මේ සිද්ධිය මේ වන විට අධිකරණය හමුවේ විභාග වන කාරණාවක්. ඒ වගේම මේ පරීක්ෂණ කටයුතු කරන්නේ ශානි අබේරත්න සහ රවී සෙනෙවිරත්න සම්බන්ධ. මේ අය කවුද ?, ශානි අබේසේකර දිවුරුම් පෙත්සමක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කරලා තියෙනවා ඔහු ජාතික ජනබලවේගය වෙනුවෙන් කටයුතු කර ක්‍රියාකාරී දේශපාලනඥයෙක් කියලා. මේ ආකාරයෙන් මාළිමාවට දේශපාලනය කළ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට පත්කරනවා. පොලිස් නිලධාරීන්ට දේශපාලනය කරන්න බැහැ. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන පත්වීමක්.
- පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නැවත සංවාදයක් ආරම්භ වෙලා තිබෙනවා. අවසන් පළාත් සභා මැතිවරණයත් පවත්වලා අවුරුදු 12කට පස්සේ නැවත පළාත් සභා මැතිවරණය ගැන මේ තරම් උනන්දුවක් ඇති වුණේ ඇයි ?
පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන පසුගිය කාලය පුරාම අපි කතා කළා, ආණ්ඩුවට බලපෑම් කළා. නමුත් මේ සංවාදය යම්කිසි විවේචනාත්මක තැනකට ගියේ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා යාපනයේ දී පළ ප්‍රකාශයක් නිසා. ටිල්වින් සිල්වා කියන්නේ දේශපාලන පක්ෂ නායකයෙක් නෙමෙයි, අවම වශයෙන් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවත් නොවෙයි. මෙවැනි පසුබිමක් තිබිය දී පවා ඔහු යාපනයේ දී කියනවා ‘ආණ්ඩුවට සල්ලි නැති නිසා මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණය තියන්නේ නැහැ, සල්ලි තිබුණොත් පමණක් 2027 දී පළාත් සභා මැතිවරණය පවත්වනවා’ කියලා. අපිට මතකයි රනිල් වික්‍රමසිංහ මහත්මයා පළාත් සභා මැතිවරණය කල්දැම්මේ ජනාධිපති වෙලා ඉන්න කොට. නමුත් ටිල්වින් සිල්වා කියන්නේ පක්ෂයක මහ ලේකම් කෙනෙක්. දේශපාලන පක්ෂයක මහ ලේකම්වරයෙක් ඡන්දයක් කල් දායන්න කතා කරනවා කියන්නේ, ඒකම ඇති පක්ෂය තහනම් කරන්න. ඒකට හේතුව තමයි දේශපාලන පක්ෂයක් තියෙන්නේ ඡන්දයක් තියන්න මිස කල් දාන්න නෙමෙයි.
- විපක්ෂය සහ සිවිල් සමාජයේ බොහෝ දෙනෙක් කියනවා ටිල්වින් කළ ප්‍රකාශය ‘බරපතළ’ එකක් කියලා. ඔබත් ඒ ස්ථාවරය දරනවා ද ?
ඔව්, මේ ප්‍රකාශය හරහා මාළිමාව ආණ්ඩුවත් පළාත් සභා මැතිවරණය නොපවත්වන බව මනාව පැහැදිලි වුණා. මේ ආණ්ඩුව පාලනය කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක නෙමෙයි, පැලවත්තෙන්. පැලවත්තේ නායකයා තමයි ටිල්වින් සිල්වා. ටිල්වින් සිල්වා වැදගත් පුද්ගලයෙක් නොවුණත් අද ආණ්ඩුව මෙහෙය වන පුද්ගලයා ලෙස ඔහු කළ ප්‍රකාශයක් නිසා මේක බරපතළ ප්‍රකාශයක්.
- නමුත් ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය ආණ්ඩුව, කැබිනට් ප්‍රකාශය, මාළිමාව මහ ලේකම් නිහාල් අබේසිංහ විසින් ප්‍රතික්ෂේප කළා නේද ?, එවැනි තත්ත්වයක් තුළ ඇයි තවමත් ටිල්වින්ගේ ප්‍රකාශයේ එල්ලිලා ඉන්නේ ?
