අපේ මහජනතාවට මේ අවස්ථාවේ පරම වගකීමක් තිබෙනවා. බෞද්ධ සමිති සමාගම්, සියලුම දායක සභා මේ ගැන කල්පනා කරලා බලපෑම් කළ යුතුයි. ‘ස්වාමීන් වහන්සේලා වහාම නිවැරදි විය යුතුයි’ කියලා ඔවුන් ඉල්ලා සිටිය යුතුයි, බලපෑම් කළ යුතුයි. ‘ස්වාමීන් වහන්සේලා වහාම විනය තහවුරු කරන්න, විනය විරෝධීව හැසිරෙන අය යහමගට ගන්න වහාම ක්‍රියාත්මක වෙන්න’ කියලා ඉල්ලා සිටිය යුතුයි. ඇත්ත වශයෙන් මහජනතාව බුදුරජාණන් වහන්සේගේ සමයේ වගේම උද්ඝෝෂණය කළ යුතුයි. මම යළිත් අවධාරණය කරනවා මේ අවස්ථාවේ දී ශාසනය රැක ගැනීම වෙනුවෙන් මහජන උද්ඝෝෂණයක් අවශ්‍යයි. මහජන මතවාදයක් අවශ්‍යයි.
- බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් පසුගිය දිනවල බරපතළ චෝදනා එල්ල වුණා. මේ තත්ත්වය බෞද්ධයින්ගේ දැඩි කණස්සල්ලට හේතුවෙලා තිබෙනවා. භික්ෂූන් වහන්සේලාගේ විනය මේ ආකාරයෙන් පිරිහීම සමස්තයක් ලෙස සම්බුද්ධ ශාසනයට කරන බලපෑම කුමක් ද ?
අපි කවුරුත් පොදුවේ පිළිගත යුතු ඇත්තක් තමයි වර්තමානය වන විට භික්ෂු ශාසනයේ බරපතළ අර්බුද රාශියක් නිර්මාණය වෙලා තිබෙන බව. මේ අර්බුදයට මුල තමයි භික්ෂූන් වහන්සේලා විනය ඉක්මවා කටයුතු කිරීම. විනයානුකූල බව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මේ වන විට තිබෙනවා. මේවා අහන, දකින බෞද්ධයින් තුළ දැඩි කලකිරීමක්, කම්පනයක් ඇති වෙලා තිබෙනවා. මේ දැඩි කලකිරීම සම්බුද්ධ ශාසනයේ කඩිනම් ප්රතිසංස්කරණයකට, විනයානුකූල දැඩි වැඩපිළිවෙළක අවශ්‍යතාව තමයි අවධාරණය කරන්නේ.
- ඔබ වහන්සේ සිතන ආකාරයට මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ කොහොම ද ?
මම දකින ආකාරයට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, විවිධ අපචාර, අපයෝජන සහ දූෂණ ක්‍රියාවලට යොමු වීම වැනි බොහෝ විනය විරෝධී ක්‍රියා භික්ෂූන් වහන්සේලා අතර දකින්න ලැබෙනවා. දැනට මේ පත්වෙලා තිබෙන තත්ත්වය අපි ආශිර්වාදයක් කරගත යුතුයි. එය ආශිර්වාදයක් කොටගෙන වහාම භික්ෂු ශාසනයෙහි යහපැවැත්ම පිණිස ක්‍රියාමාර්ගයක් ගත යුතුයි, ඒක මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තක්.
- මෙවැනි අවස්ථාවක කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ යම්කිසි මාර්ගෝපදේශයක් ලබා දීලා තිබෙනවා ද ?
ඔව්, මෙවැනි අවස්ථාවල කටයුතු කළ ආකාරය පිළිබඳ නිදර්ශන ගණනාවක් බුදුරජාණන් වහන්සේගේ විසින් ලබාදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විනය නීති පැනවීමේ දී ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වුණ දේ තමයි ‘ජනමතය’ කියන එක. උන් වහන්සේ ජනමතයට බොහෝ සේ ගරු කළා, ඒ ගැන සැලකිලිමත් වුණා. විනය පිටකයේ බොහෝ තැන්වල තිබෙනවා, භික්ෂූන් වහන්සේලාගේ අයථා වැඩ ගැන මිනිස්සු ප්‍රතිචාර දක්වන ආකාරය. මිනිස්සු උද්ඝෝෂණ කරනවා, මැසිවිලි කියනවා, චෝදනා අපවාද කරනවා. මේ ආකාරයෙන් විනය විරෝධීව කටයුතු කරන භික්ෂූන්ට එරෙහිව ජනතාව අතර තිබුණ මතවාදය ගැන බුදුරජාණන් වහන්සේ දැඩිව සැලකිලිමත් වුණා.
