
වෛද්‍ය තුෂ් වික්‍රමනායක

පොලොන්නරුවේ දේශපාලකයෙකු දරුවන් ස්පර්ශ කිරීම සම්බන්දව මම ලියපු පෝස්ට් එකට ලැබුනු ලොකුම ප්‍රතිචාරය තමයි “ළමයින්ට consent/කැමැත්ත දෙන්න බෑ – ෆුල් කන්ෆියුස්” කියලා. අනේ ප්ලීස් කන්ෆියුස් වෙන්න එපා.
ලිංගික අපයෝජන වළක්වාගන්න ලෝකයේම දහස් සංඛ්‍යාත පර්යේෂණ වලින් ඔප්පු වී ඇති එකම ස්ථිර පිළියම වන්නේ age appropriate sexuality education/වයසට සරිලන ලිංගිකත්ව අධ්‍යාපනය ලබා දීමයි. ඒක පටන් ගන්න ඕන මුලින්ම දරුවෙක් දෙමව්පියන්ගෙන් වෙන් වී ඉන්න පුලුවන්, කතා කරන, ඇවිදින වයසෙදි. ඒ කියන්නෙ අවුරුදු 3/4 වැනි පෙර පාසල් වයසෙදි.
මොකක්ද CONSENT/කැමැත්ත කියන්නෙ?
ඒක අත්සන් කරලා සම්මත කර ගන්න දෙයක් නෙවේ. දරුවෙක් තමන්ගෙ අකමැත්ත අංග චලනයෙන් හෝ කතාවෙන් හෝ ක්‍රියාවෙන් පෙන්වනව නම් ඒක තමයි consent දුන්නෙ නෑ කියන්නෙ. කොටින්ම දරුවෙක් යමක් NO/එපා කියන එක තමයි consent නොදීම කියන්නෙ.
උදා: ඔලුව අත ගානවට අකමැතියි, කෑමක් ප්‍රතික්ෂේප කිරීම, පෞද්ගලික ශරීර අංග ස්පර්ශ කිරීම අකමැති වීම
මේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කිරීම සෑම දරුවෙකුගේම මූලික අයිතිවාසිකමක්. එය ශ්‍රී ලංකාව අත්සන් කරපු UN CRC /එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්රඥප්තියේ ස්ථිර කරල තියෙන්නෙ මෙහෙමයි:
ඛණ්ඩ 13 = freedom of expression/අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
ඛණ්ඩ 12 = respect for the views of the child/දරුවගෙ අදහස් වලට ගරු කරන්න
මොකක්ද Talk PANTS කියන්නෙ?
එක්සත් රාජධානියෙ NSPCC මගින් (ලංකාවේ NCPA ළමා ආරක්ෂක අධිකාරිය හා සමාන ආයතනය) අවු 3-11 දක්වා දරුවන්ට ඉතාම සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ලිංගිකත්ව අධ්‍යාපනය. අපූරුම දේ තමයි *sex කියන වචනෙවත් පාවිච්චි නොකර* තමයි මෙය වයස් ඛාණ්ඩ 3 ට සහ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති දරුවන්ට කියා දෙන්නෙ. මෙහි සාර්ථකත්වය නිසාම මේ ආකෘතිය බොහෝ රටවල් අනුගමනය කරන්න පටන් අරං තියනවා.
P = Privates are private/ යට ඇඳුමින් වැහෙන ශරීර කොටස් පෞද්ගලිකයි. ඒවා බලන්න ස්පර්ශ කරන්න කාටවත් බෑ. (දරුවන් නෑවීම, ඇඳුම් ඇන්දවීම වැනි එදිනෙදා කටයුතු හෝ වෛද්‍ය පරීක්ෂණයදී හැර. මෙහිදි වෘත්තිකයා දරුවගෙන් පැහැදිලිව අහන්න ඕන “මම ඔයාගෙ කන බලනවා. රිදෙන්නෙ නෑ. Ok ද?”)
A = Always remember your body belongs to you/තමන්ගෙ ශරීරය අයිති තමන්ටයි. තමන්ට අපහසුවක් දැනෙන හෝ ලැජ්ජා හිතෙන දෙයක් කරන්න දෙන්න එපා.
N = No means NO/එපා කියන්නෙ එපා. තමන්ගෙ පවුලේ අයගෙන් හෝ ආදරය කරන අයගෙන් තමන් අකමැති දෙයක් කිරීම හෝ ඔවුන්ගෙ හැසිරීමට එදිරි වීමට දරුවන්ට සම්පුර්ණ අයිතිය තියනවා.
T = Talk about secrets that upset you/තමන් අකමැති හෝ බයක් දැනෙන රහසක් ලෙස තියා ගන්න කියපු දෙයක් අනාවරණය කරන්න පැකිලෙන්න එපා. හොඳ රහසක් උදා. Surprise එකක් හෝ නරක රහසක් අතර වෙනස කියා දෙන්න.
S = Speak up, someone can help/තමන්ට බයක් සැකක් ඇති දෙයක් තමන් විශ්වාස කරන වැඩිහිටියෙකුට කියන්න. උදව් ලැබෙනකම් කියන්න.
HOLD YOUR PANTS!
කැමැත්ත දුන්න කියලා දරුවෙක් අපයෝජනය කරන්න බෑ, රාජ්‍ය රැකවරණයේ ඉන්න දරුවෙකුගෙ (පාසල්, රෝහල්, පොලිස්, රැකවරණ මධ්‍යස්ථාන වල) පිංතූර සමාජගත කරන්න බෑ, exploit/සූරා කන්න බෑ. දරුවන් ආරක්ෂා කරන්න වැඩිහිටියෙකුට ඇති සාමූහික සමාජ වගකීමෙන් මිදෙන්න බෑ.
ශිෂ්ඨ සම්පන්න රටක, 21 වෙනි ශතවර්ෂයේ ගෝලීය දරුවෙක් බලාපොරොත්තු වෙනව නම් ඔබ ෆුල් තියා අරික්කාලක් වත් කන්ෆියුස් වෙන්න එපා. ඔව්, දරුවන්ට consent/ කැමැත්ත දෙන්න පුලුවන් විතරක් නෙවේ – ඒ කැමැත්තට අපි ගරු කල යුතුයි!
වෛද්‍ය තුෂ් වික්‍රමනායක විසින් සම්පාදිත සටහනකි – සංස්කාරක














