ශාසනයේ ප්‍රබෝධය වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

පල්ලෙකැලේ SIBA පරිශ්‍රයේදී (19) පැවති “සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙන” සඟරජ බුහුමන් 2026 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මේ බව සඳහන් කළාය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිර බුද්ධි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව හා මධ්‍යම පළාත් සභාව එක්ව සංවිධානය කළ ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවයේදී පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ශාසනික මෙහෙවරක නිරතවූ මහාසංඝරත්නය වෙනුවෙන් උපහාර ප්‍රණාම පිදීමද සිදු කෙරිණි

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

සමස්ත සමාජ පරිවර්තනය තුළ ඇතිවන අභියෝග හමුවේ ශාසනයේ ප්‍රබෝධය වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කළ යුතුයි. එහිදී පිරිවෙන් සහ පාසල් එකක් නොවන බව අවබෝධ කර ගනිමින් පිරිවෙන් අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කළ යුතුයි.

වි⁣ශේෂයෙන් නවීන සංකීර්ණ ලෝකයේ අභියෝග ජයගත හැකි සඟ පරපුරක් නිර්මාණය කරන පිරිවෙන් අධ්‍යාපනයක් වෙනුවෙන් මහා සංඝරත්නය මූලිකත්වය ගන්න අවශ්‍යයි. පිරිවෙන් අධ්‍යාපනයේ අරමුණු සාක්ෂාත් කරගත හැකි පරිදි ඒ වෙනස්කම් ඔබ වහන්සේලා එකතු වී සකස්කර දෙන්න.

පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය සමඟ සාකච්ඡා කරමින් තිබෙන බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

මල්වතු, අස්ගිරි උභය මහා විහාරයේ අනුනායක හිමිවරුන්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ස්වාමීන් වහන්සේලා, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්, දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්, පිරිවෙන් ආචාර්යවරන්, ගිහි පැවිදි පිරිවෙන් ශිෂ්‍යයින් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website