නැහැ, ඔවුන් කිසිවෙක් ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ නැහැ. ඔවුන් කිව්වේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඔවුන් පළාත් සභා මැතිවරණය පවත්වනවා කියලා කිව්වෙත් නැහැ, ඒ වගේම කිසිම අවස්ථාවක ටිල්වින් සිල්වාගේ ප්‍රකාශය අභියෝගයට ලක් කළෙත් නැහැ.
- පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ යම්කිසි ක්‍රියාවලියක් දියත් වෙනවා ද ?
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් විජිත හේරත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙනවා. නමුත් මීට පෙරත් මැතිවරණ තේරීම් කාරක සභාව කියලා එකක් තිබුණා. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි ඒක පත්කර තිබුණේ. දවසක් මම පාර්ලිමේන්තුවට කිව්වා, කාරුණාකර තේරීම් කාරක සභාවක් හරි දාලා පළාත් පාලන ආයතනවල සභිකයින් සංඛ්‍යාව අඩු කිරීමට සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ගැන කතා කරන්න විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන්න කියලා. මගේ ඉල්ලීම අනුව කතානායකවරයා පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් විජිත හේරත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළා. නමුත් පළාත් සභා මැතිවරණය නොපවැත්වීමට අවශ්‍ය කටයුතු තමයි දැන් ඒකෙන් කර ගෙන යන්නේ.
- වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් වගේම හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් පළාත් සභා මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් ඔබගේ යෝජනාව කුමක් ද ?
ආණ්ඩුවට පුළුවන් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පත්වන්න කියලා යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න. ඒක මේ ආණ්ඩුවට පහසුවෙන් කරන්න පුළුවන්.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුණේ සීමා නිර්ණය සම්බන්ධ ගැටලුවක්, අර්බුදයක් හේතුවෙන් කියලා අදහසක් තිබෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?,
2015 නොවැම්බර් මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටුව පත් කළා. මේ කමිටුව විසින් 2018 වසරේ අගෝස්තු මාසයේ දී නව කොට්ඨාස ක්‍රමයක් සඳහා සකස් කරන ලද වාර්තාව ඉදිරිපත් කළා. නමුත් මෙම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සෑහීමට පත් වුණේ නැහැ. මෙම වාර්තාව 2018 අගෝස්තු 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ වාර්තාවට විරුද්ධව විෂයභාර අමාත්‍යවරයා වූ ෆයිසර් මුස්තාපා මහතා ද ඇතුළු සියලු දෙනාම ඡන්ද දුන්නා. ඒ අනුව මේක පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් වුණා. මමත් ඒකට විරුද්ධව ඡන්දය දුන්නා.
- මේක විශේෂ තත්ත්වයක්. ඇයි මේ වාර්තාවට විරුද්ධ වුණේ ?
මේ සීමා නිර්ණය වාර්තාව ක්‍රියාත්මක කළොත් විශාල අර්බුද ගණනාවක් නිර්මාණය වීමට ඉඩ තිබුණා. මෙම වාර්තාවෙන් පළාත් සභාවක මන්ත්‍රීවරුන්ගෙන් 50%ක් සරල බහුතර ක්‍රමයට සහ ඉතිරි 50%ක් සමානුපාතික ක්‍රමයට තේරී පත්වන පරිදි කොට්ඨාස බෙදා වෙන් කිරීම සිදු කරලා තිබුණා. මම මේ වාර්තාවට විරුද්ධව ඡන්දය දුන්නේ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට නෙමෙයි, සීමා නිර්ණය කොමිෂන් සභාවේ යෝජනා අවහිර කරන්න. මේ යෝජනාවට එදා පාර්ලිමේන්තුව නියෝජනය කළ වත්මන් ජනාධිපති අනුර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු හය දෙනාම විරුද්ධව ඡන්දය දුන්නා.
