීමක් ගොවීන්ටත් තිබෙනවා. ඒ වෙනුවෙන් ගොවීන් සංවිධානය කිරීමේ, දැනුවත් කිරීමේ වගකීමක් ගොවි සංවිධානවලට තිබෙනවා” හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා දැඩිව අවධාරණය කළේ ‘සෑම දෙයක් රජයට කළ නොහැකි’ බවයි.

“ඒක කරන්න පුළුවන් දේකුත් නෙමෙයි’ ඔහු යළි අවධාරණය කළේය.

  • 76 වසරක් පුරා කළ දේ

1948 දී ශ්‍රී ලංකා නිදහස දිනා ගන්නා විට දේශීය සහල් අවශ්‍යතාවෙන් 60%ක් ආනයනය කළ බව සිහිපත් කළ රත්නායක මහතා පසුගිය කාලය පුරා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල වැඩකොටසක් ඉටු කළ බව සිහිපත් කළේය.

බතලගොඩ, මහා ඉල්ලුක්පැල්ල ආදි වී පර්යේෂණ හා සංවර්ධන ආයතන හරහා විවිධ ප්‍රදේශවලට ගැළපෙන වී ප්‍රභේද හඳුන්වා දෙමින්, දැනුවත් කිරීම් කරමින් වී වගාව තුළ විප්ලවයක් කළ බව කී ගුණරත්න මහතා වැඩි දියුණු කළ වී ප්‍රභේදවලින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් රසායනික පොහොර භාවිතය අවශ්‍ය වූ බව ද සඳහන් කළේය.

“හරිත විප්ලවයට පෙර වගා කළ වී ප්‍රභේදවලින් වැඩිපුර අස්වැන්නක් ලැබුණේ නැහැ. වී ගස් උසයි, අස්වැන්න ලැබෙන්න මාස හතරකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. නමුත් මේ වී ලෙ රෝගවලට ඔරොත්තු දෙනවා, සහල්වල ගුණාත්මකභාවයත් ඉහළයි. නමුත් වේගයෙන් වර්ධනය වන ජනගහනයට ආහාර සපයන්න තරම් මේ සාම්ප්‍රදායික වී ප්‍රභේද සමත් වුණේ නැහැ. ඒ නිසා තමයි වැඩි දියුණු කළ වී ප්‍රභේද ව්‍යාප්ත කිරීමට සිදු වුණේ. මේ වී වලින් අපේක්ෂිත ඉහළ අස්වැන්න ලබා ගැනීමට නම් රසායනික පොහොර අත්‍යවශ්‍යයි. ඒ නිසා නිසි කලට, නිසි ප්‍රමිතියට අවශ්‍ය පොහොර ටික ලබාදීම රජයේ වගකීමක්”

මෙහි දී රත්නායක මහතා පැවසුවේ කන්නය ආරම්භ කිරීමට මාසයකට පමණ පෙර අදාළ කන්නය සඳහා අවශ්‍ය රසායනික පොහොර තොග රට තුළ තිබිය යුතු බවයි.

“වී පැළයට සංස්ථාපනය කළ මොහොතේ සිට නිවැරදිව පොහොර භාවිතා කළ යුතුයි. එසේ නොකළොත් අපේක්ෂිත ආකාරයට පඳුරු ගහන්නේ නැහැ. එහෙම වුණොත් අවසානයේ නිසි අස්වැන්නක් ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා වගාවට අවශ්‍ය පොහොර නිසි කලට, නිසි මිලට ලබා දීම රජයේ වගකීමක් ලෙස මම සලකනවා”හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා යළි අවධාරණය කළේය.

“ගොවියා උද්ඝෝෂණය කරන්නේ මෙන්න මේ අඩුපාඩු නිසයි. නිසි කලට, නිසි මිලට පොහොර නොලැබුණොත් ඔහුට අපේක්ෂිත අස්වැන්න ලබා ගන්න බැහැ. එහෙම වුණොත් ඔහු අර්බුදයට ලක්වෙනවා” ගුණරත්න මහතා පෙන්වා දුන්නේය.

