‘කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත නිවාස හිමියාට මාරකයක් ද ?’

සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව කාලීන සංවාද මාලාවේ 262 වැනි කතිකාව පසුගිය දා ‘කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත නිවාස හිමියාට මාරකයක් ද ? යන තේමාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස නීතිඥ යුවින් මතුගම සහ නීතිඥ භද්‍රක මනමේන්ද්‍ර යන සහභාගී වූ අතර නීතිඥ ගයත්‍රී නවරත්න කතිකාව මෙහෙය වූවාය. මෙම කතිකාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

වත්මන් රජය විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘පදිංචිකරුවන් ආරක්‍ෂා කිරීමේ (කුලී නිවාස) පනත් කෙටුම්පත’ සමාජය තුළ පොදුවේ විශාල සංවාදයක් ඇති කළේය. ඊට හේතු වූයේ නිවාස හෝ ගොඩනැගිලි කුලියට දීම මෙරට තුළ දීර්ඝ කාලයක් ක්‍රියාත්මකව පවතින ව්‍යාපාරයක්, ආදායම් මාර්ගයක් වීම ය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත කුලී නිවාස හිමියන් සහ කුලියට නිවසක් හෝ ගොඩනැගිල්ලක් ලබා ගන්නා පාර්ශ්ව වල ද ක්ෂණික අවධානය දිනා ගත්තේය.

කුලී නිවැසියා සහ කුලී දේපොළ හිමිකරුවා අතර වන අනෝන්‍ය ගනුදෙනුවක් මත හෝ ගිවිසුමක් මත සිදු වන ක්‍රියාවලියක් ලෙස මේ ව්‍යාපාරය දීර්ඝ කාලයක් පැවතුණේය. නමුත් මේ ක්‍රියාවලිය නියාමනය කිරීමට අදාළ නීතිමය තත්ත්වයන් රජය විසින් කාලයෙන් කාලයට සම්පාදනය කර තිබුණේය. ඒ අනුව 1972 අංක 07 දරන  පනත මඟින් කුලී නිවැසියන් / දේපොළ සම්බන්ධයෙන් පළමු වරට යම් නියාමනයක් ක්‍රියාත්මක කළේය. මෙම පනත හරහා කුලී නිවැසියන්ගේ ආරක්ෂාව සහ කුලී දේපොළ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම අතර යම් නියාමනයක් කළේය.

එසේම 2003 අංක 01 දරන ‘බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත’ ක්‍රියාත්මක වුණා. මේ පනත හරහා (විශේෂයෙන්ම) නීත්‍යානුකූලව කුලියට හෝ බද්දට දෙන ලද දේපොළක් අදාළ නිවැසියන්ගෙන් ආපසු ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන නෛතික ක්‍රියාවලියට අවශ්‍ය පසුබිම සකස් කළේය.

  • පදිංචිකරුවන් ආරක්‍ෂා කිරීමේ (කුලී නිවාස) පනත් කෙටුම්පත

මෙම නියාමන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස 2025 වර්ෂයේ දී  ‘පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ නමින් කෙටුම්පතක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙම පනත් කෙටුම්පත බදු කුලී පදනම මත පරිශ්‍රයක පදිංචිව සිටින තැනැත්තන් නෙරපීම වළක්වා ගැනීම සහ ඊට සම්බන්ධ හෝ ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වන නීතියක් බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් විය. මෙම පනතේ විධිවිධාන, යම් පරිශ්‍රයක නීත්‍යනුකූලව පදිංචි වී සිටින්නන්ට සහ පනතේ 3, 4, හෝ 5 යන වගන්තිවලින් නිශ්චිතව දක්වා ඇති සිද්ධි සිදුවීමට මාස තුනකට වැඩි කාලසීමාවක් ඒ පරිශ්‍රයේ නිරවුල්ව සහ අඛණ්ඩව පදිංචි වී සිටින්නන්ට අදාළ වේ.

මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ආණ්ඩුව පසුගිය දා සැලසුම් කළ ද ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය.

