පවුල තුළ අනෝන්‍ය අවබෝධය, ගරුත්වය, සහයෝගය සහ වටහා ගැනීම තිබෙනවා නම් පුද්ගලයෙක් සියදිවි නසා ගැනීමට යොමුවන්නේ නැහැ. නැතිනම් ඒක ඉතාම අවම අගයක්. නමුත් වර්තමාන පවුල් සංස්ථාව ඉතාම සංකීර්ණ වගේම ඉතාම ලිහිල් බැඳීමක් තමයි තියෙන්නේ. සැමියා සහ බිරිඳ අතර, දෙමාපියන් සහ දරුවන් අතර සබඳතා ඉතාම ලිහිල් ඒවා බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය ඇතිවීමට විවිධ හේතු බලපාලා තිබෙනවා. විශේෂයෙන අධි පාරිභෝජනය, දැඩි තරඟකාරීත්වය, සමාජ මාධ්‍ය භාවිතයේ අධි ඇබ්බැහිවීම, විදේශ ගතවීම් නිසා පවුල තුළ බරපතළ හුදකලාභාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. දරුවන් ගැන අවධානය අඩු වෙනවා.
මහාචාර්යතුමණි, අපේ රට තුළ ඉතාම මෑතකදී ආන්දෝලනාත්මක සියදිවි නසා ගැනීම් තුනක් වාර්තා වුණා. මුලින්ම මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාවට වැඩ තහනටමට ලක්ව සිටි භාණ්ඩාගාර නිලධාරියෙක් සිය බල නහර කපා ගෙන සියදිවි නසා ගත්තා, ඊට පසුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එල්ලී සියදිවි නසා ගත්තා, ඊට පසුව පසුගිය දා හිටපු පොලිසිපති සී.ඩී. විත්‍රමරත්න මහතා සිය ආරක්ෂකයාගේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි නසා ගත්බව කියනවා. මෙවැනි බලවත්, උගත්, වෘත්තිකයින් පවා ඇයි සියදිවි නසා ගන්නේ ?
සියදිවි නසා ගැනීම් සඳහා බලපාන කරුණු රැසක් තිබෙනවා. ඒ අතර ආර්ථික ගැටලු, මානසික සෞඛ්‍ය යහපත් මට්ටමක නොපැවතීම, දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම, පවුල් සංස්ථාව බිඳ වැටී ඒ තුළ අර්බුද මතුවීම, රැකියා ස්ථානයේ ඇති වන විවිධ ප්‍රශ්න, දැඩි ණයගැතිභාවය, ආබාධිත තත්ත්වයට පත්වීම වැනි කරුණු තිබෙනවා.
නමුත් ඔබ සඳහන් කළ සිදුවීම් දිහා බලන විට මම ඉහතින් විස්තර කළ කරුණු වලින් ඔබ්බට ගිය තවත් කරුණු – කාරණා බලපාන්න පුළුවන් කියලා මම හිතනවා. ඉහත සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට වාර්තා වී තිබෙන තොරතුරු අනුව කරුණු විශේෂණය කළොත් තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා. ඔවුන් කාලයක් තිස්සේ රැකියාව කරනවා. නමුත් යම් යම් කරුණු හේතුවෙන් පසුකාලීනව ඔවුන්ට ඒ රැකියාව අහිමි වෙනවා. නැතිනම් විශ්‍රාම යාමට සිදුවෙනවා, වැඩ තහනමට ලක්වීමට සිදුවෙනවා. මේ කරුණු හේතුවෙන් ඇති වුණ මානසික පීඩනය, අනාගතය පිළිබඳ අවදානම, ඉදිරියේ දී අත්අඩංගුවට පත්වීමට ඇති බිය, සිරගත වීමට ඇති අවදානම හෝ බිය, පළිගැනීම්වලට ඇති බිය, සහ මේ සමස්ත සිදුවීම් සමඟ දැඩි මානසික ආතතියක් නිර්මාණය වීමට හැකියි. මේ ඍණාත්මක තත්ත්වයන් නිසි පරිදි කළමනාරණය කර ගැනීමට ඔවුන්ට නිසි මානසික ශක්තියක් නොතිබුණා වෙන්නට පුළුවන්. මෙවැනි තත්ත්වයකට පත්වෙන ඔ්නෑම පුද්ගලයෙකුගේ මානසික තත්ත්වය යහපත් කිරීමට, ඔවුන්ගේ මනස ශක්තිමත් කිරීමට, ප්‍රශ්නවලට වඩා ජීවිතයේ ඇති වටිනාකම ඔවුන්ට අවබෝධ කර දෙන්නට තරම් ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් අපේ රට තුළ නැහැ.