  • ජීවන වියදම ඉහළ යාම

රජයේම නිල සංඛ්‍යා ලේඛනවලට අනුව සාමාන්‍යයෙන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක මාසික වියදම රුපියල් 120,000ක් බව සිහිපත් කළ රත්නායක මහතා වී ගොවියා ද මේ වියදම දැරිය යුතු බව කීවේය. නමුත් මාසිකව රුපියල් 40,000ක පමණ ආදයමක් ලබන වී ගොවියෙකු මුහුණ දෙන තත්ත්වය වඩාත් කනගාටුදායක බව කී ගුණරත්න මහතා ඔහුගේ ගැටලුවලට සාධාරණ විසඳුමක් ලබාදිය යුතු බව යළි අවධාරණය කළේය.

  • ගොවියාගේ නොවන වගකීම

විකල්ප ආදායම් හෝ විකල්ප ක්‍රම වෙත යාමේ වී ගොවියාගේ වගකීමක් නොවන බව අවධාරණය කළ ගුණරත්න මහතා එම තීන්දු – තීරණ ගැනීම කෲෂිකර්ම අමාත්‍යාංශය ද ඇතුළු අදාළ ආයතනවල වගකීමක් බව ද පෙන්වා දුන්නේය.‍

වී වගාව සම්බන්ධ සියලු තීන්දු තීරණ ගන්නේ ‘කන්න රැස්වීමේ’ දී බව කී ඔහු කන්න රැස්වීමේ දී නිසි තීන්දු – තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම කළ යුතු බව ද අවධාරණය කළේය.

“නවීන තාක්ෂණය තිබෙන නිසා මේවා පහසුවෙන් කළ හැකියි’ ඔහු පැවසුවේය.

“නමුත් මම දන්න ආකාරයට 2017න් පස්සේ විධිමත් කන්න රැස්වීමක් තියලා නැහැ” ඔහු හෙළි කළේය.

“මුළු ලංකාවම අනාවරණය වන පරිදි විධිමත් කන්න රැස්වීමක් 2017න් පස්සේ පවත්වලා නැහැ. ඒකට හේතුව තමයි අදාළ නිලධාරීන් එකතු කර ගන්න බැහැ. විධිමත් සැලසුමක් නැහැ. මේ වගෙ තත්ත්වයක් තුළ නිවැරදි තීන්දු – තීරණ ගන්න නොහැකි වෙනවා. නිවැරදි තීන්දු නොගන්න තත්ත්වයක් තුළ ගොවි ජනතාව අයාලේ යනවා. අයාලේ ගිහින් කැමති කැමති ආකාරයට වගා කරනවා. අද ලංකාවේ 85%ක් වගා කරන්නේ නාඩු. සම්බා සහ කීරි සම්බා වගා කරන්නේ 12%ක් වාගේ ප්‍රමාණයක්. නමුත් අද රටේ දිගින් දිගටම සම්බා සහ කීරි සම්බා ඉල්ලුම වර්ධනය වෙනවා” මෙහි දී ගුණරත්න මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සහල් පාරිභෝජන රටාවේ වෙනස්කම් පවතින බවයි.

‘සාමාන්‍යයෙන් දකුණු පළාතේ වැඩිපුර ආහාරයට ගන්නේ රතු නාඩු සහ රතු කැකුළු. මධ්‍යම පළාත්වල නාඩු සහ වැඩි පුර සම්බා ආහාරයට ගන්නවා. නමුත් උතුරු ප්‍රදේශවල වැඩි පුර නාඩු ආහාරයට ගන්නවා. මෙවැනි පාරිභෝජන රටාවක් තුළ දෛනිකව සහල් කිලෝ මිලියන 6.5ක් අවශ්‍ය වෙනවා. මේ සහල් සපයන්නේ අපේ ගොවියා. අපේ ගොවියා නිසා තමයි අපි තුන්වේලටම බත් කරන්නේ” රත්නායක මහතා මෙහි දී අවධාරණය කළේ ‘දේශීය ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ටම වගකීමක් තිබෙන බව’යි.