- බුදුරජාණන් වහන්සේ මෙවැනි පියවරක් ගැනීමට හේතුව කුමක් ද ?
ඒකට ප්‍රධාන හේතුව තමයි ගිහි සමාජයෙන් තොරව භික්ෂූන් වහන්සේට පවතින්න බැහැ, යැපෙන්න බැහැ. භික්ෂුවක් නම්, (මම මේ කියන්නේ භික්ෂු ස්වරූපයෙන් ජීවත් වෙන අය ගැන නෙමෙයි) උන් වහන්සේ සීයට සීයක්ම යැපෙන්නේ දායකයින්ගෙන්. උන් වහන්සේට සිවුපසය ලැබෙන්නේ දායකයින්ගෙන්. දායකයින් මේ කටයුතු කරන තාක් කල් පමණයි භික්ෂු ශාසනයට පැවැත්මක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිතරම අවධානය යොමු කළ කාරණාවක් තමයි භික්ෂුව අනිවාර්යයෙන්ම කරුණු දෙකකට යටත් වෙනවා කියන එක. එකක් තමයි නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස, ඒ වගේම පැහැදීමෙන් ඉන්න ඇත්තන්ගේ පැහැදීම වැඩි දියුණු කිරීම පිණිස භික්ෂුව තමන්ගේ චර්යාව පවත්වා ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා.
- ඔබ වහන්සේ කියන්නේ වත්මන් භික්ෂූන් වහන්සේලා බුදුන් අනුදැන වදාළ මාර්ගයේ නොයන බව ද ?
අද දවසේ අපට පේනවා ‘ඇතැම්’ භික්ෂූන්ගේ චර්යාවන් නිසා බුද්ධාගමට, ධර්මයට සහ භික්ෂූන් වහන්සේට පැහැදී සිටින කලකිරෙනවා, අපැහැදිලි ඉන්න අය තවත් අපැහැදීමට පත්වෙනවා. ඒ ප්‍රසාදය සම්පූර්ණයෙන්ම නැතිවෙන තත්ත්වයට තමයි කරුණු – කාරණා යෙදිලා තියෙන්නේ.
අද කවදාවත් නොමැති ආකාරයට සමාජ මාධ්‍ය තියෙනවා. සමාජ මාධ්‍ය මඟින් ඉතා කුඩා දේ ලොකු කරලා, නැති වැරදි ඇති වැරදි කරලා, බොරුව සහ මුසාව ඉහළට අරගෙන තිබෙනවා. භික්ෂූන් වහන්සේලාට ගරහන, භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කරන බොහෝ දේවල් සමාජ මාධ්‍ය තුළ තිබෙනවා. ඒකට හේතුව ඇතැම් භික්ෂුව තුළ පවතින අඩුපාඩුකම් කියලා මම කියනවා. මේ අඩුපාඩු පිටුදකින්න වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි.
- ඔබ වහන්සේ දකින ආකාරයට මේකට හේතු මොනවා ද ?

අද කවදාවත් නොමැති ආකාරයට සමාජ මාධ්‍ය තියෙනවා. සමාජ මාධ්‍ය මඟින් ඉතා කුඩා දේ ලොකු කරලා, නැති වැරදි ඇති වැරදි කරලා, බොරුව සහ මුසාව ඉහළට අරගෙන තිබෙනවා. භික්ෂූන් වහන්සේලාට ගරහන, භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කරන බොහෝ දේවල් සමාජ මාධ්‍ය තුළ තිබෙනවා. ඒකට හේතුව ඇතැම් භික්ෂුව තුළ පවතින අඩුපාඩුකම් කියලා මම කියනවා. මේ අඩුපාඩු පිටුදකින්න වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි. ඒ අත්‍යවශ්‍ය වැඩපිළිවෙළ කුමක් ද ? යන්න පිළිබඳ නායක භික්ෂූන් වහන්සේලා, ප්රබුද්ධ භික්ෂූන් වහන්සේලා, බලධාරීන් වහන්සේලා සාකච්ඡා කර ගෙන යනවා. ඒ සම්බන්ධයෙන් යම් යම් නිගමන වල සිටිනවා. ‘ඉතා ඉක්මනින් ප්‍රතිකර්මයක් අවශ්‍යයි’ කියන එක තමයි ඒ කාගෙත් පිළිගැනීම.