බොහෝ රටවල් වල මෙවැනි පුද්ගලයින් වෙනුවෙන් උපදේශන සේවා ශක්තිමක් හා ඵලදායී ලෙස ක්‍රියාත්මක වෙනවා. නමුත් අපේ රට තුළ මෙවැනි පුද්ගලයින් ඍජුව ඉලක්ක කළ හැකි මානසික සෞඛ්‍ය පද්ධතියක් හෝ මානසික උපදේශන සේවයක් නැහැ. මම හිතන ආකාරයට සියදිවි නසා ගැනීමට වැනි ඉතා අවාසනාවන්ත තීන්දුවක් ගැනීම දක්වා මිනිසෙක් යන්නේ ඔහුට සවන් දෙන, ඔහුට සහාය වෙන සෞඛ්‍ය සේවා පද්ධතියක් නොමැති වීම නිසයි.
හිටපු පොලිස්පතිතුමා වැනි දැඩි විනයක්, ශික්ෂණයක් සහ අත්දැකීම් සහිත වෘත්තිකයෙක් සියදිවි නසා ගැනීමට යොමුවිය හැකි විද්‍යාත්මක පදනම කුමක් ද ?
හිටපු පොලිස්පතිතුමා සියදිවි නසා ගත්ත ද, එසේ නොමැති නම් එය වෙනත් කාරණයක් කියලා මේ දන්වා නිල වශයෙන් තහවුරු කර නැහැ, මට ඒ ගැන දැනුමක් නැහැ. නමුත් ඔ්නෑම පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය තුළ කරන යම් යම් දේවල් තිබෙනවා. ඒව අතර විවෘත, සමාජය දකින කොටසක් තිබෙනවා, සංවෘත්ත, සමාජයට නොදැනෙන යම් කිසි කොටසක් තිබෙනවා. ඒ කාර්යයන් දෙස අපි නැවත හැරී බලන විට අපට ඒවාගෙන් සතුටු වෙන්න පුළුවන්ද, ඒවා තුළ අපි දිගින් දිගටම මානසික පීඩනයට ලක්කරන දේවල් තිබෙනවාද ?, කියන කාරණා වැදගත් වෙනවා. අපි නැවත හිටපු පොලිස්පතිතුමාගේ කතාවට ගියොත්, එතුමා සමහර විට කාලයක් තිස්සේ යම්කිසි මානසික පීඩනයකින් හිටියා වෙන්න පුළුවන්, පවුල් සංස්ථාව තුළ යම් යම් අර්බුදවලට, ගැටුම්වලට මුහුණ දී සිටියා වෙන්න පුළුවන්. ඒවා බොහෝ විට බාහිර සමාජයට අනාවරණය නොවන කාරණා ලෙස සැලකිය හැකියි. එවැනි තත්ත්වයකට මුහුණ දුන් පුද්ගලයෙක් සියදිවි නසා ගැනීම අවසන් විකල්පය ලෙස සලකනවා. මේ අවසන් තෝරා ගැනීමට යන තාක් කල් ඔහු ජීවත් වීමට උත්සාහ කරනවා. නමුත් ‘ජීවිතේ එපා’ කියන අවසන් තීරණය ගන්න නම් ඔහු දැඩි මානසික පීඩනයකින් සිටිය යුතුයි.
මෙවැනි පුද්ගයෙක් ආපසු හැරවීමට නොහැකි ද ?
පුළුවන්, ඔහු මේ තීරණය ක්‍රියාත්මක කරන්න මොහොතකට කලින් පවා යම්කිසි පුද්ගලයෙක් ඔහු සමඟ කතා කළා නම් සමහර විට ඔහු තමන් තීරණය ආපසු හරවන්න ඉඩ තිබෙනවා. නමුත් එවැනි තත්ත්වයක් නොවීම නිසා තමයි ඔහු තමන් අවසන් තීරණය ක්‍රියාත්මක කරන්නේ.

ලංකාව කාලයක් ලෝකයේ සියදිවි නසා ගැනීම් ඉහළම අනුපාතයක් වාර්තා කළ රටක් ලෙස සැලකුණා. මේ වන විට ලංකාවේ තත්ත්වය කොහොමද ?
