
ගොවිජනතාව ඇත්තටම දන්නේ නැහැ, රජය වී මිල දී ගැනීමට ඉතාම අඩු පොළියකට ණය පහසුකම් ලබා දෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කරලා තිබෙනවා. නමුත් ගොවිජනතාව මේ ගැන දැනුවත් නැහැ. මේ ඔඩපන ණය ලබා ගත් මෝල් හිමියෝ අනිවාර්යයෙන්ම රජයේ සහතික මිලට වී මිලදී ගත යුතුයි. නමුත් ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට රජයේ අඩු පොළි ඔඩපන ණය ලබා ගත් මෝල් හිමියෝ කවුද කියලා ගොවිජනතාව දන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධ තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න පුළුවන්.
වී අලෙවි මණ්ඩලය පිහිටුවන්නේම වී ගොවියා නිෂ්පාදනය කරන වී ඇස්වැන්න මිලට ගෙන වී ගොවියට සාධාරණයක් ඉටුකිරීම සහ පසුව ඒවා අලෙවි කිරීමේ අරමුණෙන්. නමුත් වී අලෙවි මණ්ඩලයට දිගින් දිගටම ගොවීන්ගෙන් චෝදනා එල්ල වෙනවා. ගොවීන් කියනවා ඔවුන්ගේ වී වලට සාධාරණ මිලක් ලැබෙන්නේ නැහැ කියලා. මේ අතරේ පාරිභෝගිකයා කියනවා සහල් මිල දරා ගන්න අමාරුයි කියලා. වී ගොවියගේ මේ දුක්ගැනවිල්ලේ පසුබිම ඔබ දකින්නේ කොහොමද ?
මේ අවස්ථාවේ මම මගේ ස්වාධීන අදහස් ඉදිරිපත් කිරීමට කැමතියි. ලංකාවේ වී වගා වගා කරන ගොවියෝ මිලියන 1.22ක් පමණ සිටිනවා. මෙහි තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි වී ගොවිතැන ආර්ථික වශයෙන් ඵලදායී ද, තිරසර ද කියන ප්‍රශ්නය.
ගොවි ජනතාව නිරන්තරයෙන් මතු කරන ප්‍රශ්නයක් තමයි ‘යෙදවුම් මිල’ ගණන් ඔවුන්ට දරා ගන්න බැහැ කියන’ මැසිවිල්ල. ඒ වගේම තමන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට ප්‍රමාණවත් මිලක් නොලැබෙන බවට ඔවුන්ගෙන් විශාල චෝදනාවක් තිබෙනවා. නිෂ්පාදන වියදම සහ අලෙවි මිල මත තමයි ඔවුන්ගේ ලාභය තීරණය වෙන්නේ. නමුත් ගොවීන්ගේ ප්‍රධාන චෝදනාව තමයි ඔවුන්ට සාධාරණ මිලක්, ප්‍රමාණවත් ලාභයක් නොලැබෙන බව. මේ සම්බන්ධයෙන් අපි කළ අධ්‍යයනය කිහිපයක් තිබෙනවා. ඒ අනුව අපට හෙළි වුණා ගොවි ජනතාව කන්නයක් තුළ ලැබෙන අස්වැන්න අලෙවි කිරීම තුළින් ලබන ආදායම ගැන විශාල බලාපොරොත්තුවක් තබා ගෙන සිටිනවා. ඔවුන් ඒ ආදායම තමයි තමන්ගේ සියලුම වියදම් කළමනාකරණය කර ගැනීමට භාවිතා කරන්නේ. නමුත් ඔවුන්ගේ අස්වැන්න විකුණා ලැබෙන ආදායම අදාළ කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව අධ්‍යයන විසින් තහවුරු කර තිබෙනවා.
සමස්තයක් ලෙස සලකා බලන විට වී ගොවිතැනෙන් ලාභයක් තිබෙනවා. නමුත් ගොවි ජනතාවට තමන්ගේ පවුලේ වියදම් පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් ආදායමක් වී වගාවෙන් ලැබෙන්නේ නැති බව අධ්‍යයන මඟින් සොයා ගෙන තිබෙනවා. ඔහුට යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගෙන යාමට මේ අදායම ප්‍රමාණවයත් නැහැ. වී අලෙවි මණ්ඩලය ස්ථාපිත කිරීමේ මූලික අරමුණත් මේකම තමයි. වී අලෙවි මණ්ඩලයේ මූලික කාර්යභාරය තමයි ගොවියාගේ ජීවන තත්ත්වය උසස් කිරීම.
අධ්‍යයන වලින් සොයා ගෙන ඇති ආකාරයට හෙක්ටයාරයක් වගා කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී ගොවීන්ගේ වී අලෙවියෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් වෙන්නේ මාස 1.5ක පමණ කාලයක වියදමක් දැරීමට පමණයි. ඒ කියන්නේ හතර දෙනෙකුගෙන් යුත් පවුලකට එක් කන්නයක් තුළ වගා කරන වී අස්වැන්න අලෙවි කිරීමෙන් මාස 1.5ක් ජීවත් වෙන්න පුළුවන්. කරුණෑගල දිස්ත්‍රික්කයේ මේ අගය මාසයකට පමණ කාලයක් දක්වා අඩුවෙලා තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ මේ අගය මාස දෙකක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් මාස 1.5-02 අතර කාලයකට තමයි කන්නයකදී වී අලෙවියෙන් ලැබෙන ආදායම නිවසසේ වියදමට ප්‍රමාණවත් වෙන්නේ.
