මේ ආණ්ඩුවේ හොඳ සහ නරක දෙකම තිබෙනවා – ජනාධිපති නීතිඥ නිෂාම් කාරියප්පර්, පාර්ලිමේන්තු මන්ත්‍රී

ආණ්ඩුව සම්බන්ධයෙන් යහපත් මෙන්ම විවේචනය කළ යුතු දේවලුත් තිබෙනවා. නමුත් දූෂණයට විරුද්ධව පැමිණි වත්මන් රජය පිළිබඳව මිශ්‍ර ප්‍රතිචාරයක් තමයි අපේ තියෙන්නේ. උදාහරණයක් ලෙස පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය පිළිබඳව අපට මුලදී යම් විවේචනයක් තිබුණත් දැන් එහි ප්‍රගතියක් අපට පේනවා. දූෂණය විරෝධය සම්බන්ධයෙන් ගත් විට වෙන ආණ්ඩුවක් යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදු වෙතැයි විශ්වාස කළ නොහැකි පුද්ගලයින් මේ ආණ්ඩුව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් ආර්ථික අංශයෙන් සලකා බලන විට ජනතාව අපේක්ෂා කළ තරම් සහනයක් ලැබෙන බවක් පේන්න නැහැ. ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපට පැහැදීමක් නැහැ. ජනතාව අපේක්ෂා කළ විදේශ ප්‍රතිපත්තිය නෙමෙයි ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යටත් වෙලා, එක්සත් ජනපදයට යටත් වෙලා, ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයට යටත් වෙලා තමයි ආණ්ඩුව වැඩ කරන්නේ. මේ අනුව මට කියන්න වෙන්නේ මේ ආණ්ඩුව හොඳ සහ නරක දෙකම සහිත ආණ්ඩුවක් කියලා.

මේ පරීක්ෂණ කොයි තැනට ද යන්නේ කියන එක නෙමෙයි අපට වැදගත් වෙන්නේ. අපට වැදගත් වෙන්නේ මේ ප්‍රහාරය එල්ල කිරීමට හේතු වූ කරුණු, ඒ ප්‍රහාරය සිදු කිරීමට ඒ අවස්ථාවේ රුකුල් දුන් පාර්ශ්ව හඳුනා ගැනීම වැනි කරුණු සොයා ගැනීමයි. මේ කරුණු ආණ්ඩුව ඉටු කරමින් සිටිනවා. පසුගිය කාලය තුළ හෙළි නොවුණු කරුණු මේ වන විට හෙළි වෙමින් තිබෙනවා. ඒ අනුව මම හිතනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල අපට සතුටු වෙන්න පුළුවන් තරමේ ප්‍රගතියක් තිබෙනවා කියලා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු කිහිපයක් තිබෙනවා. මේ දක්වා ඒවා පිරවීමට ජනාධිපතිවරයා පියවර ගෙන නැහැ. ඒ වගේම ඉහළ අධිකරණවල ඉලක්ක කරන ලද විනිසුරුවරුන් පිරිසක් තව දුරටත් සේවයේ රඳවා ගැනීම සඳහා ආණ්ඩුව උනන්දුවක් දක්වන බවක් පේනවා. ඒ වෙනුවෙන් ඉහළ අධිකරණවල විනිසුරුවරුන් විශ්‍රාම යන වයස ඉහළ දැමීමේ සූදානමක් ගැන ආණ්ඩුවෙන්ම ප්‍රකාශයක් නිකුත් වුණා. මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වීම සමඟ ආණ්ඩුව පියවරක් පසුපසට ගෙන තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ නිල ස්ථාවරය ප්‍රකාශයට පත්කරලා නැහැ. ඒ නිසා විවේචනවලට සහ විවිධ අදහස් දැක්වීම්වලට අවස්ථාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ආණ්ඩුවට යම්කිසි හේතුවක් හෝ සැලසුමක් මත මේ පියවර ක්‍රියාත්මක කිරීමට සිදු වුණොත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිදුවෙනවා. නමුත් මෙවැනි පටු අරමුණක් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවාට වඩා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය කාරණා ගණනාවක් තිබෙනවා. සුළු ජාතීන් අතර බලවත් ඉල්ලීමක් තිබෙනවා බලය විමධ්‍යගතකරණයේ ගැටලු නිරාකරණය කළ යුතු බවට. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ගණනාවක් තිබෙනවා. ඒ කිසිවක් ඉටු කිරීමට ආණ්ඩුව මේ දක්වා සමත් වෙලා නැහැ..