  • යළි වගා සංග්‍රමයක්

“රජයට, ගොවි සංවිධානවලට වගේම ගොවීන්ටත් මෙහි දී විශාල වගකීමක් තිබෙනවා. ඒ නිසා මේ සියලු අභියෝග ජය ගන්න පුළුවන් යුක්ති සහගත සැලසුමක් අපි සම්පාදනය කළ යුතුයි. ඒ වගේම මේ සියලු ගැටලුවලට කඩිනම් විසඳුමක් ලෙස වහාම වගා සංග්‍රමයක් ආරම්භ කළ යුතුයි. මෙවැනි පියවරක් තුළින් පුරන් කුඹුරු යළි අස්වැද්දීම, ප්‍රමාණවත් අස්වැන්නක් නොලබන, අයාලේ ගිය වගාවන් යළි නිසි පරිදි අස්වැද්දීම කළ හැකියි. අවසන් වරට මේ රටේ වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක වුණේ 2007-13 කාලයේ දී. එහිදී ‘අපි  වවමු – රට නඟමු’ කියලා දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒ හරහා රට සහල් වලින් ස්වයංපෝෂිත කරන්න අපට පුළුවන් වුණා. එළවළු, පලතුරු නිෂ්පාදනය ඉහළ ගිහින් ආනයන අඩු වුණා. මේක කොතරම් සාර්ථක වුණා ද කියනවා නම් ඒක ලෝක බැංකුවේ දැඩි ඇගයීමට පවා ලක් වුණා” කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස තමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යළි මතකය අවධි කරමින් හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා පැවසුවේය.

මෙහි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා දැඩිව අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ සහතිකයක් ලබා ගැනීමට සහ ගොවි ජනතාව ද ඇතුළත් සමස්ත ජනතාව අතර කෘෂිකර්මාන්තය හා සම්බන්ධ නව උනන්දුවක්, කැමැත්තක් ඇති කිරීමට වගා සංග්‍රාමය මහත් පිටුබලයක් වනු ඇති බවයි.

“රටේ ආහාර සුරක්ෂිතතාවය නැති වුණොත් ඒක ඍජුව ජාතික ආරක්ෂාවට බලපානව’ ගුණරත්න මහතා අනතුරු ඇඟවීමක් ද කළේය.

ගොවියා මුහුණ දෙන ගැටලු වලදී ඔහුට අවලාද  කීම හෝ ඔවුන්ගේ ගැටලු හමුවේ නොඇසූ කන්ව සිටීම නොකළ යුතු බව කී ගුණරත්න මහතා ගොවීන්ට ගැටලු වලට විසඳුම් ලබා දෙමින් ඉදිරියට යාම සියලු දෙනාගේ වගකීම බව ද මෙහි දී ප්‍රකාශ කළේය.

  • එල් නිනෝ හමුවේ අභියෝග

ආහාර සුරක්ෂිතතාවයේ වැදගත්කම දිගින් දිගටම අවධාරණය කළ ගුණරත්න මහතා අගෝස්තු මාසය වන විට එල් නිනෝ තත්ත්වය ආරම්භ වන බවත් ඒ හරහා මෙරට ආහාර සුරක්ෂිතතාවය යළි අවදානමට ලක්වන බවත් පෙන්වා දුන්නේය.

‘අපි අපේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරලා තිබුණොත් එල් නිනෝ තත්ත්වයකට බියවීමට හේතුවක් නැහැ. මේ වන විට රට තුළ ප්‍රමාණවත් වී තොග තිබෙන බවට සහතිකයක් තිබෙනවා. ඒ නිසා සහල් හිඟයක් ගැන අපට බිය වීමට හේතුවක් නැහැ. ඒත් ගොවීන්ගේ ගැටලු මේ නිසා අමතක නොකළ යුතුයි” ඔහු යළි අවධාරණය කළේය.