මෙහි දී අපි හඳුනා ගත් දේ තමයි හෙක්ටයාරයක වී වගා කරන ගොවියෙකුට තමන්ගේ 04 දෙනෙකුගෙන් යුත් පවුල සාර්ථක ආකාරයෙන් නඩත්තු කිරීමට වී වගාවෙන් ලැබෙන ආදායම කිසිසේත් ප්‍රමාණවත් නොවන බව. මේ සඳහා බලපාන හේතු සාධක වෙනම විමසා බැලීමක් තුළින් පමණයි මෙම ගැටලුවට විසඳුම් ලබා දීමට හැකියාව ලැබෙන්නේ.
මෙහිදී තවත් ගැටලු කිහිපයක් තිබෙනවා. නිෂ්පාදන වියදම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන අතර අස්වැන්නත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඒ අනුව ආදායමත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. මෙහි අදහස තමයි ‘පොදු විසඳුමකින් වී ගොවියාගේ ප්‍රශ්න විසඳන්න නොහැකියි’ කියන එක. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වන නිසා ඒ ඒ දිස්ත්‍රික්කවලට අනන්‍ය පිළිතුරු ලබා දීම තමයි වැදගත් වෙන්නේ.
‘එකම මිලකට වී මිල දී ගත්තා කියලා සියලුම ගොවීන්ට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ. ඒ වගේම යාන්ත්‍රීකරණය මත නිෂ්පාදන වියදම වෙනස් වෙනවා. කෘෂිකාර්මික කම්කරුවන්ගේ උග්‍ර හිඟය හේතුවෙන් මේ වන විට යම් ප්‍රමාණයකට වී වගාව යාන්ත්‍රීකරණය වෙලා තිබෙනවා. ඒත් මේක වී ගොවියට දරා ගන්න පුළුවන් මට්ටමක තිබෙනවා ද කියන ප්‍රශ්නය තිබෙනවා. උදාහරණයක් ලෙස මීට දශකයකට දෙකකට පමණ පෙර කොළමැඩීම සිදු වුණේ ට්‍රැක්ටර් භාවිතයෙන්. නමුත් මේ වන විට එය 100%ක්ම වාගේ සංයුක්ත කොළමඩින යන්ත්‍ර මඟින් කෙරෙන්නේ. ඒ වෙනුවෙන් මේ වන විට රුපියල් 25,000ක් වාගේ මුදලක් වැය වෙනවා. යාන්ත්‍රීකරණයේ විවිධ පියවර අනුව මේ මුදල තවත් වැඩි වෙනවා. මේ නිසා වඩාත් අඩු මුදලකින් මේ කටයුතු කළ හැකි ක්‍රම හඳුන්වා දීමට සිදුවෙනවා.
වී ගොවිතැන පමණක් එකම ආදායම් මාර්ගය කර ගන්නේ නම් ගොවි ජනතාවට සාර්ථක ජීවිතයක් ගත කිරීමට නොහැකි වෙනවා. ඒ නිසා ඔහු විකල්ප හෝ ද්විතියික ආදායම් මාර්ග සොයා ගත යුතුයි.
මේ ගැටලුවට මේ වන විටත් විසඳුම් කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. අතිරේක බෝග වගාව, අතරමැදි කන්නයේ වගාව වගේම අක්කරයක පමණ භූමි ප්‍රමාණයක් තුළ ගොඩ බෝග වගා කිරීමට මේ වන විට ගොවීන්ට හැකියාව තිබෙනවා.
ඒ වගේම නිෂ්පාදන වියදම අඩු කිරීමට රජය විසින් සහනාධාර කිහිපයක් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන් වාරි ජලය 100%ක්ම නොමිලේ ලබා දෙනවා. ඊට අමතරව පොහොර සහනාධාරය, වගා හානි රක්ෂණ, කෘෂි උපදේශන සේවා ආදිය ගොවි ජනතාවට ලබා දෙනවා.
ඒ වගේම වර්ෂාපෝෂිත ප්‍රදේශවල වී වගා කරන ගොවීන් යම්කිසි අභියෝගයකට මුහුණ දෙනවා. අධ්‍යයනවලට අනුව ඔවුන්ගේ නිෂ්පාදන වියදම ඇතැම් අවස්ථාවල ආදායමට වඩා වැඩි වෙන අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ ඔවුන්ට වී වගාව අතින් පාඩු ලබන ව්‍යාපාරයක් වෙනවා. මේ තත්ත්වය ඇති වීමට හේතු කිහිපයක් තිබෙනවා. ප්‍රධාන වශයෙන් වර්ෂාපෝෂිත ප්‍රදේශවල කුඹුරු කුඩයි, ඒ වගේම වර්ෂාව ගැන නිශ්චිතභාවයක් නැහැ. මේ නිසා බොහෝ විට ඉහළ අස්වැන්නක් ලබා ගැනීමටත් හැකියාවක් නැහැ, අස්වැන්නේ ගුණාත්මකභාවයත් අඩුයි. මෙහි සමස්ත ප්‍රතිඵලය ලෙස වර්ෂාපෝෂිත වී වගාවේ නිෂ්පාදන වියදමට වඩා සැලකිය යුතු ලෙස අදායම පහළ වැටීම හේතුවෙන් ‘අතින් පාඩු වෙන’ අවස්ථාත් තිබෙනවා.