එකී පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම පසුගිය 09දා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි හා ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පදිංචිකරුවන් ආරක්‍ෂා කිරීමේ (කුලී නිවාස) පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම පනත් කෙටුම්පත පිළිබඳව මහජන අදහස් හා යෝජනා ලබාගැනීමට අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි 03 වැනිදා සිට මාසයක කාලයක් ලබා දී ඇති බව ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විනිසුරු මඬුල්ල හමුවේ පැවසීය.

මේ වන විට පදිංචිකරුවන් ආරක්‍ෂා කිරීමේ (කුලී නිවාස) පනත් කෙටුම්පත පිළිබඳව මහජන අදහස් විමසමින් තිබෙන නමුත් එකී පනත් කෙටුම්පත සම්බන්ධ උණුසුම තවමත් නො නැසී පවතී.

පාර්ලිමේන්තුව, නැතහොත් ව්‍යවස්ථාදායක නීති සම්පාදනය කිරීමේ දී කාරණා කිහිපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන් අනාගතයේ දී ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයක් හෝ වර්තමානයේ දී උද්ගතව පවතින ගැටලුකාරී තත්ත්වයක් අඩු කර ගැනීමට හෝ ඉවත් කර ගැනීමට ප්‍රතිකර්මයක් ලෙස බොහෝ විට නීති සම්පාදනය සිදුවේ.

මෙරට කුලී නිවාස සම්බන්ධ පළමු වැනි පනත සම්මත වන්නේ 1972 දි ය. ඒ 1972 අංක 07 දරන ගෙවල් කුලී පනත ය. එවකට රට තුළ පැවැති තත්ත්වය හා ස්වභාවය අනුව මෙම පනත සම්මත කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබුණේ ය. එම පනත 1980 අංක 55 සහ 2002 අංක 26 දරන ගෙවල් කුලී සංශෝධන පනතින් සංශෝධනය විය.

  • අලුත් ගැටලුවට විසුම් නැහැ

නමුත් 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දීම සමඟ නිවාස හෝ දේපොළ කුලියට ලබා දීම සම්බන්ධ සමස්ත ක්‍රියාවලියේ ප්‍රබල වෙනස් විමක් සිදු වුවත් ඊට අදාළ නීතියේ වෙනසක් සිදු නොවිය. විවෘත ආර්ථික ප්‍රතිපත්තියට සපුරා පටහැනි ආර්ථික හා සමාජය තත්ත්වයකට අදාළව සම්මත කරන ලද පනතක් භාවිතය අඛණ්ඩව සිදුවිය. මේ හේතුවෙන් සමාජය තුළ විශාල ප්‍රශ්නයක් නිර්මාණය විය. ඊට හේතුව වූයේ කුලි නිවාස සම්බන්ධ නීතිය සමාජ හා ආර්ථික අවශ්‍යතාවලට සමපාත වන ආකාරයට යාවත්කාලීන නොවිම ය. ඒ අනුව විවෘත ආර්ථිකය සමඟ අලුතින් නිර්මාණය වූ ප්‍රශ්නවලට පිළිතුරු මෙම පනත තුළ නොමැති බවට බොහෝ කාලයක් තුළ විවේචනයක් පැවතියේය.

මේ පසුබිම තුළ 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත මඟින් කුලී නිවාස හිමිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයේ පනතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කළේය.

“කුලී හිමියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වුණාට කුලියට නිවසක්, ගොඩනැගිල්ලක් හෝ ඉඩමක් ලබා ගන්නා පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හිඩැසක් ලංකාවේ නීතිය ඇතුළේ තිබුණා” කුලී නිවාස ගැටලුව පිළිබඳ ඉතිහාසය සහ ඒ ආශ්‍රිත සංකීර්ණ ගැටලු ගැන පැහැදිලි කිරීමක් නීතිඥ භද්‍රක මනමේන්ද්‍ර කළේය.