- ඔබ වහන්සේ සඳහන් කරන ඒ ක්‍රියාමාර්ග පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
මේ අවුරුද්දේ ජාතික වෙසක් උත්සවය පැවැත් වුණේ මාතර තිහගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක අවස්ථාවේ දී, භික්ෂූන් වහන්සේලා වෙතින් ජනාධිපතිතුමාට ඍජුවම අදහසක් ඉදිරිපත් වුණා. භික්ෂූන් වහන්සේලාගේ පැත්තෙන් කිය වුණා, ‘මේ රටේ භික්ෂු ශාසනයට බරපතළ ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි, සිවුරු පෙරවා ගත් අයගෙන්ම සම්බුද්ධ ශාසනයට බරපතළ ප්‍රශ්න එල්ල වීම. ඒ කියන්නේ සිවුරු පෙරවා ගෙන යම්කිසි පිරිසක් සම්බුද්ධ ධර්මය විකෘති කරනවා, සිවුරු පෙරවා ගත් තවත් පිරිසක් බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් ධර්ම විරෝධී මතවාද ඉදිරිපත් කරනවා, කිසිම තර්කයක් හෝ පදනමක් නැති මතවාද ඉදිරිපත් කරනවා, ඒ වගේම සිවුරු පෙරවා ගත් තවත් පිරිසක් ශාසනික දේපොළ අවභාවිත කරනවා, සිවුරු පෙරවා ගත් තවත් පිරිසක් අශික්ෂිත සහ නින්දිත ලෙස හැසිරෙමින් භික්ෂු ශාසනය අවමානයට පත් කරනවා. මේ වගේ වැඩපිළිවෙළකට විරුද්ධව කටයුතු කිරීමට අද භික්ෂූන් වහන්සේලා නියෝජනය කරන බලධාරීන්ට බලයක් නැහැ. බලයක් නැහැ කියන්නේ, විනයානුකූල තීන්දු – තීරණ අර ගෙන ක්‍රියාත්මක කිරීමේ බලයක් භික්ෂූන් වහන්සේලාට නැහැ. ඒ නිසා නිකායන් තුනේම භික්ෂූන් වහන්සේලා එකතු වෙලා ඉල්ලීමක් කරලා තිබෙනවා, ‘දැනට භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මේ නීතිරීති ප්‍රමාණවත් නැහැ, ඒ නීති සංශෝධනය කරලා භික්ෂූන්ගේ විනය ආරක්ෂා කිරීම සඳහා සංඝ සභාවලට බලය ලබා දෙන්න’ කියලා මහා නායක හිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. එදා, රාජ්‍ය වෙසක් උත්සවය දා භික්ෂූන් වහන්සේලාගේ පැත්තෙන් ජනාධිපතිවරයාට ඍජු දැනුම්දීමක් කෙරුණා, ‘ශාසනය පිරිහුණ අවස්ථාවල රාජ්‍ය නායකයා ඒ වෙනුවෙන් ඍජුව මැදිහත් වුණා’ කියලා. ඒකට හේතුවක් තිබෙනවා, මේ රටේ ශාසනය පිරිහෙනවා කියන්නේ ආර්ථික පරිහානිය, සංස්කෘතික පරිහානිය, සදාචාර පරිහානිය ආදි මේ සියල්ල පරිහානියට පත්වෙනවා කියන එකයි.
- ඒත් හාමුදුරුවනේ ශාසනේ ප්‍රශ්න වලට ආණ්ඩුව මැදිහත් වීම නොකළ යුතුයි කියලත් කියනවා නේද ?