මේ වන විට ශ්‍රී ලංකාවේ වර්ෂයකට පුද්ගලයින් 3500ක් පමණ සියදිවි නසා ගන්නවා. ශ්‍රී ලංකාවේ වත්මන් සියදිවි නසාගැනීම් අනුපාතය ජනගහනය 100,000කට 15ක්, එය ගෝලීය සාමාන්‍යය වන 100,000කට ආසන්න වශයෙන් 10.5 ට වඩා ඉහළ මට්ටමකයි පවතින්නේ. මෙම අගය 1995 දී 100,000කට 47ක් වැනි ඉතා ඉහළ අනුපාතයක තිබුණේ. මෙය ඉහළ පහත වැටීමක් පිළිබිඹු කරන නමුත් සියදිවි නසා ගැනීම රට තුළ තීරණාත්මක මහජන සෞඛ්‍ය සහ සමාජීය ගැටලුවක් ලෙස පවතිනවා.
ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් ඉහළම සියදිවි නසාගැනීම් අනුපාතයක් ඇති රටක් බවට පත් වීමට හේතු වුණ කාරණා මොනවාද ?
1995 දී පුද්ගලයින් 100,000කට 47 දෙනෙක් සියදිවි නසා ගන්නා තත්ත්වයට පත්වීම දශක කිහිපයක් පුරා සිදු වුණ අඛණ්ඩ වර්ධනයක ප්‍රතිඵලයක්. මේ තත්ත්වය 1970,80, සහ 90 දශකවල ක්‍රමිකව වර්ධනය වුණා. ඒකට ප්‍රධාන හේතුවක් වුණේ අධි විෂයක් සහිත කෘමිනාශක සහ වල්නාශක (පොලිඩෝල්) භාවිතය සුලබ වීම, මිනිසුන් ඒවා සමඟ නිතර කටයුතු කිරීම සහ ලබා ගැනීමේ පහසුවයි. ඒ වගේම කාලයක් කනේරු ඇට කා සියදිවි නසා ගැනීමේ රැල්ලකුත් තිබුණා. නමුත් මේ සම්බන්ධ දැඩි නියාමනය, දැනුවත් කිරීම් සහ සෞඛ්‍ය පද්ධතියේ මැදිහත් වීම් ආදි සාධක කිහිපයක් මත මේ වන විට සියදිවි නසා ගැනීම් ක්‍රමිකව පහළ යමින් තිබෙනවා. ඒත් වාර්ෂිකව පුද්ගලයින් 3000 – 3500ක් පමණ සියදිවි නසා ගැනීම කිසිසේත් පහසුවෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නොවෙයි.
මේ සඳහා බලපාන සමාජ – ආර්ථික කාරණා තිබෙනවා ද ?
මේ සඳහා සමාජ – ආර්ථික සාධක කිහිපයක් ඍජුව දායක වෙලා තිබෙනවා. ආර්ථික අපහසුතා, පවුල් තුළ ඇති වන ගැටුම්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, බරපතළ සෞඛ්‍ය ගැටලු, දැඩි ණයගැතිභාවය වැනි සංකීර්ණ හේතු ගණනාවක් අද සියදිවි නසා ගැනීම්වලට ප්‍රමුඛ හේතු ලෙස පවතිනවා.
සියදිවි නසා ගැනීම්වල ව්‍යුහාත්මක වෙනස්කම් පැහැදිලි කළ හැකි ද ?
මේ සම්බන්ධයෙන් තිබෙන ප්‍රධානතම ගැටලුව තමයි මේවා සම්බන්ධ නිවැරදි දත්ත පද්ධතියක් නැහැ. මේ සම්බන්ධයෙන් මට අවසාන වශයෙන් ලබා ගන්න පුළුවන් වූණේ 2022 දී නිකුත් කළ දත්ත. 2022 දී පුද්ගලයින් 3406 දෙනෙක් සියදිවි නසා ගෙන තිබෙනවා. මේ පිරිසෙන් 2832ක් පිරිමින් වන අතර 574ක් කාන්තාවන්. ඒ කියන්නේ 83%ක් පිරිමි සහ 17%ක් කාන්තාවන්. වයස් කාණ්ඩ අනුව බලන විට සියදිවි නසා ගැනීම්වල ඉහළම ප්‍රතිශතයක් වාර්තා වෙන්නේ අවුරුදු 20-50 අතර වයස් කාණ්ඩය සමස්ත සියදිවි නසා ගැනීම්වලින් 56%ක ප්‍රතිශතයක් නියෝජනය කරනවා.
