
පසුගිය අවුරුදු 76 පුරාවට මේ ගැටලුවට තිරසාර විසඳුමක් දෙන්න නොහැකි වුණේ ඇයි ?, කාගේ වුවමනාවට ද ඒක කරන්න නොහැකි වුණේ. මේ කාලය තුළ බලයට පත් වුණ ආණ්ඩු ගොවිජනතාව වෙනුවෙන් කළ සියලු යහපත් දේවල් මේ වසවිෂ භාවිතය නිසා යටපත් වෙලා, වැල් වැදිලා ගියා. ඒ නිසා මම යළි අවධාරණය කරනවා, වී ගොවීන් මුහුණ දෙන මේ ගැටලුවලට කෙටි කාලීන, මැදි කාලීන ස දිගු කාලීන විසඳුම් අවශ්‍යයි.
ඔබ දීර්ඝ කාලයක් පුරා ගොවීන් වෙනුවෙන් අරගල කරන ගොවි නායකයෙක්. ඔබට අනුව වී ගොවියෝ වර්තමානයේ මුහුණ දී සිටින ත්තත්වය කුමක් ද, ඔවුන්ගේ දුක්ගැනවිල්ල කුමක් ද ?
මේ අර්බුදය කෙටි කාලීන, මැදි කාලීන සහ දිගු කාලීන වශයෙන් කොටස් තුනකට බෙදා සාකච්ඡා කළ යුතුයි. මුලින්ම සඳහන් කළ යුතුයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ අදින් අවුරුදු දෙකකට පමණ පෙර වී වලට සාධාරණ මිලක් ඉල්ලා පාරට බැස්ස ගොවීන් නිසා කියන එක. නමුත් මේ ආණ්ඩුවටත් වී ගොවීන්ගේ සාධරණ ඉල්ලීම් ඉටුකරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා යළිත් වී ගොවීන්ගේ අර්බුදය පාරට ඇවිත් තිබෙනවා.
නමුත් අපි තේරුම් ගත යුතු කතාවක් තිබෙනවා. මේ අර්බුදයේ එක පැත්තක් පමණයි මේ හරහා නියෝජනය වෙන්නේ. අද ගොවියෝ පාරට බැහැලා ඉල්ලන්නේ පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය සාධාරණ මිලකට දෙන්න කියලා. ඒ වගේම වී වලට රුපියල් 140ක, 150ක සාධාරණ මිලක් දෙන්න කියලා. මේක අද ඊයේ ඇති වුණ දෙයක් නෙමෙයි, මේක අවුරුදු 40ක පමණ කාලයක් තිස්සේ ඇතිවෙලා තියෙන තත්ත්වයක්.
තවත් කාරණයක් තියෙනවා. ගොවිජනපද ව්‍යාපාරය තුළ වී ටික අලෙවි කර ගන්නකන් වී ගොවියත් වෙළෙන්දෙක් වෙනවා. වී ටික විකුණලා දාපු ගමන් ගොවියා පාරිභෝගිකයෙක් වෙනවා. අපි වී කිලෝවක් රුපියල් 150යි කියන කොටම කතාව වෙනස් වෙනවා. දැන් පුද්ගලික අංශය තමයි වී මිල දී ගැනීමේ දී ශක්තිමත් වෙලා ඉන්නේ. රජය පැත්තෙන් කිසිම දෙයක් වෙන්නේ නෑ. වී අලෙවි මණ්ඩලය ගබඩා විවෘත කළාට ඒක සාර්ථක වෙලත් නැහැ.
මේකෙන් වෙන දේ තමයි හාල් රුපියල් 300 විතර වෙනවා. අපි තවත් දෙයක් පිළිගත යුතුයි. මැදපෙරදිග යුද්ධය නිසා කිසිම දෙයක් ලාබෙට ලබා ගන්න හැකියාවක් නැහැ. කොයි ආණ්ඩුව බලයට පත් වුණත් මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ යථාර්ථය අපි පිළිගත යුතුයි.
ඒ වගේම මේ යුද්දේ නිසා වෙන එක හොඳ දෙයක් මම දකිනවා. මේ වස ආනයනය කරන්න නොහැකි වීම තුළ වසවිෂ නැති ගොවිතැනකට යන්න අපේ ගොවීන්ට අවස්ථාව ලැබෙනවා. ඇත්තටම දිගු කාලීනව අපේ ගොවීන් මුහුණ දෙන ගැටලුවලට විසඳුම තියෙන්නෙත් මේ වසවිස නැති ගොවිතැන තුළ, ඒක තමයි උත්තරේ.
