නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර 7වන චීන–දකුණු ආසියා සහයෝගිතා සමුළුව අමතයි

“අසල්වැසි රටවල් සමඟින් එක්වු අනාගතයක් සඳහා සහයෝගී හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ චීනයේ යුන්නාන් පළාතේ කුන්මින් නගරයේ පැවති 7වන චීන–දකුණු ආසියා සහයෝගිතා සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහභාගී විය.

සමුළුව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, කලාපීය සහයෝගිතාව, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ හවුල් සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම යළි තහවුරු කළ බවත් කලාපය පුරා තිරසාර වර්ධනය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා අසල්වැසි රටවල් අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද  අමාත්‍යවරයා අවධාරණය කළේය.

සියවස් ගණනාවක් පුරා පැවති සංස්කෘතික හුවමාරු, වෙළෙඳ සබඳතා සහ ජනතාව අතර සම්බන්ධතා මත ගොඩනැගී ඇති ශ්‍රී ලංකාව හා චීනය අතර දිගුකාලීන හා කාලය විසින් සනාථ කරන ලද මිත්‍රත්වය පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම ශක්තිමත් හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අතර, එය තවදුරටත් රටේ විදේශ සබඳතාවල ප්‍රධාන කුළුණක් ලෙස පවතින බවද එතුමා පෙන්වා දුන්නේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව තුළ ස්ථාවර, විනිවිදභාවයෙන් යුත්, ආයෝජක හිතකාමී සහ බාහිර ලෝකය සමඟ සක්‍රීයව සම්බන්ධ වන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රජය ගෙන යන උත්සාහයන් ද විස්තර කළේය. තිරසාර ආර්ථික වර්ධනය සඳහා වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය, ඩිජිටල් පරිවර්තනය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවද එතුමා අවධාරණය කළේය.

ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම පිළිබඳව සඳහන් කරමින්, දකුණු ආසියාව, නැගෙනහිර ආසියාව සහ ගෝලීය වෙළෙඳපොළ අතර සම්බන්ධක කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කිරීමේ විශාල හැකියාවක් ශ්‍රී ලංකාවට ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එසේම, චීනයේ දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව සමඟ සම්බන්ධතා සඳහා දොරටුවක් ලෙස යුන්නාන් පළාතේ වැදගත්කම ද ඔහු අවධාරණය කළ අතර, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, තේ කර්මාන්තය, මැණික් කර්මාන්තය, සෞඛ්‍ය සේවා, වෙළෙඳාම, ප්‍රවාහන, නවෝත්පාදන සහ සංස්කෘතික හුවමාරු වැනි ක්ෂේත්‍රවල යුන්නාන් පළාත සමඟ සහයෝගිතාව පුළුල් කිරීමට ශ්‍රී ලංකාව උනන්දුවෙන් සිටින බවද ප්‍රකාශ කළේය.

එමෙන්ම, ජනතාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම, තරුණ සහභාගීත්වය, අධ්‍යාපන හුවමාරු, ඩිජිටල් තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, දේශගුණික අනුවර්තනය, ආපදා අවදානම් අවම කිරීම සහ සාමකාමී, සෞභාග්‍යමත් කලාපීය අනාගතයක් ගොඩනැගීමේදී වැඩි වැදගත්කමක් ලබා ගනිමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කලාපීය මට්ටමින් නිර්මාණාත්මක සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කරමින්, චීනය, දකුණු ආසියානු හවුල්කරුවන් සහ බහුපාර්ශ්වික වේදිකා සමඟ සමීපව කටයුතු කරමින් හවුල්කාරීව අරමුණු ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය. රටවල් එක්ව වර්ධනය වන, ජනතාව එක්ව සෞභාග්‍යය අත්පත් කර ගන්නා සහ සමස්ත කලාපය එක්ව ඉදිරියට ගමන් කරන අනාගතයක් ගොඩනැගීම එහි අරමුණ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website