ආදායම් මට්ටම් අනුව සියදිවි නසා ගැනීම්වල වෙනසක් තිබෙනවාද ?
ඒ පිළිබඳව අප සතුව දත්ත නැහැ.
අධ්‍යාපන තත්ත්වය අනුව තත්ත්වය කොහොමද ?
අපොස සාපෙළ සමස්ත කාණ්ඩය තුළ වැඩි පිරිසක් නියෝජනය වෙනවා. 2022 දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සියදිවි නසා ගැනීම් අතර 1089ක් වැනි ප්‍රමාණයක් අපොස සාපෙළට වඩා අධ්‍යාපනය ලැබූ පුද්ගලයින් බව වාර්තා වෙනවා. 08 ශ්‍රේණිය සමත් කාණ්ඩය ගත්විට 1110ක් නියෝජනය වෙනවා. පාසල් නොගිය පිරිස ඉතාමත් අඩුයි. මේ විශ්ලේෂණ නිවැරදි නැහැ, ඒකට හේතුව තමයි මේ කාණ්ඩය තුළ සමස්ත පුද්ගල නියෝජනයත් සලකා බැලිය යුතුයි.
2022 දී ලෝක සෞඛ්‍ය සංවිධානය කළ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ වයස සමඟ සියදිවි නසාගැනීමේ අනුපාත තියුණු ලෙස ඉහළ යන අතර, වයස අවුරුදු 55 ට වැඩි පිරිමින් අතර 100,000කට 65ක් දක්වා ඉහළ යන බවයි. කාන්තාවන් අතර, ඉහළම අනුපාතය අවුරුදු 17-25 වයස් කාණ්ඩයේ දක්නට ලැබෙන අතර එය 100,000 කට 10ක් ලෙස සැලකෙනවා. මගේ අදහස වෙන්නේ අධ්‍යාපන මට්ටම හෝ, ආදායම් තත්ත්වයට වඩා වැදගත් වෙන්නේ අදාළ පුද්ගලයින් මුහුණ දෙන ප්‍රශ්නවල ස්වරූපය සහ ඒවාට විසඳුම් සොයා ගැනීමට ඔහුට හෝ ඇයට ඇති මානසික ශක්තියයි.
කාලයකට පෙර වියළි කලාපයේ, විශේෂයෙන් කෘෂිකාර්මික කලාපයේ ඉහළ සියදිවි නසා ගැනීම් ප්‍රමාණයක් වාර්තා වුණා. වර්තමානයේ දී ලංකාවේ සියදිවි නසා ගැනීම්වල යම්කිසි භූගෝලීය ස්වභාවය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?

එවැනි විශේෂ විමර්ශනයක් කිරීමට අවශ්‍ය දත්ත රැස් කිරීමක් සිදුවන බවක් පේන්න නැහැ. අතීතයේ බොහෝ දුරට මහවැලි කලාපයේ සියදිවි නසා ගැනීම්වල ඉහළ අනුපාතයක් වාර්තා වුණා. ඒකට හේතු කිහිපයක් තිබුණා. තමන්ගේ මුල්ගම් බිම්වලින් ඈත්වීම, හුදකලාව, ආර්ථික දුෂ්කරතා, කෘමිනාශක හා කෘෂිනාශක සුලභවීම ආදි හේතු ඒ අතර ඉදිරියෙන්ම තිබුණා. නමුත් වර්තමානය වන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිබෙනවා. අධික නාගරීකරණය, අධි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, අනියම් සම්බන්ධතා, පවුල් ගැටුම් සහ ණයගැතිභාවය, අපේක්ෂාභංගත්වය, (විභාග අසමත් වීම) වර්මානය වන විට නාගරික හෝ ග්‍රමීය භේදයකින් තොරව සියදිවි නසා ගැනීම්වල කේන්ද්‍රීය සාධක බවට පත්ව තිබෙනවා.
සියදිවි නසා ගැනීම් සම්බන්ධයෙන් ලංකාවේ නීතිමය පසුබිම කුමක් ද ?
1998 දී ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීමට තැත් කිරීම අපරාධයක් නොවන බවට ප්‍රකාශ කළා. ස්වයං-හානිකර ගැනීම අපරාධයක් ලෙස සලකන නීති අවලංගු කිරීම, අත්අඩංගුවට ගැනීමේ බියෙන් තොරව ක්ෂණික මානසික සහ වෛද්‍ය උපකාර ලබා ගැනීමට පුද්ගලයන් දිරිමත් කර තිබෙනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ, සියදිවි නසා ගැනීමට අනුබල දීම හෝ සහාය දීම සිර දඬුවමක් හෝ මරණ දඬුවමක් ලැබිය හැකි වරදක් ලෙස සැලකෙනවා.
