කල් ඉකුත් වූ පොහොර තොගයක් කඩුවෙල ලොරියකින් මතුවෙයි – ආයතනයට නඩු

කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ ලොරි රථ තුළ ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව අත්අඩංගුවට ගනී.

2026.07.21 වන දින සවස කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ආයතනයක් විසින් ලොරි රථ තුළ රහසිගතව ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) විශේෂ මෙහෙයුම් ඒකක අංක 01 නිලධාරීන් එක්ව සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම වැටලීමේදී කල් ඉකුත් වූ ඝන පොහොර කිලෝග්‍රෑම් 376ක් සහ දියර පොහොර ලීටර් 1,170ක් සොයාගනු ලැබීය.

අදාළ පොහොර තොගය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන මුද්‍රා තබා ඇති අතර, වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

විමර්ශන අවසන් වීමෙන් අනතුරුව අදාළ ආයතනයට එරෙහිව අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට නියමිතය.

  • පාරිභෝගිකයින්ට සහ ගොවි ජනතාවට වැදගත් දැනුම්දීමක්

බාල ප්‍රමිතියේ, කල් ඉකුත් වූ හෝ පාරිභෝගිකයින් සහ ගොවි ජනතාව නොමඟ යවන ආකාරයෙන් අලෙවි කරනු ලබන භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website