‘මේක ආගමික ප්‍රශ්නයක් නේද ?’ කියලා යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ඒක එහෙම නැහැ. කතෝලික පල්ලියේ හෝ වෙනත් ආගමික සංවිධානය අර්බුදයක් ජාතික ගැටලුවක් බවට පත්වෙන්නේ නැහැ. නමුත් භික්ෂුව හෝ භික්ෂු සමාජය යම්කිසි අකටයුත්තක යෙදුනොත් ඒක ජාතියටම බලපානවා, ජාතික ප්‍රශ්නයක්, අර්බුදයක් බවට පත් වෙනවා. ඒක ජාතික ආර්ථිකයට බලපානවා, සදාචාරයට බලපානවා. ඒ නිසා භික්ෂු විනය පිරිහීම කියන්නේ පහසුවෙන් අමතක කළ හැකි, නොසලකා හැරිය හැකි දෙයක් නොවෙයි. මම නැවත අවධාරණය කරනවා, ඒක සම්පූර්ණයෙන් ජාතික ගැටලුවක් බවට පත්වෙනවා. ඒ නිසා තමයි රාජ්‍ය විසින් ‘බුද්ධාගම ආරක්ෂා කර පෝෂණය කළ යුතුයි’ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව, ඍජුව ලියලා තියෙන්නේ. මෙහි අදහස තමයි භික්ෂූන් වහන්සේලා පමණක් නොවෙයි, භික්ෂු – භික්ෂුණී, උපාසක – උපාසිකා යන මේ සිවුවනක් පිරිසේ වගකීම යටතේ ‘රාජ්‍ය අනුග්‍රහය සහිතව’ බුද්ධාගම රැකගත යුතුයි කියන එක. ඒක තමයි ඉතිහාසය පුරාම සිද්ධ වුණේ. සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා දිවිහිමියෙන් කැප වුණත් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩියෙන්ම කැප වුණේ ආණ්ඩුව, රටේ රජ්ජුරුවෝ. ඒ වගේම විනය විරෝධීව කටයුතු කළ භික්ෂූන්ට අපේ රජවරු දඬුවම් දුන්නා. ඒ වගේම භික්ෂූ ස්වරූපයෙන් විනය විරෝධීව කටයුතු කළ අයට දඬුවම් දුන්නා. ගෝඨාභය රජ්ජුරුවෝ, මහා විජයබාහු රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා භික්ෂු ස්වරූපයෙන් විනය විරෝධීව කටයුතු කළ අයට දඬුවම් දුන්නා. ඔවුන් ශාසනයෙන් පළවා හැරලා භික්ෂු ශාසනය ආරක්ෂා කළා. මේ වැඩේම ධර්මාශෝක රජ්ජුරුවොත් කළා. ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කළේ සම්බුද්ධ ශාසනය රැක ගැනීම ඔවුන් සතු වගකීමක්, යුතුකමක් වුණ නිසයි. ඒ නිසා තමයි, පසුගිය දා තිහගොඩ පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උත්සවයේ දී ත්‍රෙනිකායික මහා නාහිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට සිහිපත් කිරීම කළේ. එදා භික්ෂූන් වහන්සේලා ජනාධිපතිවරයාට කිව්වා, “ජනාධිපතිතුමනි, ඔබතුමාටයි මේ වගකීම තියෙන්නේ. ඒ නිසා මේ වගකීම පැහැර හරින්න එපා. රාජ්‍ය වගකීම ඉටුකරන්න, සම්බුද්ධ ශාසනය රකින්න’ කියලා.
- සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා, රකිනවා කියලා ඔබ වහන්සේ අදහස් කරන්නේ කුමක් ද ?
