අපි විශ්වාස කරනවා ඉතාම නුදුරේදීම විහාර දේවාල ගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කරලා අපේ මහා නායක ස්වාමීන් වහන්සේලා අපේක්ෂා කරන ආකාරයට මේ සිද්ධ වෙන ශාසන විරෝධී ක්‍රියාවන්ට, ශාසන විලෝපන ක්‍රියාවන්ට යම් නෛතික පදනමක් සහිතව, මහා නායක හිමිවරුන්ට මැදිහත් වීම් කළ හැකි පදනමක් නිර්මාණය කරන්න. මේ වෙනුවෙන් අපේ අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින වැඩසටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?

අපි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය භාර ගත් විට ක්ෂේත්‍ර ගණනාවක අලුත් වැඩසටහන් ගණනාවක් ආරම්භ කළා. අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට මේ රටේ තිබෙන සියලු නිකාය පාර්ශ්වයන් ඒකරාශී කරලා අපි ‘බුද්ධශාසන සභාව’ කියන සංවිධාන ව්‍යුහය අප විසින් ගොඩනැඟුවා. මේ දක්වා රට තුළ උද්ගත වූ ආගමික ගැටලුවලදී අපේ මහා නායක ස්වාමීන් වහන්සේලා තනි තනිව හුදකලාව තමයි තීන්දු තීරණ ගත්තේ, මතවාද අදහස් ඉදිරිපත් කළේ. නමුත් ශාසනික කාර්යයන් වලදී අපේ ස්වාමීන් වහන්සේලාගේ මතය ප්‍රකාශ කිරීමට සංවිධානය වූ, සංවිධිත සංවිධාන ව්‍යුහයක් ලෙස බුද්ධශාසන සභාව ක්‍රියාත්මක වෙනවා. ඉතිහාසයේ පළමු වැනි වතාවට අපි බුද්ධශාසන සභාව හැදුවේ. අපේ රටේ සියලුම නිකාය පාර්ශ්වයන් ඒකරාශී කරමින් තමයි මේ සභාව හැදුවේ. අපේ රටේ නිකායන් 32ක් ක්‍රියාත්මක වෙනවා. මේ සියලුම නිකායන් බුද්ධශාසන සභාව තුළ නියෝජනය වෙනවා. බුද්ධශාසන සභාව මාසිකව රැස් වෙමින් ශාසනික, ආගමික වගේම සමාජය තුළ පවතින ගැටලු සාකච්ඡා කරමින් කටයුතු කරනවා.
ඒ වගේම අපේ භික්ෂු ශාසනයට ඇතුළත් වන කුල දරුවෝ බොහෝම දුෂ්කර ප්‍රදේශවලින් තමයි පැවිදි බිමට පිවිසෙන්නේ. ඔවුන්ගෙන් බහුතර ආර්ථික වශයෙන් ශක්තියකින් තොර පවුල් පසුබිමක් සහිත අය. අපි පසුගිය කාලය තුළ අවබෝධ කර ගත් දෙයක් තමයි බුද්ධශාසනය ආරක්ෂා කර ගැනීමට නම් අමාත්‍යාංශය විශේෂ මැදිහත් වීම් කිහිපයක් කළ යුතු බව. ඒ අනුව පැවිදි දිවියට ඇතුළත් වන භික්ෂූන් වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් නිවාස ඉදිකර දීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ‘යතිවර මාපිය නිවහන වැඩසටහන’ යන නමින් තමයි අපි ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ. මේ වන විට දිවයින පුරා මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
අපි දන්නවා පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් ආගමික සිද්ධස්ථාන විශාල ප්‍රමාණයකට හානි වුණා. මේ වන විට හානියට පත් ආගමික ස්ථාන 1350ක් පමණ අප හඳුනා ගෙන තිබෙනවා. හානියට පත් මේ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ආධාර ප්‍රදානය කිරීමට අපේ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පූර්ණ වශයෙන් හානියට පත් වූ ආගමික සිද්ධස්ථානයකට රුපියල් ලක්ෂ 75ක් ද, අර්ධ වශයෙන් හානියට පත් ආගමික සිද්ධස්ථානවලට රුපියල් ලක්ෂ 40ක් ද ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. මේ වන විට මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ වැඩසටහනේ තේමාව වන්නේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ කියන තේමාව යටතේයි. මේ වන විට සැලකිය යුතු ආගමික සිද්ධස්ථාන ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට අපට අවස්ථාව උදාවී තිබෙනවා.
අපේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ආගමික පූජකතුමන්ලාගේ සෞඛ්‍ය රැකවරණය වෙනුවෙන් ද අපේ අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් ආරම්භ කළා. ‘දිවියට සුවයක්’ යන තේමාව යටතේ මේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මෙහි දී දිස්ත්‍රික්ක මට්ටමින් සෞඛ්‍ය සායන පැවැත්වීම තුළින් ආගමික නායකයින්ට අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් ලබා දීමට අපි අපේක්ෂා කරනවා.