මේ සියලු ගැටලු සහ අභියෝග මැද නිෂ්පාදන වියදම අඛණ්ඩව ඉහළ යාමේ සහ විචලනය වීමේ තත්ත්වයන්ට ගොවි ජනතාව මුහුණ දෙනවා. නමුත් වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන වියදම ගොවි ජනතාව ගණනය කරන ආකාරය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන ආකාරය අතර සැලකිය යුතු වෙනසක් නැහැ. එහෙත් නිෂ්පාදන වියදම තුළ සංකීර්ණ වියදම් තිබෙනවා. විශේෂයෙන් මේ වන විට කෘෂිකර්මාන්තය බරපතළ ශ්‍රම හිඟයකට සහ ඒ හේතුවෙන් ඉහළ කම්කරු කුළියකට මුහුණ දෙමින් සිටිනවා. ඒ වගේම කෘෂිකාර්මික කම්කරුවන් වෙනුවෙන් වැටුපට අමතරව තවත් සැලකිය යුතු අමතර වියදමක් දැරීමට සිදුවෙනවා. ඇතැම් විට ඔහුට හෝ ඇයට බුලත් විට, තේ, ආහාර පාන ලබාදීමටත් සිදුවෙනවා. ඇත්තම කිව්වොත් සමහර අවස්ථාව මත්පැන් ලබා දීමට සිදුවෙනවා.
මෙම තත්ත්වය නිසා රජය සහ ගොවිජනතාවගේ ගණනය කිරීම් අතර යම් විෂමතාවක්, පරස්පරයක් ඇති වෙලා තිබෙනවා. මගේ අදහස අනුව මේ වෙනස ඇතැම් විට 10%ක පමණ විය හැකියි.
2026 යල කන්නයේ වී මිල දී ගැනීමේ දීත් මේ වන විට නිෂ්පාදන වියදම ගණනය කරලා තිබෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 89ක් වැය වෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. මෙම ගණනය කිරීම්වල සඳහන් වෙලා තිබුණා අස්වැන්නේ 20%ක හානියක් වුණොත් නිෂ්පාදන පිරිවැය රුපියල් 130කට ආසන්න අගයක් දක්වා ඉහළ යනවා කියලා. රජයේ නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් යම් යම් චෝදනා එල්ල වෙන්නේ මේ සඳහන නිසා කියලා මට හිතෙනවා.
රජයේ වී මිල දී ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කළොත් මේ නිෂ්පාදන වියදම පදනම් කරගෙන අපි වී මිල දී ගැනීම කරනවා.
මෙහි දී ගැටලු කිහිපයක් ඇති වෙලා තිබෙනවා. ගොවිජනතාව ඇත්තටම දන්නේ නැහැ, රජය වී මිල දී ගැනීමට ඉතාම අඩු පොළියකට ණය පහසුකම් ලබා දෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කරලා තිබෙනවා. නමුත් ගොවිජනතාව මේ ගැන දැනුවත් නැහැ. මේ ඔඩපන ණය ලබා ගත් මෝල් හිමියෝ අනිවාර්යයෙන්ම රජයේ සහතික මිලට වී මිලදී ගත යුතුයි. නමුත් ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට රජයේ අඩු පොළි ඔඩපන ණය ලබා ගත් මෝල් හිමියෝ කවුද කියලා ගොවිජනතාව දන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධ තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්න පුළුවන්. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ බලය තිබෙන්නේ ඔවුන්ටයි. යම්කිසි හේතුවක් මත මේ ණය ලබා ගත් මෝල් හිමියෝ රජයේ සහතික මිලට වී මිලදී ගන්නේ නැතිනම් ඒ ගැන ගොවිජන සේවා මධ්‍යස්ථාන හෝ අදාළ නිලධාරීන්ට පැමිණිලි කළ හැකියි.
මේ ආකාරයට තමයි වී මිල පාලනය කරමින් ගොවිජනතාව සහ පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ. අපේ අරමුණ තමයි වී ගොවියාට උපරිම මිල වාසියක් ලබා දීම තුළින් රටේ සහල් මිල පාරිභෝගිකයාට ද දරා ගත හැකි ආකාරයට පාලනය කිරීම.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ ‘කතිකාව’ 282 වැනි වැඩසටහනේ දී සමන් පාලිත බණ්ඩාර මහතා දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
සටහන – තුෂාල් විතානගේ