බුද්ධාගම රකිනවා කියන්නේ භික්ෂු විනය රැකීම. භික්ෂු විනය රැකෙන තැන තමයි සමාජ සදාචාරය රැකෙන්නේ. සමාජ සදාචාරය රැකුණොත් තමයි ආර්ථික දියුණුවක් ඇති වෙන්නේ. රටේ සමාජ සදාචාරය ආරක්ෂා කිරීම භික්ෂුවගේ අවවාද අනුශාසනා සහ ආදර්ශය අංක එක. පන්සල පිරිහෙනවා කියන්නේ ගම පිරිහෙනවා කියන එක, ගමේ සදාචාරය පිරිහෙනවා කියන එක. ගමේ, දායකයින්ගේ සදාචාරය ආරක්ෂා කරන, ප්‍රවර්ධනය කරන බොහෝ දේවල් කරන්නේ ගමේ පන්සල. බණ භාවනා වැඩසටහන්, සීල ව්‍යාපාර, දහම් පාසල් ආදිය සංවිධානය කෙරෙන්නේ පන්සලේ මූලිකත්වයෙන් බව අපි අමතක නොකළ යුතුයි. ගමේ පන්සලෙන් කරන වැඩපිළිවෙළ මරණයෙන් පස්සේ නිවන් දකින්න හෝ දිව්‍ය ලෝකේ උපදින්න පින් කරන කතාවක් නෙමෙයි. පවත්නා සමාජයට ආරක්ෂණය, පෝෂණය ලැබෙන්නේ ධර්මයෙන්, ඒ කියන්නේ ගමේ පන්සලෙන්.
- භික්ෂූන් වහන්සේලා පාලනය වන නීති රීති ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
අපේ රටේ භික්ෂූන් වහන්සේලා පාලනය වන නීතිය තමයි 1932 බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත. මේ පනතේ තියෙන්නේ බෞද්ධ විහාරවල, දේවාලවල ආදායම් පාලනය කිරීම ආදිය ගැන නීතිරීති තමයි මේ ආඥාපනතේ තියෙන්නේ. එහි 41 සහ 42 වගන්ති දෙක අනුව තමයි භික්ෂුවක් ‘නීත්‍යානුකූල බව’ ලබන්නේ. මේ ආඥා පනතට අනුව නම් භික්ෂුවක් විනයානුකූල වෙලා බැහැ, භික්ෂුව නීත්‍යානුකූල වෙන්නත් ඕනෑ. රටේ නීතියට අනුගත විය යුතුයි. රටේ නීතියට අනුගත විම කියලා කියන්නේ පැවිදි වෙන සෑම භික්ෂූන් වහන්සේ නමක් ම භික්ෂුවක් ලෙස රජයේ ලියාපදිංචි විය යුතුයි. මේ පනත අනුව භික්ෂුවක් ලියාපදිංචි විය යුතු බවට නියෝග නිකුත් කරලා තිබෙනවා. භික්ෂුවක් ලෙස ලියාපදිංචි නොවන කිසිම භික්ෂුවක් ‘භික්ෂුවක්’ ලෙස රජය පිළිගන්නේ නැහැ. ඔවුන් චීවරධාරියෙක් විතරයි. ඒ කියන්නේ විනය නීතියේ කුමන දෙයක් තිබුණත් රාජ්‍ය නීතිය අනුගමනය කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි.
- මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා ද ?
ඔව්, බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබෙනවා විනය නීතිය සේම රාජ්‍ය නීතිය අනුගමනය කළ යුතුයි කියලා. ඒ නිසා පැවිදි වෙන සෑම භික්ෂූන් වහන්සේ නමක් ම නීති පද්ධති තුනකට යටත් වෙනවා. ඒ විනය නීතිය, රාජ්‍ය නීතිය සහ සදාචාර නීතිය කියන නීති තුනයි. නමුත් ගිහියන්ට තියෙන්නේ රාජ්‍ය නීතිය පමණයි. රාජ්‍ය නීතිය රකින ගිහියට ප්‍රශ්නයක් නැහැ.
- මහා නායක හිමිවරු ඉල්ලා සිටින නීති ප්‍රතිසංස්කරණ මොනව ද ?
මහ නායක හිමිවරු කියන්නේ මෙන්න මේ නීතියට (රාජ්‍ය) පුංචි සංශෝධනයක් ගේන්න කියලා. ඒ නීති සංශෝධනය මඟින් භික්ෂුවගේ විනය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරගත යුතුයි කියලා තමයි අපේ නායක හාමුදුරුවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ.
- මේ ඉල්ලීමට ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුර කුමක් ද ?