අනායාස මරණය හෙවත් වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව සියදිවි නසා ගැනීම සහ ස්වේච්ඡාවෙන් සිදු කරන අනායාස මරණය ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම නීති විරෝධී ලෙස පවතින අතර, එවැනි ක්‍රියාවන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරුමක් ලෙස සලකනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ නීතිය අනුව, සියලුම හදිසි හෝ අස්වාභාවික මරණ මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ හරහා නීත්‍යානුකූලව විමර්ශනය කර මරණයට නිශ්චිත හේතුව තහවුරු කර ගත යුතුයි.
සියදිවි නසා ගැනීමේ මානසිකත්වය ඇති පුද්ගලයෙක්ට එම මානසිකත්වයෙන් ගොඩ ඒමට මානසිකක උපදේශනය අත්‍යවශ්‍ය බව ඔබ මුලදී ප්‍රකාශ කළා. ඉතාම ශක්තිමක් සෞඛ්‍ය පද්ධතියක් ඇති රටක් ලෙස ලංකාවේ මානසික සෞඛ්‍ය පද්ධතිය, මානසික උපදේශනය ගැන ඔබේ අදහස කුමක් ද ?
ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවා සියදිවි නසා ගැනීම් සිදුවෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවා සියදිවි නසා ගැනීමේ මානසිකත්වය ඉවත්කර ගැනීමට උපකාර කළ හැකි යාන්ත්‍රණයක් නැහැ. සමස්තයක් ලෙස මානසික සෞඛ්‍ය ගැන අපේ අවධානය ඉතාම අඩුයි. ඒ වගේම නිසි පුහුණුවක් සහිත වෘත්තිකයින් අපේ රටේ ඉතාම අඩුයි. ඒකට හේතුව තමයි මෙවැනි දෙයක් වෘත්තියක් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ. උපදේශන සේවා සැපයීම තුළින්ම පමණක් ස්ථාවර ආර්ථික තත්ත්වයක් හදා ගන්න බැහැ. ඒක කරන්න පුළුවන් තමන්ගේ ස්ව කැමැත්තෙන්, අසාවෙන්, සමාජයට, මිනිස්සුට තිබෙන ආදරයෙන්, පුද්ගලයෙක්ගේ ජීවිතයක් රැක ගැනීමේ සැබෑ උනන්දුවක් තිබෙන පුද්ගලයෙකුට පමණයි. නමුත් එවැනි පුද්ගලයින් ඉතාම සීමිත පිරිසක් තමයි අපි අතර ඉන්නේ.
මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම ගැන ඔබේ අදහස කුමක් ද ?
1995 වන විට ලෝකයේ ඉහළම සියදිවි නසා ගැනීමේ අනුපාතයක් තිබුණ රටක් බවට ලංකාව පත්ව තිබුණා. ඒ අනුව පසුගිය දශක තුන තුළ සියදිවි නසා ගැනීම්වල කැපී පෙනෙන අඩුවීමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා. ඒත් පුද්ගලයින් 100,000කට 15ක් පමණ වන අගය පවා ගෝලීය සාමාන්‍යයට වඩා (100,000කට 10.5ට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක්. ඒ නිසා රජයේ අවධානය තව දුරටත් මේ කෙරෙහි යොමුවිය යුතුයි. ඒක විශේෂ අවධානයක් විය යුතුයි. ඒ වගේම අදාළ අංශවලට විශේෂිත පුහුණුවක් ලබාදීලා, කාලීන ප්‍රවණතාවලට ගැළපෙන ආකාරයට දැනුම සහ අත්දැකීම් සහිත වෘත්තිකයින් පිරිසක් බිහිකළ යුතුයි. සහතියක් හෝ උපාධියක් ලබා ගෙන ඒක ‘රස්සාවක්’ ලෙස කරන අයගෙන් වැඩි දෙයක් අපේක්ෂා කරන්න බැහැ.
මෙහි දී පවුල තුළින් ලැබෙන සහයෝගය ගැන ඔබට අදහස් තිබෙනවා ද ?
ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. පවුල තුළ අනෝන්‍ය අවබෝධය, ගරුත්වය, සහයෝගය සහ වටහා ගැනීම තිබෙනවා නම් පුද්ගලයෙක් සියදිවි නසා ගැනීමට යොමුවන්නේ නැහැ. නැතිනම් ඒක ඉතාම අවම අගයක්. නමුත් වර්තමාන පවුල් සංස්ථාව ඉතාම සංකීර්ණ වගේම ඉතාම ලිහිල් බැඳීමක් තමයි තියෙන්නේ. සැමියා සහ බිරිඳ අතර, දෙමාපියන් සහ දරුවන් අතර සබඳතා ඉතාම ලිහිල් ඒවා බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය ඇතිවීමට විවිධ හේතු බලපාලා තිබෙනවා. විශේෂයෙන අධි පාරිභෝජනය, දැඩි තරඟකාරීත්වය, සමාජ මාධ්‍ය භාවිතයේ අධි ඇබ්බැහිවීම, විදේශ ගතවීම් නිසා පවුල තුළ බරපතළ හුදකලාභාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. දරුවන් ගැන අවධානය අඩු වෙනවා. සැමියා සහ බිරිඳ අතර බැඳීම දුර්වල හෝ යාන්ත්‍රික වෙනවා. මෙවැනි පරිසරයක හුදකලා වන පුද්ගලයෙක්, යම්කිසි මානසික ගැටලුවකට මැදිවන පුද්ගලයෙක්ට පවුල තුළ පිළිසරණයක්, රැකවරණයක්, සහනයක් හෝ සැනසීමක් ලැබෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ ගැටලුවකට, අභියෝගයකට එකම විකල්පය, විසඳුම ලෙස ජීවිතයෙන් සමුගැනීම තෝරා ගැනීමට අදාළ පුද්ගලයාට සිදුවිය හැකියි.
ආගමික සංස්ථාවට මෙහි දී කිසියම් කාර්යභාරයක් තිබෙනවා ද ?
ආගමික සංස්ථාවට යම්කිසි ධනාත්මක බලපෑමක් කළ හැකියි. නමුත් ලංකාවේ පවතින කිසිම ආගමක් තුළින් එවැනි සේවයක් ඉටුවෙනවා කියලා මම දැඩිව විශ්වාස කරන්නෙත් නැහැ. අද වන විට ආගමික නායකයින් ක්‍රියාකාරකම් සහ වැඩකටයුතුත් හිසරදයක් බවට පත්වෙලා තියෙන්නේ. නමුත් ආගම, දර්ශනය තුළින් පුද්ගලයින්ගේ මනස, පැවැත්ම සුවපත් කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. නමුත් අපේ ආගම්වලින් එවැනි යහපත් දේවල් සිදු නොවීම අභාග්‍යයක්.
ඔබට සමාජයට දෙන්න යම්කිසි වැදගත් පණිවිඩයක් තිබෙනවා ද ?
අපේ සමාජය ප්‍රායෝගික නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමයත් ප්‍රායෝගික නැහැ. පොතපතින් ගන්න දැනුම සැබෑ ලෝකයේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. ‘දෙමාපියන් නමදිමු’ කියලා ලියන රචනාවට ලකුණු 100%ක්ම ගන්න ළමයා කිසිම දාක තමන්ගේ දෙමාපියන්ට වඳින්නේ නැහැ. මේ වගේ ප්‍රායෝගික නොවන සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ආගමික සංස්ථාව තුළත් මේකමයි ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රායෝගික පුද්ගලයින් බිහි කිරීමකින් තොරව අපට මේ ගමන වළක්වා ගන්න බැහැ. මේ රට ගොඩගන්න නම් ‘ළමයි හදන්න උත්සාහා නොකළ යුතුයි, ගුරුවරයා හදන්න අපි උත්සාහා කළ යුතුයි’. ගුරුවරයා හදපු ගමන ළමයින් ස්වභාවිකව ගොඩනැගෙනවා. ළමයින්ට උපදේශන සේවා කළාට දෙමාපියන්ට, ගුරුවරුන්ට උපදේශන සේවා කරන්නේ නැහැ. ඒ නිසා මම යළිත් අවධාරණය කරනවා ළමයි හදන්න පෙර දෙමාපියන් සහ ගුරුවරුන් හදන්න ඔ්නෑ. නමුත් ප්‍රතිපත්ති සම්පාදනය තුළ එවැනි අදහසක් මම දකින්නේ නැහැ.
සටහන – භාතිය බරුකන්ද