  • නීති තුනක් අතර ගැටුමක්

නීති සම්පාදනය කිරීමේ දී ප්‍රවේශම් විය යුතු කරුණු ගණනාවක් පවතී. ඒවා අතර, එම නීති නිශ්චිත වීම සහ එම නීති සරල වීම මෙහි දී ප්‍රධාන වේ. දියුණු සමාජයක් සෑම අවස්ථාවක දී නිශ්චිත සහ සරල නීති සම්පාදනය කරන්නේය.  යම්කිසි නීතියක් වටහා ගැනීම අසීරු නම් හෝ එකී නීතිය සම්බන්ධයෙන් සමාජය වික්ෂිප්තභාවයට පත්වන්නේ නම් එකී නීති ‘අසාර්ථක නීති’ ලෙස සැලකේ.

ලංකාවේ නීති පද්ධතිය තුළ සම්පාදනය කර ඇති නීති අතර යම්කිසි ආකාරය ගැටලුකාරී බවක් ඇති නීති ගණනාවක් පවතින අතර එම නීති ගොන්නට එක් වූ ‘තවත් නීතියක් ලෙස තමා සලකන බව නීතිඥ භද්‍රක පැවසුවේය.

මෙහි දී ඔහු තර්ක කළේ 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනතින් අදාළ දේපොළවල හිමිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන විට වත්මන් පනත මඟින් අදාළ දේපොළ කුලියට හෝ බද්දට ලබා ගන්නා පුද්ගලයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවයි. 1972 අංක 07 දරන ගෙවල් කුලී පනත සංශෝධනය කළා මිස එය ‘අහෝසි කරන පනතක්’ මේ දක්වා ඉදිරිපත් නොමැති බව ද නීතිඥවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

“දැන් අපි ඉදිරියේ 1972 අංක 07 දරන ගෙවල් කුලී පනතත් තිබෙනවා, 2023 අංක 01 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනතත් තිබෙනවා. දැන් අලුතින් සම්මත කර ගන්න යන පනතත් තිබෙනවා. මේ තත්ත්වය තුළ මෙම පනත් තුන, නීති තුන අතර ගැටීමක් ඇතිවෙන්න තිබෙන සම්භාවිතාව ඉතාම ඉහළයි. උදාහරණයක් ලෙස වත්මන් පනත් කෙටුම්පතට අනුව මේ නීතිය අදාළ වන පුද්ගලයින් සම්බන්ධයෙන් එම පනතේ 2(අ) වගන්තියේ සඳහන් වෙනවා. මේ පනතට අනුව, ‘මේ පරිශ්‍රයේ ඉන්නේ නීත්‍යානුකූල පුද්ගලයෙක් ද?’ කියලා කවුද තීරණය කරන්නේ කියන ගැටලුව අපට තිබෙනවා. අධිකරණය විසින් මේක තීරණය කළ යුතුයි. ඉක්මනින් මේ ගැටලුව විසඳා ගැනීමට අධිකරණයට ගිය විට අනෙක් පාර්ශ්වය කිව්වොත් ‘නෑ මෙයා නීත්‍යානුකූලව රැඳී සිටින පුද්ගලයෙක් නොවෙයි’ කියලා ඊට පස්සේ අධිකරණයට මේ ගැටලුව ගැන තීරණයක් ගන්න වෙනවා. ඒක ගැටලුව තවත් සංකීර්ණ කරනවා. මේ පනතේ 3,4 සහ 5 වගන්ති ගත්විට තත්ත්වය තවත් සංකීර්ණ වෙනවා”.

මෙහි දී නීතිඥ භද්‍රක මනමේන්ද්‍ර අදාළ පනත් කෙටුම්පතේ කුලී නිවැසියා සම්බන්ධයෙන් කුලීකරුට ගත හැකි පියවර දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය. මෙහි දී නීතිඥ භද්‍රක යළිත් පෙන්වා දුන්නේ වත්මන් පනත් කෙටුම්පත බරපතළ ගැටලුකාරී තත්ත්වයන් ගණනාවක් නිර්මාණය කර ඇති බවයි.