- ඒ කියන්නේ එදා, යහපාලන ආණ්ඩුව සමයේ පළාත් සභා කල් දැමීමේ සැලසුමට වත්මන් ජනාධිපතිවරයා ද ඇතුළු ප්‍රබලයින් ගණනාවක් සම්බන්ධ වුණ බව ද ඔබ කියන්නේ ?
ඔව්, එදා පාර්ලිමේන්තුව නියෝජනය කළ අනුර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, විජිත හේරත්, ලාල් කාන්ත ඇතුළු හය දෙනාම මේකට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ නිසා පළාත් සභා කල් දැමීමේ සැලසුමට මේ අයත් හවුල් වුණා. පළාත් සභා මැතිවරණය කල් දාන්න අපි හවුල් වුණේ නැහැ කියලා ආණ්ඩුවට කියන්න බැහැ. මම මේ ගැන පසුගියදාක පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒ නිසා, දැන් තියෙන්නේ එදා ඔවුන් ද හවුල් වෙලා කළ වැරැද්ද නිවැරදි කරන්න.
- ආණ්ඩුව ඒ වැරැද්ද නිවැරදි කරන්නේ කොහොමද ?
ඒක පහසුවෙන් නිවැරදි කළ හැකියි. පරණ ක්‍රමයට පළාත් සභා මැතිවරණය තියන්න කියල වාක්‍ය කිහිපයක යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම පමණයි කළ යුත්තේ. ඒ කියන්නේ ‘අලුත් ක්‍රමය සාකච්ඡා කර අවසන් වන තෙක් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නවා’ කියලා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම පමණයි කළ යුතු වෙන්නේ. මේකට අවශ්‍ය පදනම මේ වන විටත් සම්පාදනය කර තිබෙනවා. සුමන්තිරන් මන්ත්‍රීතුමා 2024 දී පාර්ලිමේන්තුවට මේ යෝජනාව ගෙනාවා. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඒ යෝජනාව ඉවත් වුණා.. වත්මන් පාර්ලිමේන්තුවට ශානික්කියන් රාජමානික්කම් මන්ත්‍රීතුමා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. දැන් ආණ්ඩුවට තියෙන්නේ මේ යෝජනාව සම්මත කරලා පළාත් සභා මැතිවරණය පැවැත්වීම පමණයි. සල්ලිත් තිබෙනවා නම්, රට තුළ වෙනත් ප්‍රශ්නයකුත් නැතිනම් ඇයි ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැත්තේ.
- විදේශ ඇමැති විජිත හේරත් කියනවා නේද පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්න නොහැකියි කියලා. මේ ගැන ඔබට අදහසක් තිබෙනවා ද ?
මුලින්ම අපි ආණ්ඩුවේ දෙබඩි පිළිවෙත හඳුනා ගත යුතුයි. මේ අය මුලින්ම කිව්වා වත්මන් පළාත් සභා ක්‍රමය වෙනුවට වෙනත් ක්‍රමයක් ගේනවා කියලා. නමුත් ආණ්ඩුව, ජනාධිපතිවරයා බලයට පත්වෙලා මාස 18ක් වුණත් තාම මේ ආණ්ඩුව අලුත් පළාත් සභා මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් කළෙත් නැහැ. ඊට පස්සේ තමයි ඇමැති විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළේ. මේ තේරීම් කාරක සභාවෙන් කරන්නේ මහජන අදහස් විමසීමයි. අපේ අදහස අනුව නම් තව දුරටත් මහජන අදහස් වීමසීමක් අවශ්‍ය නැහැ. ඒකට හේතුව තමයි මහජන අදහස් විමසීම කියන්නේ මේ මැතිවරණය කල්දැමීමේ උපක්‍රමයක්. විජිත හේරත් කියනවා නම් පළාත් සභා වෙනුවට අලුත් ක්‍රමයක් ගේනවා කියලා දැන් මාස 18ක් ගියා, අලුත් ක්‍රමයක් ගේන්න පුළුවන්නේ. ආණ්ඩුවට අවශ්‍ය නම් ජවිපෙ සමාජිකයෙක්ම වන ලාල් විජේනායක කමිටු වාර්තාව අනුව කටයුතු කරන්න පුළුවන්. ලාල් විජේනායක ලංකාව පුරාම ගිහින් මහජන අදහස් විමසලා වැඩපිළිවෙළක් හැදුවා. ආණ්ඩුවට අවශ්‍ය නම් මේ වාර්තාව අනුව කටයුතු කරන්න පුළුවන්. නමුත් දැන් මොකද කරන්නේ ?, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාවිච්චි කරලා අයිත් මහජන අදහස් විමසීමට හදනවා. මේක සද්භාවයෙන් කරන වැඩක් නෙමෙයි, පළාත් සභා මැතිවරණය කල් දැමීමට කරන වැඩක්.
- ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය පුරාම මැතිවරණ ඉල්ලුව පක්ෂයක්. නමුත් ඔබ කියන ආකාරයට ආණ්ඩුව දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල්දාන්න සැලසුම් කරනවා. ඇයි ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කරන්නේ ?
මේ ආණ්ඩුව නැවත ජනමතය උරගා බලන්න බයයි. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ඡන්ද ලක්ෂ 23ක් අඩු වුණා. අපි අමතක නොකළ යුතුයි අනුර දිසානායක ජනාධිපතිවරණයේ දී 50%ක ඡන්ද ප්‍රතිශයක් ලබා ගත්තේ නැහැ. ඔහු පළමු වටයේදී ලබා ගත්තේ 42.31%ක් පමණයි. ඒක තමයි ලංකාවේ ජනාධිපතිවරයෙක් ලබා ගත්ත අඩුම ඡන්ද සංඛ්‍යාව. දෙවැනි මනාපය ගණන් කළත් ඔහුට 50%ක සීමාව ඉක්මවා යාමට නොහැකි වුණා. ඔහු ජනාධිපති වීම සමඟ ඉතාම ආසන්න කාලයකදී පත්වපු මහා මැතිවරණයෙන් බහුතර බලය දිනා ගත්තා. නමුත් ඊට පස්සේ පැවැති පළාත් පාලන මැතිවරණයේ දී බහුතර ඡන්ද ප්‍රතිශතයක් හෝ බහුතර පළාත් පාලන ආයතන වල පාලනය දිනා ගන්න මාළිමාවට නොහැකි වුණා. මේ පසුබිම තුළ ආණ්ඩුව දන්නවා තමන්ගේ ඡන්ද පදනම වර්තමානය වන විට විශාල වශයෙන් අඩු වෙලා කියලා. මේ නිසා තමයි ආණ්ඩුව පළාත් සභා ඡන්දයට යන්න බය. ආණ්ඩුව දන්නවා පළාත් සභා මැතිවරණයේ දී ඡන්ද අඩුවීමත් සමඟ ආණ්ඩුවේ, ජනාධිපතිවරයාගේ සුජාතභාවය අහිමි වෙනවා කියලා. මේ ආණ්ඩුව තව දුරටත් බහුතර මහජන මතය නියෝජනය කරන්නේ නැහැ. මහජන මතයෙන් ඈත් වුණ ආණ්ඩුවක් නිසා එක්කෝ මේ ආණ්ඩුව බලයයෙන් ඉවත් විය යුතුයි, නැති නම් යළිත් මහජන මතය උරගා බැලීමට යා යුතුයි.
- 1987 දී පළාත් සභා ක්‍රමය ආවේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලෙස, දැන් බෙදුම්වාදී යුද්ධය අවසන් වෙලත් අවුරුදු 18කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. තව දුරටත් පළාත් සභා ක්‍රමය වලංගුයි කියලා ඔබ හිතනවාද ?, ඇයි අපි තව දුරටත් පළාත් සභා පවත්වා ගෙන යා යුත්තේ ?
