අධිකරණ තීන්දුවක් ප්‍රකාරව බන්ධනාගාර ගත කෙරුණු ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවිරයන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිය බලවත් කණස්සල්ල පළ කරමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
මෙම ලිපියේ පිටපතක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට ද යොමු කර තිබේ.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් මෙම ලිපිය යොමුකර ඇත.
එම ලිපියෙන් මහානායක හිමිවරු පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අධිකරණමය ක්‍රියාදාමයන්ට බාධා නොවිය යුතු බවට සිය ස්ථාවරය වන නමුත්, භික්ෂූන් වහන්සේනමකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට පමණක් සීමා වූ කරුණක් නොවන බවයි.
අද (07) දින ත්‍රෛනායික මහා හිමිවරුන් විසින් නිකුත් කළ එම ලිපිය පහත පළ වේ.














