බොරු ෂෝ දාලා වැඩක් නෑ: රුපියල බේර ගන්න නම්  වහාම වෙළෙඳපොළ විශ්වාසය හදන්න – ආචාර්ය හර්ෂ ද සිල්වා

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හමුවේ රැකෙන්න නම් වහාම වෙළෙපොළ විශ්වාසය ගොඩනැගීමට පියවර ගන්නා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා අද (21) පාර්ලිමන්තුවේ දී රජයෙන් ඉල්ලා සිටියේය.

රුපියල අවප්‍රමාණය වීම හා ඉදිරියේ දී උද්ගත විය හැකි හානිකර තත්ත්වය පැහැදිලි කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ ද පැවසුවේය,

අපේ විදේශ විනිමය වෙළෙඳපොළ විෂම චක්‍රයකට අහුවෙලා තියෙන්නේ. අපිට ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්, ඉරාන යුද්ධය, හෝමුස්, ඒ ඔක්කොම හරි. නමුත් අනික් රටවල් වලටත් ඒවා බලපානවා.  නමුත් අපේ රටේ ඊයේ, පෙරේදා වන විට ඉතාමත්ම වේගයෙන් රුපියල කඩාගෙන වැටෙනවා.

වෙළෙඳපොළ කියන්නේ විශ්වාසය මත වැඩ කරන දෙයක්. වෙළෙඳපොළේ විශ්වාසය කඩා ගෙන වැටුණොත් වෙළෙඳපොළ කඩාගෙන වැටෙනවා, මේක තමයි ඇත්ත කතාව. මම දැන් බැලුවා ලංකා බැංකුවේ ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 354යි. මෙහෙම ගියොත් මේක කොතනින්ද නවතින්නේ.

අපිට විශ්වවිද්‍යාලයේ කරන තර්ක කරන්න පුළුවන්. හැබැයි ඒ තර්කයි, වෙළෙඳපොළේ තර්කයි අතර පොඩි වෙනසක් තියෙනවා. වෙළෙඳපොළ සමඟ කාලයක් වැඩකළ පුද්ගලයෙක් ලෙස මම ඒකේ අනික් පැත්ත දකිනවා. ඒ අනික් පැත්ත තමයි විශ්වාසය ගොඩනගන්න. මොකද ඩොලර් එක රුපියල් 340,350,360ට ගියොත් ඒක මුළු රටටම බලපානවා.

ඔබලාගේ මැනේජ්මන්ට් එක ගැන හිතන්න. ඔයගොල්ලෝ හිතන්න කොහොමද වෙළෙඳපොළට විශ්වාසය ලබා දෙන්නේ කියලා. මම අහගෙන ජනාධිපතිතුමා කියනවා, ‘ඔව් මම මේ රට වැටෙන්න දෙන්නේ නැහැ’ කියලා. හැබැයි ඒක වෙළෙඳපොළට මදි. වෙළෙඳපොළට අවශ්‍ය වෙළෙඳපොළ විශ්වාස කරන දෙයක්.

විෂම චක්‍රය කියලා කියන්නේ මොකක්ද ?, අපනයනකරුවෝ එයාලාගේ ඩොලර් ටික රුපියල් වලට මාරු කරන්නේ නැහැ, ඇයි, ඒ අය හිතනවා ‘හෙට තවත් රුපියල් දෙක තුනකින් මේක වැටෙයි, ඒක අපිට හොඳයි’  කියලා. ආනයනකරුවෝ… ඒ අය වහාම ඩොලර් ටික ගන්න හදනවා. ඒ ගොල්ලෝ LC Open කරලා තිබෙනවා, ඔවුන්ගේ නැව්ගත කිරීම් සතියකින් දෙකකින් එනවා. ඊළඟ සතියේ ආනයනික භාණ්ඩ එනකොට ඩොලර් එක රුලියල් 375ක් වුණොත් කියලා ඒ අය හිතනවා. ඒ නිසා අද 355ට ගන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ අය හිතනවා. අද එක ඔෆර් එකක් නැහැ, එක බිඩ් එකක් නැහැ. මාර්කට් එකක එහෙම වෙන්නේ කොහොමද ? මාර්කට් එකේ තියෙන්නේ මහ බැංකුව දෙන ට්‍රෙඩ් එක විතරයි.

එ‌හෙම බිස්නස් කරන්න බැහැ, එහෙම මාර්කට් එකක් ගෙනියන්න බැහැ. අපි කොහොමද ලෝකයට අපි ගැන විශ්වාසයක් ගොඩනගන්නේ ?, අපේ රටට එන්න, ආයෝජනය කරන්න කියලා. එක බිඩ් එක්ක හරි, එක ඔෆර්  එකක් හරි නැති මාර්කට් එකක.

ඉතිං, ඒ නිසා කරුණාකරලා තේරුම් ගන්න, මේ මාර්කට් එකේ විශ්වාසය ගොඩනගන්න කරන්න පුළුවන් දෙයක් තියෙනවා, ඒවා කරන්න. අවාසනාවට හරි වෙන්න තියෙන දේ මම කියන්නම්. එන සතිය වන විට පොලී අනුපාතය බේසිස් පොයින්ට් 50කින් හෝ බේසිස් පොයින්ට් 100කින්, ඒ කියන්නේ 0.5%කින් හෝ 1%කින් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක ඒහෙම කළේ නැත්නම් මාර්කට් එක ආණ්ඩුව විශ්වාස කරන්නේ නැහැ.

කොච්චර දේශපාලන වේදිකාවේ කිවුවත් වැඩක් නැහැ. අවාසනාවට මොකද වෙන්නේ ?, මෙහෙම ගිහිල්ලා වෙළෙඳපොළ පොළිය 1%කින් වැඩි කළොත් ආණ්ඩුවටත්, අපටත් ගෙවන්න තියෙන පොළිය වැඩි වෙනවා. ජනතාවගෙන් ගහන්න තියෙන බදු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා කරුණාකරලා මේක තවත් ස්ලයිඩ් වෙන්න ඉඩ දෙන්න එපා. වෙළෙඳපොළ බුද්ධිය පාවිච්චි කරන්න, ඒක ජනාධිපතිතුමා කරාවි. නමුත් මුදල් අමාත්‍යාංශයට තිබෙනවා වැඩපිළිවෙළක්, මහ බැංකුවට තිබෙනවා. වෙළෙඳෙපාළේ විශ්වාසය ගොඩනගන්න,  කරන්නේ මොකක්ද කියලා කියන්න. එහෙම නොකළොත් මේ විෂම චක්‍රයේ තව දුරටත් පැටලෙනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website