රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියුතු කාන්තාවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සේවය කරන කාන්තා තානාපතිවරියන් හා කාන්තා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ විශේෂ හමුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පාර්ලිමේන්තුවේදී පසුගියදා පවත්වන ලදි.
ලෝක සාමය, ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය සඳහා කාන්තාවන් ලබා දෙන සුවිශේෂී දායකත්වය ඇගයීම මෙන්ම ජාත්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තාවන්ගේ සමාන නියෝජනය ප්‍රවර්ධනය කිරීම මෙම හමුවේ අරමුණ විය.
මෙම අවස්ථාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පිළිගැනීමේ දේශනය සිදු කළාය. අනතුරුව ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනිය සහ රාජ්‍යතාන්ත්‍රික බලකායේ ප්‍රධානී ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය අදහස් දක්වමින් ලොව පළමු අග්‍රාමාත්‍යවරිය ලංකාවෙන් බිහි වීම මෙරට කාන්තා නායකත්වය සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයක් බව පැවසුවාය. එසේම වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ අගයක් ගැනීම සම්බන්ධයෙන්ද ඇය සිය සතුට පළ කළාය.
ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් සහ ශ්‍රී ලංකාවේ සේවය කරන කාන්තා තානාපතිවරුන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු විය. එහිදී කාන්තා නායකත්වය, රාජ්‍යතාන්ත්‍රික සේවය, දේශපාලනය සහ රාජ්‍ය පාලනය තුළ කාන්තාවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම පිළිබඳව අදහස් හුවමාරු වූ අතර, අනාගත සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.
ආරාධිත පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරයක ද නිරත වූ අතර පාර්ලිමේන්තු සභා ගර්භයේ විශේෂ නිවේදනයක් ද සිදු කරමින් මෙම කාන්තා තානාපතිවරියන් පිළිගත් අතර පාර්ලිමේන්තු සැසිවාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමට ද ඔවුන්ට අවස්ථාව හිමි විය.
මෙම විශේෂ හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන්, පාර්ලිමේන්තුවේ මහලේකම් සහ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.