මම බලය බෙදීමට පක්ෂ කෙනෙක්. වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වගේම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසත් මගේ අත්දැකීම අනුව මධ්‍යම ආණ්ඩුවට සියලු මහජන සේවාවන් ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම ඇතුළු සෑම ක්ෂේත්‍රයකම විමධ්‍යගත කළ බලය තමයි නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් ලෙස අධ්‍යාපනය ගන්න පුළුවන්. පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ජාතික පාසල් 1000ක් හදන වැඩසටහනට මම ඍජුව විරුද්ධ වුණා. මගේ තර්කය වුණේ පාසල් 371ක් බලා ගන්න බැරි මධ්‍යම ආණ්ඩුවට තවත් පාසල් 1000ක් බලා ගන්න කොහොමටත් හැකියාවක් නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මගේ විරෝධය ගණන් ගත්තේ නැහැ. අද මොකද වෙලා තියෙන්නේ. ජාතික පාසල් 1000 ව්‍යාපෘතිය යටතේ ජාතික පාසල් බවට පත් කළ පාසල් අද බෝඩ් ලෑලි බවට පත්වෙලා තියෙන්නේ. පළාත් සභා පාසල්වල ප්‍රතිඵල වලින් තමයි ජාතික පාසල්වල අඩුපාඩු අනාවරණය කරන්නේ. මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේක තව දුරටත් ඉදිරියට යන්නේ නැහැ. අපි අලුත් ක්‍රමයක් ගේනවා නම් ආණ්ඩුව ඒක ගැන නිරවුල් පැහැදිලි කිරීමක් කළ යුතුයි. අපි කියන්නේ ආණ්ඩුව තමන්ගේ අලුත් ක්‍රමවේදය ඉදිරිපත් කළ යුතුයි. එසේ නොකොට පළාත් සභා මැතිවරණ දිගින් දිගටම කල්දැමීම යුක්ති සහගත නැහැ.
- ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය බරපතළ අර්බුදයක කියලා විපක්ෂය කියනවා. නමුත් ආණ්ඩුව කියන්නේ ආර්ථිකය ස්ථාවර බවයි. මේ ගැන ඔබට යම්කිසි පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ බැඳී තිබෙන ආර්ථිකයක් තමයි දැන් රට තුළ ක්‍රියාත්මක වෙන්නේ. ආණ්ඩුව මුහුණ දෙන බරපතළම ප්‍රශ්නය තමයි විශ්වාසය පිළිබඳ ප්‍රශ්නය. රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට 15%ක බද්දක් ගහන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කළා. නමුත් ආණ්ඩුව 18% දක්වා බදු ආදායම වැඩි කළා. ඒ අනුව තමයි ආණ්ඩුව තමන්ගේ ආදායම් වැඩිකර ගැනීමේ වැඩපිළිවෙළකට ගියේ. ඒ වගේම අප සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 8.6ක් වාගේ පහළ අගයකට පහළ වැටිලා තිබෙනවා. 2027 වන විට ඒක ඩොලර් බිලියන 14 දක්වා ඉහළ යා යුතුයි. ඒ කියන්නේ මාසිකව ඩොලර් මිලියන 200ක් උපයා ගත යුතුයි. නමුත් මේ ඉලක්කයට යාමට නොහැකි වෙලා තිබෙනවා. ඒ අනුව ඉදිරියේ දී විශාල අර්බුදයක් නිර්මාණය වීමට පුළුවන්. නමුත් අපේ අතේ තිබෙන්නේ ඩොලර් බිලියන 4.5ක් පමණයි. ඔබට මතක ඇති ජනාධිපතිවරයා කියනවා ආණ්ඩුව සතුව ඩොලර් ට්‍රිලියනයක් තිබෙනවා කියලා. නමුත් මේ මුදල් වියචම් නොකරනවා නම්, සංවර්ධන කටයුතු වලට යොදවන්නේ නැති නම් වැඩක් නැහැ. ආර්ථිකයේ පහළට ඒ මුදල් ගලා ගෙන යා යුතුයි. උදාහරණයක් ලෙස දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිපුර්ණය කිරීමට රුපියල් කෝටි 500ක් වෙන් කළා කියලා කිව්වත් භූමියේ යථාර්ථය අනුව මෙතරම් මුදල් වැය කරලා නැහැ. නුවර – කොළඹ දුම්රිය මාර්ගය තවමත් ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වෙලා නැහැ. උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. උතුරට ගිය දුම්රිය මාර්ගය, බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගය තවමත් යථා තත්ත්වය පත්කර නැහැ. මේවා සියල්ලම හිර වෙලා තියෙන්නේ. ආණ්ඩුව සතුව සල්ලි තිබෙනවා කියලා කිවව්ට මදි, ඒ සල්ලි නැවත ගම්බිම්වලට තල්ලු කළ යුතුයි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ණය අරගෙන සංවර්ධන කටයුතු කළා. නමුත් මේ ආණ්ඩුව අපෙන් ලබා ගන්න විශාල බදු මුදල් නිසි පරිදි ආයෝජනය වෙන්නේ නැහැ. ඒ වගේම මේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන් තුළ සැකය අවිශ්වාසය වර්ධනය කරමින් සිටිනවා.
- හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සාලේ සම්බන්ධයෙන් විශාල අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ පුද්ගලික අදහස කුමක් ද ?
මේ සිද්ධිය මේ වන විට අධිකරණය හමුවේ විභාග වන කාරණාවක්. ඒ වගේම මේ පරීක්ෂණ කටයුතු කරන්නේ ශානි අබේරත්න සහ රවී සෙනෙවිරත්න සම්බන්ධ. මේ අය කවුද ?, ශානි අබේසේකර දිවුරුම් පෙත්සමක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කරලා තියෙනවා ඔහු ජාතික ජනබලවේගය වෙනුවෙන් කටයුතු කර ක්‍රියාකාරී දේශපාලනඥයෙක් කියලා. මේ ආකාරයෙන් මාළිමාවට දේශපාලනය කළ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බවට පත්කරනවා. පොලිස් නිලධාරීන්ට දේශපාලනය කරන්න බැහැ. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන පත්වීමක්. ලංකා දේශපාලනයේ කිසිමදාක මෙවැනි තත්ත්වයක් දැක ගන්න ලැබුණේ නැහැ. ඒ වගේම පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු කළේ නැහැ කියලා ශානි අබේසේකර මහත්මයාට සහ රවී සෙනෙවිරත්නට විරුද්ධව චෝදනා ගණනාවක් එල්ල වෙලා තිවෙනවා. මේ ආකාරයෙන් පාස්කු ප්‍රහාර වළක්වා නොගැනීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වෙලා තියෙන ශානි අබේසේකර සුරේෂ් සාලේට විරුද්ධව නඩු කියනවා. මේ චූදිතයෙක් තමයි මේ සාලේට විරුද්ධව පරීක්ෂණ මෙහෙයවන්නේ. මේක කිසිසේත්ම සාධාරණයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. චූදිතයෙක් තමාට සමාන තවත් චූදිතයෙකුට විරුද්ධව තමයි මේ නඩු දාන්නේ. මම කියන්නේ සුරේෂ් සාලේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඔහුව එල්ලුම් ගහට ගෙන ගියත් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කතා කරන්නේ ඒක ගැන නෙමෙයි, මම කතා කරන්නේ යුක්තිය ගැන.
- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ප්රශ්නයේ කේන්ද්‍රීය චරිතය වන අසාද් මවුලානා ප්‍රංශයේ දී හමු වී කටඋත්තරයක් ලබා ගත් බවට වන කතාව ගැන නීතිඥයෙක් ලෙස ඔබේ අදහස කුමක් ද ?
