2027 පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම නව චක්‍රලේඛය අනුව සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ ෂන්මුගම් කුගදාසන්, අජන්ත ගම්මැද්දගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලුෂා ලක්මාලි ගමගේ විසින් පාර්ලිමේන්තු සභාවේදී යොමු කළ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අද (08) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව හෙළි කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද පැවසුවාය.
“රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පදිංචිය තහවුරු කරගැනීමේ ගැටලුවලට පිළියම් ලෙස 2027 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව ව්‍යුහගත වටිනාකම් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පදිංචිය තහවුරු කිරීම වෙනුවෙන්, වසර 08 කට වඩා වැඩි කාලයක් රජයේ ඉඩමක පදිංචිව සිටින පිරිස් මෙන්ම, වසර 01 සිට 06 දක්වා කාල සීමාවන් තුළ ස්ථිර පදිංචිය සනාථ කරන විදුලි, ජල හෝ වරිපනම් බිල්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට උපරිම ලකුණු 04 ක් දක්වා හිමිවන පරිදි ක්‍රමවේදයක් සකසා තිබෙනවා. ඇතැම් පාසල්වල පොරොත්තු ලේඛනවලින් (Waitlist) බාහිරව සිසුන් ඇතුළත් කරගන්නා බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, පවතින පුරප්පාඩු සංඛ්‍යාවෙන් 50% ක සීමාවක තාවකාලික පොරොත්තු ලේඛන සකස් කිරීමට නව චක්‍රලේඛය මඟින් නියෝග කර ඇත. විශේෂ අවස්ථාවලදී ජාතික හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ පූර්ව අනුමැතිය මත පමණක් එය 100% දක්වා සංශෝධනය කළ හැකිය. එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව මේ වන විට සමාලෝචනය වෙමින් පවතින අතර, ඉදිරියේදී ඊට අදාළ ප්‍රතිපත්තිමය සංශෝධන සිදු කරනවා”.















