දරුවන්ගේ අනාගතය සඳහා වගකියන රජයක් ලෙස සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමානව අත්විඳිය හැකි ප්රජාතන්ත්රවාදී අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක මත පදනම්ව තීරණ ගැනීම සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.
පසුගිය දා (06) අරලියගහ මන්දිරයේදී පැවති ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ මානව සම්පත් මොඩියුලයෙහි පළමු අදියර (NEMIS) සහ (ඊ-තක්සලාව) ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
අග්‍රමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය, “දරුවන්ගේ අනාගතය සඳහා වගකියන රජයක් ලෙස සෑම දරුවකුටම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමානව අත්විඳිය හැකි ප්රජාතන්ත්රවාදී අධ්‍යාපන ක්‍රමයක් ඇතිකළ යුතුයි. ඒ සඳහා නිවැරදි දත්ත, ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක මත පදනම්ව තීරණ ගැනීම සිදුකළ යුතුයි. අපේ රජයට ඩිජිටල්කරණය අතිශයින්ම වැදගත් දෙයක්. වෙනස් වන ලෝකයත් එක්ක අපිත් වෙනස් වෙමින් ඉදිරියට යන්න අවශ්‍යයි. ඒ වගේම අප විශ්වාස කරනවා රජයේ සේවාවන් වඩා කාර්යක්ෂමව, විනිවිද භාවයෙන් ජනතාවට ලබාදීමට නම් ඩිජිටල්කරණය අවශ්‍යයි කියලා”.















