සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන ̎සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක් ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ජුලි 27-31 සුපිළිපන් සතිය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරිම සඳහා සියලුම රාජ්‍ය ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන පරිදි එම සතියේ සිට ඉදිරියට මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක විය යුතුය.
පුරවැසි ආචාරධාර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම මෙම ජාතික සුපිළිපන් සතියෙන් ආරම්භ වේ.
සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය කාර්යක්ෂමතාවය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර එම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.
පෞද්ගලික ලාභයන් නොතකා පොදු මහජන යහපතට නිරන්තරයෙන් ප්‍රමුඛතාවය දෙමින් ආචාරධාර්මික වටිනාකම් සහ ප්‍රතිපත්තිමය ප්රමිතීන් සමග ඒකාබද්ධ වෙමින් ස්වයං පාලනයකින් යුතුව ප්‍රියමනාප සේවයක් සපයන සුපිළිපන්න රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි අරමුණ වේ.
සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක්, මානව ගරුත්වයෙන් පිරි සුපිළිපන් සමාජයක්, සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක්, සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියක් යන තේමා ඔස්සේ මෙම වැඩසටහන සුපිළිපන් සතිය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිතය.