“මම හිතන්නේ නීතියක් සම්පාදනය කරන සෑම අවස්ථාවක දීම අපි වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. නීතියක් ගැටලු නිර්මාණය කරන තත්ත්වයකට පත් නොවී ගැටලු නිරාකරණය කරන පනතක් විය යුතුයි. නීතිය හරහා තව තවත් ගැටලු නිර්මාණය කිරීම කිසිසේත් හොඳ නීතියක ලක්ෂණයක් නොවෙයි. මේ තත්ත්වය තුළ මගේ අදහස වන්නේ, 1972, 2023 සහ අලුතින් කෙටුම්පත් කරන ලද නීතිය යන සියල්ල ඉවතට දාලා එක අලුත් නීතියක් සම්මත කළ යුතු බවයි. මේක කාසියේ දෙපැත්ත වැනි තත්ත්වයක්. ඒ නිසා පනත් තුනක් මඟින් අයිතිවාසිකම් තහවුරු කිරීමකට යනවාට වඩා එක පනතකින් මේ කාර්යය කළ යුතුයි. ඒක ප්‍රශස්තම ක්‍රමය, හොඳම ක්‍රමය කියලා මම විශ්වාස කරනවා” නීතිඥ භද්‍රක මනමේන්ද්‍ර පැවසුවේය.

  • ජාත්‍යන්තර තත්ත්වය කුමක් ද ?

මේ ආකාරයේ නීති සම්පාදනය කිරීමේ දී ජාත්‍යන්තර උදාහරණ දෙස ද අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ අනුව දියුණු රටවල් නිරන්තරයෙන් පියවර ගන්නේ ‘නිශ්චිත සහ සරල නීති’ සම්මත කිරීමට ය. ඊට හේතුව වන්නේ දේපොළ කුලියට ලබා දෙන පුද්ගලයා සහ දේපොළ කුලියට ලබා ගන්නා පුද්ගලයා යනු එකම කාසියක දෙපැත්තක් විම ය. මේ හේතුව මත ලෝකයේ බොහෝ රටවල කුලියට දෙන පුද්ගලයා සහ කුලියට ගන්නා පුද්ගලයා ආරක්ෂා කරන නීති එකම නීතියක් තුළ අන්තර්ගත වන බව භද්‍රක පෙන්වා දුන්නේය. ඔහු ෆින්ලන්තය උදාහරණ වශයෙන් ගත් අතර රටම මේ සියලු නීති ‘එකම පනතක’ අන්තර්ගත බව පෙන්වා දුන්නේය.

“මේ නීතිය ඉතාම නිශ්චිතයි, ඒ වගේම සරලයි. කිසිම අනවබෝධයක් හෝ ගැටලුවක් නැහැ” ඔහු යළි අවධාරණය කළේය.

“මේ සරලභාවය සහ නිශ්චිතභාවය නිසා සාමාන්‍ය පුද්ගලයෙකුට වුණත් තමන්ගේ අයිතිවාසිකම් මොනව ද ? කියලා තේරුම් ගන්න පුළුවන්” භද්‍රක යළි පෙන්වා දුන්නේය.

මෙහිදී ඔහු තර්ක කළේ නීතියක් සංකීර්ණ වීමත් සමඟ සාමාන්‍ය පුද්ගලයින් බරපතළ දුෂ්කරතාවකට සහ මංමුලා සහගත තත්ත්වයකට පත්වන බවයි.

“ඔහු දන්නේ නැහැ ඔහු අනුගත විය යුත්තේ කුමන නීතියකට ද ? කියලා. නමුත් නීතිය කියනවා, පුද්ගලයෙක් නීතිය නොදැන සිටීම වරදකට සමාව දීමට හේතුවක් නොවේ’ කියලා. නමුත් අප විසින් නිර්මාණය කර දී තිබෙන නීති පද්ධතියම ඒ පුද්ගලයාට තේරුම් ගත නොහැකි තත්ත්වයක, අවුල් සහගත තත්ත්වයක පැවතීම ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා මම යළි යළිත් අවධාරණය කරනවා, නීතිය සෑම අවස්ථාවකම නිශ්චිත විය යුතුයි, සරල විය යුතුයි’. නීතිඥ භද්‍රක යළි අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නේය.

මෙහි දී නීතිඥ භද්‍රක පෙන්වා දුන්නේ කුලී නිවාස සම්බන්ධයෙන් වර්තමානය වන විට සක්‍රීය නීති තුනක් (නව නීතිය ද සමඟ) තිබීම හේතුවෙන් දැඩි අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය වීමට වැඩි සම්භාවිතාවක් තිබෙන බවත් තීන්දුවක් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත වන නෛතික ක්‍රියාවලියකට මුහුණ දීමට අදාළ පාර්ශ්වයන්ට සිදුවිය හැකි බවත්ය.

