නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රය ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
2026 වසරේ අයවැයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 303ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එයින් සාමාන්‍ය අධ්‍යාපනයට බිලියන 160ක්, උසස් අධ්‍යාපනයට බිලියන 122ක් සහ වෘත්තීය අධ්‍යාපනයට බිලියන 20ක් වශයෙන් වෙන් කර තිබේ.
එම ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති, ඉදිරි සැලසුම් සහ ලබන වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ පමණින් ඒවා වියදම් නොකර, ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගෙන ප්‍රතිපාදන යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
වෘත්තීය අධ්‍යාපනය සඳහා වෙන් කෙරුණු වැඩිම ප්‍රාග්ධන වියදම වන රුපියල් බිලියන 08ක් මේ වසරේ වෙන් කර ඇති බවත්, රජය යටතේ ක්‍රියාත්මක වෘත්තීය පුහුණු ආයතන 310ක් සඳහා පසුගිය කාර්තු දෙක තුළ සිසුන් 57,959ක් බඳවාගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.
වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, සාගර විශ්වවිද්‍යාලය සඳහා ස්ථීර භූමියක් ලබා දීම පිළිබඳවත්, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා සිසුන් බඳවා ගැනීම ලබන වසරේ සිට ක්‍රමයෙන් වැඩි කිරීම පිළිබඳවත් සාකච්ඡා විය. එමෙන්ම දිවයින පුරා පවතින යුනිවර්සිටි කොලේජ් සංඛ්‍යාව සහ ඒවායේ ගුණාත්මකභාවය ඉහළ නංවමින්, කලාපීය මට්ටමින් සිසුන්ට තාක්ෂණික උපාධි හා ඩිප්ලෝමා ලබා ගැනීමට පහසුකම් සැලසීම පිළිබඳවද සාකච්ඡා විය.
සාමාන්‍ය අධ්‍යාපනය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, විදේශ ආධාර මත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒවා හුදු ණය බරක් කර නොගෙන, මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තිවලට අනුකූලව සහ අවශ්‍යතා මත පමණක් ලබා ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබසාධන වැඩසටහන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඒවායේ උපයෝගීතාව අනුව ප්රතිලාභ හිමිවිය යුතු අයටම ප්රතිලාභ ලබා දීම සඳහා ප්‍රමුඛතා සකස් කරගත යුතු බවත්, ශිෂ්‍යාධාර වැඩසටහන් සඳහා ජනාධිපති අරමුදල නිරන්තරයෙන් සූදානමින් සිටින බැවින් එවැනි අවශ්‍යතා පිළිබඳ යෝජනාවක් සකස් කර යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම 2026 වසරේ සිට විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා මාසිකව ලබා දෙන ආධාර මුදල් ප්‍රමාණය වැඩි කිරීමත්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශිෂ්‍ය ගුරුවරුන් සඳහා ලබා දෙන දීමනාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
දැනට ක්‍රියාත්මක සිසු රක්ෂණ ක්රමයේ පවතින ගැටලු පිළිබඳව මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.
2027 වසරේ සිට 2031 දක්වා කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රගතිය වෙනුවෙන් රුපියල් බිලියන 382ක විශාල ආයෝජනයක් සිදු කිරීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ඒ යටතේ යෝජිත ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය පිළිබඳවද විශේෂ අවධානය යොමු විය.
“දිට්වා” සුළි කුණාටුවෙන් හානියට පත් වූ පාසල් 20ක් සහ විද්‍යාපීඨ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 1.9ක ප්‍රතිපාදන වෙන් කර වැඩ ආරම්භ කර ඇති බවද මෙහිදී සඳහන් කෙරිණි.
අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය මෙන්ම වැටුප් විෂමතා පිළිබඳව සියලු ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ඉදිරියේදී සාකච්ඡා කිරීමටත්, ඒ වෙනුවෙන් විශේෂ කොමිෂන් සභාව මගින් ස්ථිර විසඳුම් ලබා දීමටත් මෙහිදී එකඟතාව පළ විය.
