  • සහල් මාෆියාව

සහල් මා‌ෆියාව හරහා වී ගොවීන් කොල්ලකෑමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වී මාෆියාව පාලනය කිරීමේ වගකීම තිබෙන්නේ රජයට බව ද කීවේය.

“ඒකට ගොවියට කරන්න පුළුවන් දෙයක් නැහැ. වී මාෆියාව පාලනය කළ යුත්තේ රජය විසින්’ ඔහු පැවසුවේය‍‍.

වර්තමානයේ ඇතැම් ස්ථානවල රුපියල් 200ක් වැනි මිලකට පවා නාඩු සහල් අලෙවි වන බව පෙන්වා දුන් ගුණරත්න මහතා රජයේ පාලන මිල, රුපියල් 220ට වඩා අඩුවෙන් නාඩු අලෙවි කිරීම හරහා පෙනී යන්නේ ‘එම මිලට ද වඩා අඩුවෙන් නාඩු සහල් අලෙවි කළ හැකි’ බව ද කීවේය.

“මේ ලාභ යන්නේ කොහෙද කියලා හිතා ගන්න කෝ’ඔහු පැවසුවේය.

“වී සහ සහල් මාෆියාව පාලනය රජය ඍජුව මැදිහත් විය යුතුයි. මේ තත්ත්වය දිගින් දිගටම ක්‍රියාත්මක වුණොත් වී ගොවියා සහ සහල් පාරිභෝගිකයා යන දෙදෙනාම අසරණ වෙනවා” ගුණරත්න මහතා පැවසුවේය.

  • වී අලෙවි මණ්ඩල පනත

1971 අංක 14 දරණ වී අලෙවි මණ්ඩල පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ගුණරත්න මහතා, කාලීන අවශ්‍යතාව මත මෙම පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බව අවධාරණය කළේය.

“කාලීන අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයට වී අලෙවි මණ්ඩලය වෙනස් විය යුතුයි. ඒ සඳහා හැකියාවක් තිබෙනවා”ගුණරත්න මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් සමඟ පෙන්වා දුන්නේය.

‘සතොස සහ සාර්ථකව ක්‍රියාත්මක වන සමූපකාර සංගම් හරහා වී අලෙවි මණ්ඩලයට තම අරමුණ පැහැදිලිව, ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළ හැකියි. එවැනි තත්ත්වයක් තුළ වී ගොවියා වගේම පාරිභෝගිකයා තෘප්තිමත් කළ හැකියි’ ඔහු යළි පැවසුවේය.

  • අතිරිත්තය බියර්වලට

දේශීය සහල්වලට ගෝලීය වෙළෙඳපොළ තුළ ඉල්ලුමක් නොමැති වුව ද දේශීය කීරි සම්බා සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව කී ගුණරත්න මහතා සහල් වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගැනීම තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය තාවකාලිව අහෝසි කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුවට සිය සහයෝගය පළ කළේය. මෙවැනි කාලීන පියවර හරහා වී වලට වැඩි මිලක් ලබා දීමට විකල්ප ක්‍රමවේදන සොයා ගත හැකි බව ද ඔහු කීවේය.

වර්තමානය වන විට ගොවිජනතාව ස්ථාවර ආර්ථික හා සමාජ තත්ත්වයක් නිර්මාණය කරගෙන සිටින බව පෙන්වා දුන් ගුණරත්න මහතා ඔහුන් දීර්ඝ කාලීන කැප කිරීමක ප්‍රතිඵලයක් වශයෙන් මෙවැනි තත්ත්වයක් ලබා ගත් බවත් එය ආරක්ෂා කර දීම සහ තව දුරටත් ඔවුන්ගේ ජීවත තත්ත්වය උසස් කිරීමට පියවර ගැනීම රජය ඇතුළු සියලු පාර්ශ්වල වගකීමක් බව අවධාරණය කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ සංවාද මාලාවේ 282 වැනි කතිකාවේ දී හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න මහතා විසින් දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website