මේ ගැටලුව මතු වුණේ 1950 සිටයි. ඒ කියන්නේ රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක හඳුන්වා දුන් දා සිටයි. ඒකට හේතුව පැහැදිලියි, ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී පාලන සමයේ තමයි ගොවිජනපද ව්‍යාපාරය ආරම්භ කළේ. ඩී.එස්. සේනානායක මැතිතුමාට ඒ අවස්ථාවේ යම් යම් ප්රගතිශීලී ක්‍රියාමාර්ග ගන්න ඉඩකඩ තිබුණා. නමුත් 1960 දශකයෙන් පසු, විශේෂයෙන් 1978න් පස්සේ මේ රට තුළ ඉතාම නරක ආකාරයෙන් නව ලිබරල් දේශපාලනය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ හරහා අපේ කෘෂිකර්මාන්තය එක්සත් ජනපදයේ, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට යට වුණා. එදා සිට අපේ ගොවීන් මුහුණ දෙන ගැටලු ඉතාම නරක ආකාරයට තීව්රර වුණා. දුප්පත්කම තුරන් කිරීමවත්, මන්දපෝෂණය තුරන් කිරීමටවත්, විශේෂයෙන් වසවිස නැති ගොවිතැනකට යන්නවත් මේ තුළ අවස්ථාවක් ලැබුණේ නැහැ. මෙන්න මේක තමයි අපේ වී ගොවියා මුහුණ දෙන අර්බුදයේ මූලය.
මේ පසුබිම තුළ අද වී ගොවියා මුහුණ දෙන අර්බුදය වටහා ගන්න පුළුවන්. අද ඍජුව වී අලෙවි කරන ගොවීන් ඉන්න දිස්ත්‍රික්ක 12යි තියෙන්නේ. මේ දිස්ත්‍රික්ක වල වී ගොවීන් බරපතළ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙනවා. වකගුඩු රෝගය, පිළිකා, ඇසේ සුඳ මතුවීම, දියවැඩියාව, අධික රුධිර පීඩනය මේ දිස්ත්‍රික්කවල සුලභයි. ඒ අතර පොළොන්නරුව ඉහළින්ම ඉන්නවා. මේවා සේරම බෝ නොවන රෝග. අද බෝ නොවන රෝගවලින් වැඩිපුර මිය යන්නේ ගොවිජනපදවල ගොවීන් සහ කෘෂිකාර්මික කම්කරුවන්.
ආසියාවේ ලොකුම වකුගඩු රෝහල පොළොන්නරුවේ හැදුවා කියලා අපිට උත්තරයක් නැහැ. මහරගම පිළිකා රෝහලට යන්න – එන්න බස් හයක් පොළොන්නරුවේ සිට ධාවනය වෙනවා. අපේක්ෂා රෝහලට ළමයින් අරගෙන යන්නම තවත් බස් සේවයක් තිබෙනවා.
අපි කරන ගොවිතැනේ අවසාන ප්‍රතිඵලය මේක ද, රටට බත සපයපු ගොවියා මුහුණ දෙන ඉරණම මේකද ?. අද ගොවි ගම්මාන ලෙඩ වාට්ටු බවට පත්වෙලා ඉවරයි. සෑම ගෙදරකම රෝගීන් ඉන්නවා, හැම කෙනෙක්ම වෛද්‍ය සායනවලට යනවා. මේක ද අපි කෘෂිකර්මාන්තය තුළින් අපේක්ෂා කළ සංවර්ධනය. මේක ද ගොවීන්ට උරුම වුණ සංවර්ධනය. ඇයි ගොවියා රටට වස කවන්නෙක් බවට පත් වුණේ ?. ඇයි වසවිස නැති බත් පතක් ජනතාවට දෙන්න බැරි ?, ඒක එහෙම වුණේ වාගේ වරදින් ද?.
පසුගිය අවුරුදු 76 පුරාවට මේ ගැටලුවට තිරසාර විසඳුමක් දෙන්න නොහැකි වුණේ ඇයි ?, කාගේ වුවමනාවට ද ඒක කරන්න නොහැකි වුණේ. මේ කාලය තුළ බලයට පත් වුණ ආණ්ඩු ගොවිජනතාව වෙනුවෙන් කළ සියලු යහපත් දේවල් මේ වසවිෂ භාවිතය නිසා යටපත් වෙලා, වැල් වැදිලා ගියා. ඒ නිසා මම යළි අවධාරණය කරනවා, වී ගොවීන් මුහුණ දෙන මේ ගැටලුවලට කෙටි කාලීන, මැදි කාලීන ස දිගු කාලීන විසඳුම් අවශ්‍යයි.
ඒ වගේම මේ ටිකත් මතක් කළ යුතුයි. මේ වන විට ඉතාම අසීරුවෙන්, දැඩි දුෂ්කරතා මැද, පිටරටවල් වලින් ගත් ආභාෂයෙන් වසවිෂ නැති ගොවිතැනට ඉතාම සූළු පිරිසක් මේ වන විට යොමුවෙලා ඉන්නවා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ ‘කතිකාව’ 282 වැනි වැඩසටහනේ දී කවුඩුල්ලේ ජයතිස්ස මහතා දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
සටහන – තුෂාල් විතානගේ
