‘අපේ ස්වාමීන් වහන්සේලා ලබා දෙන උපදෙස් පරිදි නීතිය සංශෝධනය කිරීමට අපි සූදානම්’ කියලා එතුමා එදා කිව්වා. ඒ අනුව ‘විනය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතුයි’ කියන එක තමයි මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයාට දුන් උපදේශය.
සමහරු කියනවා, ‘ඔය හාමුදුරුවරුන්ගේ ප්‍රශ්න අපිට කතා කරන්න බැහැනේ’ කියලා. තවත් සමහරු කියනවා, ‘හාමුදුරුවරුන්ගේ අඩුපාඩු කියන්න ගිහිල්ලා පව් පුරෝ ගන්න බැහැනේ’ කියලා. තවත් සමහරු කියනවා, ‘ඕවා නායක හාමුදුරුවරුන්ගේ වැඩ, අපිට ඕවා කරන්න බැහැ’ කියලා. මේ අතර තවත් පිරිසක් මේ කිසිම දෙයක් දැක්කා නොදැක්කා වාගෙත් ඉන්නවා. මම කියන්නේ මේ සියලුම අදහස් වැරදියි. බුද්ධ ශාසනයේ පැවැත්ම පිළිබඳව ගිහි – පැවිදි දෙපාර්ශ්වයටම වගකීමක් තිබෙනවා.

- මෙවැනි තත්ත්වයක් තුළ ගිහි සමාජයට වගකීමක්, කාර්යභාරයක් තිබෙනවා ද ?
සමහරු කියනවා, ‘ඔය හාමුදුරුවරුන්ගේ ප්‍රශ්න අපිට කතා කරන්න බැහැනේ’ කියලා. තවත් සමහරු කියනවා, ‘හාමුදුරුවරුන්ගේ අඩුපාඩු කියන්න ගිහිල්ලා පව් පුරෝ ගන්න බැහැනේ’ කියලා. තවත් සමහරු කියනවා, ‘ඕවා නායක හාමුදුරුවරුන්ගේ වැඩ, අපිට ඕවා කරන්න බැහැ’ කියලා. මේ අතර තවත් පිරිසක් මේ කිසිම දෙයක් දැක්කා නොදැක්කා වාගෙත් ඉන්නවා. මම කියන්නේ මේ සියලුම අදහස් වැරදියි. බුද්ධ ශාසනයේ පැවැත්ම පිළිබඳව ගිහි – පැවිදි දෙපාර්ශ්වයටම වගකීමක් තිබෙනවා. ශාසනය ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට ගිහියන්ට අනිවාර්යය වගකීමක් තිබෙනවා. ආරක්ෂා කිරීම සඳහා සිවුපසය පූජා කරනවා. පෝෂණය කිරීම සඳහා භික්ෂූන් වහන්සේගේ ධර්ම – විනය කටයුතුවලට සහයෝගය දෙනවා. ඒ නිසා අපේ මහජනතාවට මේ අවස්ථාවේ පරම වගකීමක් තිබෙනවා. බෞද්ධ සමිති සමාගම්, සියලුම දායක සභා මේ ගැන කල්පනා කරලා බලපෑම් කළ යුතුයි. ‘ස්වාමීන් වහන්සේලා වහාම නිවැරදි විය යුතුයි’ කියලා ඔවුන් ඉල්ලා සිටිය යුතුයි, බලපෑම් කළ යුතුයි. ‘ස්වාමීන් වහන්සේලා වහාම විනය තහවුරු කරන්න, විනය විරෝධීව හැසිරෙන අය යහමගට ගන්න වහාම ක්‍රියාත්මක වෙන්න’ කියලා ඉල්ලා සිටිය යුතුයි. ඇත්ත වශයෙන් මහජනතාව බුදුරජාණන් වහන්සේගේ සමයේ වගේම උද්ඝෝෂණය කළ යුතුයි. මම යළිත් අවධාරණය කරනවා මේ අවස්ථාවේ දී ශාසනය රැක ගැනීම වෙනුවෙන් මහජන උද්ඝෝෂණයක් අවශ්‍යයි. මහජන මතවාදයක් අවශ්‍යයි.
රතුඉර පුවත්පතේ 2026 ජූනි 28 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
සටහන – භාතිය බරුකන්ද
