“වත්මන් පනත් කෙටුම්පත මේ ආකාරයෙන්ම සම්මත වුණොත් මේ ගැටලු ඇති වේවි. නමුත් මගේ පුද්ගලික මතය නම් මේ නීති තුන වෙනුවට එක තනි නීතියක් සම්පාදනය කළ යුතු බවයි”. නීතිඥ භද්‍රක සිය අදහස් දැක්වීම අවසන් කරමින් අවධාරණය කළේය.

නීතිඥ යුවින් මතුගමට අනුව 1972ට පෙර කාලයේ සිටම කුලී නිවැසියන්ගේ සහ කුලියට නිවාස ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ විධිවිධාන මෙරට තුළ ක්‍රියාත්මකව තිබී ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් නීතිය ක්‍රියාත්මක වන්නේ රෝම ලන්දේසි නීතිය පදනම් කරගත් නීති පද්ධතියක් තුළ බව පෙන්වා දුන් නීතිඥ මතුගම රෝම ලන්දේසි නීතියේ සිවිල් පදනම වෙනස් කිරීම අසීරු බව ද කීවේය.

මෙහි දී ඔහු තර්ක කළේ 1972න් පසුව, වසර 50කට පසු සමස්ත ආර්ථික, දේශපාලන හා සමාජයිය පරිවර්තනයක් සිදු වූ කාලයක මෙන්ම ආර්ථිකය යළි ගොඩනැගීමේ අභියෝගය පැවැති අවස්ථාවක 2023 පනත සම්මත කළ බවයි.

  • ගැටලු පිට ගැටලු

“2023 පනතේ ඉතාම පැහැදිලිව විස්තර කර තිබෙනවා මේ පනත බලපෑ හැකි පුද්ගලයා කවුද ? කියලා. විශේෂයෙන් ගත්විට, අදාළ දේපොළ කුලියට ගැනීම හෝ දීම සම්බන්ධයෙන් බදු ගිවිසුමක් තිබිය යුතුයි, ඒක ලියාපදිංචි කර තිබිය යුතුයි, මුද්දර ගාස්තු ගෙවා තිබිය යුතුයි. මේ සියලු විධිවිධාන තුළින් තමයි 2023 අංක 01 දරන පනත ‘බදු ගිවිසුම්වලට’ සීමා කරලා තිබුණේ. නමුත් 2025 නව පනතින් අපි තවත් දුරට ගිහින් තිබෙනවා. නව පනතින් අපි කරන්න හදන්නේ වෙනත් දෙයක්. පනතින්ම නිශ්චිත කාර්යයන් සීමා කර ගත්තොත් මීට වඩා දෙයක් කරන්න තිබුණා. ඒ වගේම 1972 පනත අදටත් බලාත්මකයි. ඒකත් ප්‍රශ්නයක්. මේ පනතේ ප්‍රශ්න ගත තැන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෑතකදීත් තීන්දුවක් ලබා දුන්නා. ඒ කියන්නේ 1972 සිට මේ දක්වා ගෙවි ගිය කාලය තුළ නීති ක්ෂේත්‍රයේ ඇති වුණ ප්‍රවණතා හඳුනා ගෙන වත්මන් නීති සම්පාදනය කළ යුතුයි. එහෙම කළා නම් නව නීතියෙන් සිදුවිය හැකි හානිය අවම කර ගන්න පුළුවන්” නීතිඥ යුවින් මතුගම කතිකාවට සිය ප්‍රවේශය ගනිමින් පෙන්වා දුන්නේය.

“ප්‍රධාන වශයෙන් මේ පනතේ විධිවිධාන තුළ සිවිල් නඩු විධිවිධාන සංග්‍රහ පනතේ ලඝු කාර්යය පටිපාටිය තුළ ගන්න පුළුවන් නියෝග කිහිපයක් ලබා දීලා තිබෙනවා. ඒ සන්තකය දරන පුද්ගලයාට. ