
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, දිවයින පුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.
මෙම වැඩසටහනේ සමාරම්භක සැසිය 2026 මැයි 25 වැනි සඳුදා දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ පළමු පෙළ ටියර් ‘ඒ‘ සහ ටියර් ‘බී‘ තරගාවලි නියෝජනය කරනු ලබන පාසල් නියෝජනය කරමින් පුහුණුකරුවන් 74 දෙනෙකු සහභාගී වූහ.
ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් මහතා විසින් පැය දෙකක විශේෂ දේශනයක් පවත්වන ලද අතර, නවීන පුහුණු ක්‍රමවේද සහ දක්ෂ තරුණ ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා පුහුණුකරුවන් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳ වටිනා දැනුමක් ඔහු විසින් හුවමාරු කරන ලදී.
ළමයින්ට ක්‍රිකට් කුසලතා ඉගැන්වීමේදී මිත්‍රශීලී හා සහයෝගී පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කමද කර්ස්ටන් මහතා අවධාරණය කළේය. එසේම, සාර්ථක ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා පුහුණුකරුවන් තමන්ගේම දැනුම සහ කුසලතා නිරන්තරයෙන් සංවර්ධනය කරගත යුතු බවද ඔහු සඳහන් කළේය.
ජයග්‍රහණවලට පමණක් අවධානය යොමු නොකර, දක්ෂ ක්‍රීඩකයන් බිහිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඔහු පාසල් පුහුණුකරුවන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම වැඩසටහන සඳහා ජාතික පන්දු යැවීමේ පුහුණුකරු රයන් වැන් නීකර්ක් මහතා සහ ජාතික පන්දු රැකීම හා ස්පින් පන්දු යැවීමේ පුහුණුකරු ජෝර්ඩන් ග්‍රෙගරි මහතාද එක්ව සිටි අතර, ඔවුන්ගේ අත්දැකීම් සහ විශේෂඥ දැනුමද සහභාගී වූ පුහුණුකරුවන් සමඟ බෙදාහදා ගන්නා ලදී.
එමෙන්ම, වැඩසටහන තුළ ප්‍රශ්න හා පිළිතුරු සැසියක්ද පැවැත්වුණු අතර, ඒ හරහා පුහුණුකරුවන්ට ගැරී කර්ස්ටන් මහතා සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි විය.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පද්ධතිය තුළ උසස් දැනුමක් සහ කුසලතා සහිත පුහුණුකරුවන් බිහිකිරීමේ අරමුණින්, මෙම වැඩසටහන ඉදිරියටත් නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත.















