ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස 2030 වන විට සංචාරකයෙක් මෙරට තුළ දී කරන දෛනික වියදම් සැලකිය යුතු ලෙස වැඩි කිරීම රජය ඉලක්ක කර ගෙන ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසීය.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකු වර්තමානයේ ඇමරිකානු ඩොලර් 148ක් වියදම් කරන නමුත් 2018–2019 දී එම අගය ඇමරිකානු ඩොලර් 171ක් ලෙස පැවති බව රණසිංහ මහතා පැවසුවේය.
“අපගේ ඉලක්කය වන්නේ 2030 වන විට මෙම සාමාන්‍ය සංචාරක වියදම් වැඩි කිරීමයි. සෑම අමුත්තෙක්ම වියදම් කරන මුදල වැඩි කිරීමෙන්, අපට රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දිය හැකියි. ඒ වගේම COVID-19 වසංගතයෙන් පසු සංචාරක වියදම් රටා තක්සේරු කිරීම සඳහා කඩිනමින් අධ්‍යයනයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සංචාරක අංශයේ ආර්ථික ප්‍රතිලාභ උපරිම කිරීම සඳහා සංචාරක වියදම් වැඩි කිරීම අත්‍යවශ්‍යයි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා සංචාරක නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ සමස්ත සංචාරක අත්දැකීම වැඩි දියුණු කිරීම ද අත්‍යවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් රටේ දිගුකාලීන සංචාරක ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා සංචාරකයින් වැඩිපුර වියදම් කිරීමට දිරිමත් කරනවා. එසේම උසස් තත්ත්වයේ සහ ආකර්ශනීය සංචාරක අත්දැකීම් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටිනවා. ඒ හරහා සංචාරකයෙක් මෙරට තුළ දී කරන වියදම තව දුරටත් වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වෙනවා” සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
