ඒ වෙනුවෙන් පත්කර තිබෙන කමිටුවේ සාමාජිකයෙක් ලෙස මමත් කටයුතු කරනවා. නමුත් මේ සම්බන්ධයෙන් අපි දැඩි කණස්සල්ලකින් ඉන්නේ. ඒකට හේතුව තමයි පළාත් සභා මැතිවරණය නොපවත්වන ආකාරයට තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ, පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටීමට ක්‍රමයක් තමයි ආණ්ඩුව හොයන්නේ. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක්‍රමයට විරුද්ධව කටයුුතු කළ පක්ෂයක්. මේ දීර්ඝ කාලීන විරෝධය අනුව ද ආණ්ඩුව කටයුතු කරන්නේ යන ප්‍රශ්නය අපට තිබෙනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සම්බන්ධ කිසිම සාකච්ඡාවක් සිදුවෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ඒ පිළිබඳව කිසිම අවස්ථාවක සඳහන් කරනවා අපි දැකලා නැහැ. අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් දැඩිව පෙනී සිටි පක්ෂයක්. මෙවැනි තත්ත්වයක් තුළ, ඉතිහාසයක් තුළ වත්මන් ආණ්ඩුව මෙවැනි පියවරක් නොගන්නේ කුමන හේතුවක් මත ද කියන එක අපට ප්‍රශ්නයක්. මේ අනුව අපට පැහැදිලි වන්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝ කාලීන විරෝධය, දැඩි විරෝධය අවස්ථාවාදී එකක් පමණක් බවයි. ඒ කියන්නේ ඔවුන් මේ විරෝධය බලය දිනා ගැනීමට පමණක් භාවිතා කළේ, ඔවුන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අවංක වුවමනාවක් තිබිලා නැහැ. මම දකින ආකාරයට මේක ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක ප්‍රතිපත්තිවලට පිටුපෑමක්, නොසලකා හැරීමක්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් වැඩියෙන්ම බැට කෑ පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සැලකිය හැකියි. ඒ නිසා ඔවුන් මේ පනතට කොන්දේසි විරහිතව විරුද්ධව සිටියා, මෙය අහෝසි කළ යුතු කියන ස්ථාවරයේ සිටියා. පසුගිය කාලය පුරාම ඔවුන් ඉදිරිපත් වූ සෑම මැතිවරණයක දීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වුණා. නමුත් දැන් ආණ්ඩු බලය ලැබුණු පසු ඔවුන් මේ පනත කිසිම හිරිකිතක් නොමැතිව භාවිතා කරමින් සිටිනවා. මේ පනත ඉතාම පහසුවෙන් ඉවත් කර නව පනතක් සම්මත කළ හැකියි. එවැනි පියවරක් තුළින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන හෝ වෙනත් විමර්ශන කටයුක්තකට බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් පසුගිය දා පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා මේ පනත කඩිනමින් අහෝසි කරන බවට ප්‍රතිඥාවක් දුන්නා. මම හිතන්නේ ජනපතිවරයා මේ ප්‍රකාශය කළේ යුරෝපා සංගමයෙන් එල්ල වවෙන පීඩනය නිසා විය හැකියි. මොකද යුරෝපා සංගමය විසින් අපට ලබාදී තිබෙන GSP+ තීරු බදු සහනය ලබා ගැනීමට නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ප්‍රධාන කොන්දේසියක්.

ඔව්, මම මේ සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළා. මේ සම්බන්ධයෙන් නීතිපතිගේ මතය ලැබුණට පස්සේ එය පළමු වර කියවීමට බලාපොරොත්තු වෙනවා. මේ පනතේ තිබෙන නීති විරෝධී අංශ ඉවත් කිරීමක් මම මේ හරහා යෝජනා කරනවා. මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු රජයට තමන්ගේ ස්ථාවරය කියන්න සිදුවෙනවා.

එවැනි කතාවක් තිබෙනවා. නමුත් ඒක මේ වන විටත් තිබෙන ප්‍රතිපාදනයක්. මේ කතාව කළ කෙනාට නීතිය පිළිබඳ දැනුමක් තිබෙනවා ද කියන එක මට ප්‍රශ්නයක්.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website