ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය
මහතාණෙනි,
ඉන්දීය ජනරජ ඉතිහාසය තුළ ඡන්දයකින් තේරී පත්ව වැඩිම කාලයක් සේවය කළ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් මම මගේ උණුසුම් සුබපැතුම් පිරිනමමි.
මෙම සන්ධිස්ථානය ඔබගේ ධුර කාලය පිළිබඳ ප්‍රකාශයක් පමණක් නොව, ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී දේශයේ ජනතාව ඔබගේ නායකත්වය කෙරෙහි නැවත නැවතත් තබා ඇති විශ්වාසය සහ සහතිකය මැනවින් පිළිබිඹු කරන්නකි.
ඉන්දියාව වැනි විශාල, විවිධත්වයෙන් යුත් සහ ගතික ප්රජාතන්ත්රවාදයක් පවතින රටක, අනුයාත මැතිවරණවලදී අඛණ්ඩව ජනතා කැමැත්ත දිනා ගැනීමට හැකි වීම කැපී පෙනෙන ජයග්‍රහණයකි. එය ඔබගේ සුවිශේෂී පාලන හැකියාව, සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට දැනෙනසුලු දියුණුවක් ළඟා කර දීම සහ අවස්ථාවලින් පිරුණු මෙන්ම අභියෝග සහිත යන කාල පරිච්ඡේද දෙකෙහිදීම මහජන විශ්වාසය දිනා ගැනීමට සහ එය රඳවා ගැනීමට ඔබට ඇති හැකියාව මනාව කියාපාන්නකි.
ඔබගේ පාලන කාලය තුළ ඉන්දියාව කැපී පෙනෙන ආර්ථික සහ සමාජීය පරිවර්තනයකට ලක්ව තිබේ. යටිතල පහසුකම්, මූල්‍ය අන්තර්කරණය, ඩිජිටල් සම්බන්ධතාව, රාජ්‍ය සේවා සහ ආර්ථික අවස්ථාවන් ආදී අංශවල ඇති වූ දියුණුව හේතුවෙන් ඉන්දියානුවන් මිලියන ගණනක් ප්රතිලාභ ලබා ඇත. ලොව ප්‍රමුඛතම ආර්ථිකයක් ලෙස ඉන්දියාව සිය තත්ත්වය වඩා ශක්තිමත් කර ගෙන ඇති අතරම, කලාපීය සහ ගෝලීය කටයුතුවලදී වඩාත් බලපෑම් සහගත හඬක් ලෙස ඉස්මතු වීමටද සමත්ව ඇත.
ඔබගේ නායකත්වය යටතේ ඉන්දියාව අධිෂ්ඨානයෙන් සහ විශ්වාසයෙන් යුතුව අපේක්ෂිත ඉලක්ක හඹා ගොස් ඇත. ආර්ථික වශයෙන් ගතික ඉන්දියාවක් පිළිබඳ වන ඔබගේ දැක්ම ශ්‍රී ලංකාව ඇතුළු ඔබේ දේශසීමාවෙන් ඔබ්බෙහි බොහෝ දෙනා දිරිගැන්වීමට සමත්ව තිබේ.
මෙම පරිවර්තනීය කාල පරිච්ඡේදය තුළ ඉන්දියාව සමඟ සමීපව කටයුතු කිරීමට ලැබීම ශ්‍රී ලංකාව ලැබූ වරප්‍රසාදයක් ලෙස සලකමි. ඔබගේ ධුර කාල ත්‍රිත්වය මුළුල්ලේ, අන්‍යෝන්‍ය විශ්වාසය, භූගෝලීය සමීපත්වය, ගැඹුරු ශිෂ්ටාචාරමය සබඳතා සහ ජනතාවගේ සමෘද්ධිය උදෙසා වූ අපගේ පොදු කැපවීම මත පදනම්ව අප දෙරට අතර හවුල්කාරිත්වය නව තලයකට ළඟා වී තිබේ. අභියෝගාත්මක කාලවලදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත දැක් වූ නොසැලෙන මිත්‍රත්වය මෙන්ම ඔබගේ පෞද්ගලික මැදිහත්වීම සහ සහයෝගය වෙනුවෙන් අපි වෙසෙසින් කෘතඥ වෙමු.
ඉන්දියාව සුවිසල් සමෘද්ධිමත්භාවයක් සහ ජයග්‍රහණයක් කරා අනලස්ව පියමනිමින් සිටින මෙම ඓතිහාසික අවස්ථාවේදී, අප දෙරට අතර ඇති සබඳතාවන්හි පෙර නොවූ විරූ රිද්මය මත පදනම්ව ඉදිරියටම යාමට මම අපේක්ෂාවෙන් සිටිමි.
අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
