අසාද් මවුලානා කියන්නේ වරෙන්තුවක් තියෙන පුද්ගලයෙක්. ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රංශයට ගිහින් අසාද් මවුලානාගෙන් කටඋත්තර ගන්නේ කොහොමද ?, ඔවුන් මේ කට උත්තර ගන්නේ වහාම, දුටු තැන අත්අඩංගුවට ගත යුතු වරෙන්තුකරුවෙක්ගෙන්. නිවැරදි ක්‍රමය නම් මුලින්ම අසාද් මවුලානාව අත්අඩංගුවට ගත යුතුයි. ඔහුව වහාම ලංකාවට රැගෙන ආ යුතුයි. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒ වෙනුවට ඔහුගෙන් කට උත්තරයක් ගන්නවා. ලංකාවේ අධිකරණයකින් වරෙන්තුවක් නිකුත් කළ පුද්ගලයෙක්ගෙන් කට උත්තරයක් අරගෙන ඒ කට උත්තරේ ලියාගෙන ඇවිත් හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව අත්අඩංගුවට ගන්නවා. මේ රටේ යුක්තිය, නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවා නම් අසාද් මවුලානා ලංකාවේ විත්ති කූඩුවක සිටයි සුරේෂ් සාලේට විරුද්ධව ඔහුට තිබෙන ප්‍රකාශය, කට උත්තරය ලබා දිය යුතු වන්නේ. නමුත් ඒක වුණේ නැහැ.
- සුරේෂ් සාලේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සලකන ආකාරය සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් තිබෙනවා නේද ?
‘සෑම සිරකරුවෙක්ම මනුෂ්‍යයෙක්’ කියන සංකල්පය අපි පිළිගන්නවා. ඒ අනුව තමයි අපි කියන්නේ සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගෙන සිටින සුරේෂ් සාලේට සැලකිය යුතු ආකාරය සම්බන්ධ යම්කිසි ප්‍රමිතියක් තියෙනවා. සැකකරුවෙක් වන ඔහුට ඉතාම අමානුෂික ආකාරයෙන් තමයි සලක්නේ. ඔහුව රඳවා තබා ගෙන ඉන්නේ ඉතාම අමානුෂික ආකාරයට. මනුෂ්‍යයෙකුට තියා සතෙකුටවත් ජීවත් වෙන්න නොහැකි තරම් තැනක තමයි ඔහුව රඳවා ගෙන ඉන්නේ. අඩි හයයි හයේ කාමරයක තමයි ඔහු රඳවා ගෙන ඉන්නේ. මේක ඉතාම අමානුෂික තත්ත්වයක්. ඔහුට ඉතාම කෘාර සහ අමානුෂික ලෙස සලකන බව වාර්තා වෙනවා. මේක කිසිම සැකකරුවෙක් සම්බන්ධයෙන් සිදු නොවිය යුතුයි. අපි කියන්නේ ඔහුව බන්ධනාගාර ගත කරන්න. පත්තර කෑල්ලකට බත් ටිකක් දාලා, ඒක උඩට හොදිත් එක්ක රාබු දානවා නම් මිනිහෙක් ඒක කන්නේ කොහොමද ?. අඩුම ගානේ ප්ලාස්ටික් පිඟානකට මේ කෑම ටික දෙන්න බැරි ඇයි ?. මේක මිනිසෙකුට මිනිසෙක් ලෙස සැලකීම සම්බන්ධ කාරණයක්. මෙන්න මේ කාරණය සම්බන්ධව තමයි මට ප්‍රශ්නය තියෙන්නේ. ඔහු රාජපක්ෂලත් එක්ක එකතු වෙලා පාස්කු ප්‍රහාරය කළා නම් ඔහුව අත්අඩංගුවට අරන් ඕනෑම දෙයක් කරන්න. ඒ වගේම මට තවත් ප්‍රශ්නයක් තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා සුරේෂ් සාලේ නම්, ඔහුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ලෙස පාවිච්චි කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒකට හේතුව පැහැදිලියි, 2019 මහ මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂයෙක් වන ඊබ්‍රහීම් නානාගේ පුත්තු දෙන්නා සහ දුව තමයි ප්‍රහාරය කළේ, මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා ගත්තේ. ඒ කියන්නේ රාජපක්ෂලයි, ජනතා විමුක්ති පෙරමුණයි, සුරේෂ් සාලෙයි එකට එකතු වෙලා තමයි පාස්කු ප්‍රහාරය කරලා තියෙන්නේ. මේක පිළිගන්න පුළුවන් කාට ද ?
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 ජූනි 14 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
