අපේ අමාත්‍යාංශය තවත් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව දිවයින පුරා වැඩි අවධානයට ලක් නොවූ, හඳුනා නොගත් සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බවට ජනප්‍රවාදයේ සඳහන් වන සහ සංරක්ෂණ කටයුතු නිසි පරිදි සිදු නොවූ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළක් අපි මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යටතේ ‘භූමියට ජීවයක්’ කියන තේමාව යටතේ රට පුරා පිහිටි අවධානයට සහ සංරක්ෂණයට ලක් නොවූ පුරාවිද්‍යා ස්ථාන 1000ක් සංරක්ෂණය කිරීමේ වැඩසටහන ආරම්භ කළා. මේ යටතේ මෙවැනි පුරාවිද්‍යා ස්ථාන 100ක් සංරක්ෂණය කිරීමේ වැඩසටහන අපි ජූලි 07 වැනිදා ආරම්භ කරනවා. මේ වෙනුවෙන් ‘පුරාවිද්‍යා දෙසතිය’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මෙම වැඩපිළිවෙළ තුළ තවත් සුවිශේෂත්වයක් තිබෙනවා. අපි අත්දැකලා තිබෙන ආකාරයට පුරාවිද්‍යා ස්ථාන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මහජනතාව අතර නිසි සම්බන්ධීකරණයක් සිදුවෙන්නේ නැහැ. විශේෂයෙන් පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන ජනතාවට සමීප, ජනතාවත් එක්ක බද්ධ වූ තත්ත්වයක් අපි දකින්නේ නැහැ. මේ ස්ථාන ආරක්ෂා කර ගැනීම, සංරක්ෂණය කිරීම ප්‍රජාවගෙත් වගකීමක් ලෙස අපි සලකනවා. ඒ නිසා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත මෙවැනි ස්ථානවල ‘ප්‍රජා සංරක්ෂණ කමිටු’ ගොඩනැඟීමට අපි බලාපොරොත්තු වෙනවා. අදාළ පුරාවිද්‍යාත්මක ස්ථානයේ කළ යුතු දේවල් සම්බන්ධයෙන් තීන්දු – තීරණ ගැනීමේ සම්පූර්ණ මැදිහත්වීමේ වගකීම මේ ප්‍රජා සංරක්ෂණ කමිටුවට පවරනවා. අදාළ පුරාවිද්‍යා නිලධාරීන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව සමඟ සම්බන්ධ වෙලා කළ යුතු කටයුතු සම්බන්ධයෙන් අදාළ පියවර ගන්නවා. මෙහි දී අපි බලාපොරොත්තු වෙන්නේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන ජනතාවත් සමඟ සමීප කරමින් සංරක්ෂණවලට ඔවුන්ගේ සහයෝගය සහ දායකත්වය ලබා ගැනීමයි. ලබන 07 වැනි ආරම්භ වන පුරාවිද්‍යා දෙසතිය වැඩසටහනේ දී මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

පසුගිය රාජ්‍ය වෙසක් උත්සවයේ දී මහා නායක හිමිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා භික්ෂූන් වහන්සේලාට අදාළ නීති සංශෝධනයක් කර මේ පවතින ගැටලුවට විසඳුමක් දෙන්න කියලා. මේ වන විට ඒ ඉල්ලීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට ලක් වූ කරුණක් තමයි යම් යම් ආකාරයේ ශාසන විරෝධී ක්‍රියාවන්, ශාසනික විලෝපනයන් දුරුකරලීම පිණිස යම්කිසි නෛතික පදනමක් අවශ්‍ය බව. ගෞරවනීය මහා නායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් මේ සම්බන්ධයෙන් කාලයක් තිස්සේ රජයේ අවධානය යොමු කරලා තිබුණා. මහා නායක හිමිවරුන් ඉල්ලා සිටින ඒ නෛතික පසුබිම අපට හදන්න පුළුවන් වෙන්නේ විහාර දේවාල ගම් පනතට ගෙන එන සංශෝධන හරහායි. විහාර දේවාල ගම් පනතේ නෛතික බලය ලැබෙන වගන්ති දෙකක් තිබෙනවා, ඒවා 41 සහ 42 වගන්ති ලෙස හැඳින්වෙනවා. දැනට තිබෙන නීතිය අනුව මහා නායක ස්වාමීන් වහන්සේලාට හෝ උන් වහන්සේලා විසින් නම් කරන ස්වාමීන් වහන්සේලාට නෛතික රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ නෛතික පසුබිම සකසා ගැනීම සඳහා විහාර දේවාල ගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සමඟ සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. ඔවුන්ගේ උපදෙස් අනුව මෙම වගන්ති සංශෝධනය කිරීමට අදාළ පියවර ගනිමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා ඉතාම නුදුරේදීම විහාර දේවාල ගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කරලා අපේ මහා නායක ස්වාමීන් වහන්සේලා අපේක්ෂා කරන ආකාරයට මේ සිද්ධ වෙන ශාසන විරෝධී ක්‍රියාවන්ට, ශාසන විලෝපන ක්‍රියාවන්ට යම් නෛතික පදනමක් සහිතව, මහා නායක හිමිවරුන්ට මැදිහත් වීම් කළ හැකි පදනමක් නිර්මාණය කරන්න. මේ වෙනුවෙන් අපේ අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 ජූනි 28 වැනි දින කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.















