බර අඩු පාන් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්: බේකරි මට්ටම දක්වා විමර්ශන පුළුල් කරයි

එම නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

පාරිභෝගිකයා ගෙවන මුදලට නියමිත බරින් යුතු පාන් ගෙඩියක් ලැබෙනවාද? එය තහවුරු කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2026 සැප්තැම්බර් 01 සිට 03 දක්වා දිවයින පුරා පාන් සම්බන්ධ විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන යටතේ සිල්ලර වෙළෙඳසැල් සහ බේකරි ඇතුළුව ආයතන 118ක් පරීක්ෂාවට ලක් කර ඇත. පාන්වල නියමිත බර පවතින්නේද, බර සහ මිල නිසි ලෙස ප්‍රදර්ශනය කර තිබේද සහ බර අඩු පාන් හමු වූ විට ඒවා නිෂ්පාදනය කළ හෝ සැපයූ බේකරිය දක්වා සැපයුම් දාමය පසුපසට විමර්ශනය කළ හැකිද යන්න මෙහිදී විශේෂයෙන් පරීක්ෂා කරන ලදී.

ලැබී ඇති මූලික වාර්තා අනුව,

  • පැහැදිලි බර තොරතුරු ලැබුණු වෙළෙඳසැල් සහ බේකරි අතරින් 54ක බර අඩු පාන් හමු වී ඇත.
  • වෙළෙඳසැල් සහ බේකරි 76ක පාන්වල බර නිසි ලෙස ප්‍රදර්ශනය කර නොතිබුණි.
  • වෙළෙඳසැල් සහ බේකරි 65ක පාන්වල මිල නිසි ලෙස ප්‍රදර්ශනය කර නොතිබුණි.
  • බර අඩු පාන් හමු වූ අවස්ථාවල සැපයුම් දාමය පසුපසට විමර්ශනය කරමින් බේකරි 81ක් පරීක්ෂාවට ලක් කර ඇත.

වෙළෙඳසැලෙන් නතර නොවී බේකරිය දක්වා විමර්ශනය

සිල්ලර වෙළෙඳසැලක බර අඩු පාන් හමු වූ විට එම වෙළෙඳසැල සම්බන්ධයෙන් පමණක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් විමර්ශනය අවසන් නොකර, අදාළ පාන් සැපයූ බේකරිය හෝ නිෂ්පාදකයා හඳුනාගෙන එම ස්ථානය දක්වා විමර්ශනය පුළුල් කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි.

එම බේකරිවල පාන් නිෂ්පාදන ක්‍රියාවලිය, නිෂ්පාදනය කරන පාන්වල බර සහ ඒවා අනෙකුත් වෙළෙඳසැල් වෙත සැපයෙන ආකාරය පිළිබඳවද පරීක්ෂා කරන ලදී.

බර අඩු පාන් නිෂ්පාදනය වන බව තහවුරු වූ අවස්ථාවලදී, නියමිත බරින් යුතු පාන් පමණක් වෙළෙඳපොළට නිකුත් වන ආකාරයට නිෂ්පාදන ක්‍රියාවලිය වහාම නිවැරදි කරන ලෙස බේකරි හිමියන්ට උපදෙස් ලබාදීමටද කටයුතු කරන ලදී.

පාන්වල නියමිත බර

  • සම්පූර්ණ පාන් ගෙඩියක් – ග්‍රෑම් 450
  • අර්ධ පාන් ගෙඩියක් – ග්‍රෑම් 225

මෙම වැටලීම්වල අරමුණ නඩු සංඛ්‍යාව වැඩි කිරීම පමණක් නොව, පාරිභෝගිකයා ගෙවන මුදලට නියමිත බරින් යුතු පාන් ලබාදීම තහවුරු කිරීම, නීතිගරුක බේකරි හා වෙළෙඳුන්ට සාධාරණ වෙළෙඳපොළක් ඇති කිරීම සහ බර අඩු පාන් නිෂ්පාදනය මූලාශ්‍ර මට්ටමින් නිවැරදි කිරීමයි.

මෙවැනි විශේෂ වැටලීම්, බේකරි පරීක්ෂා කිරීම් සහ සැපයුම් දාම විමර්ශන ඉදිරියටත් දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබේ.

පාන්වල බර, මිල හෝ වෙනත් වෙළෙඳ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන්න.

🍞 නියමිත බර – 💰 පැහැදිලි මිල – 📋 නිවැරදි තොරතුරු – 🛡️ පාරිභෝගිකයාගේ අයිතිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website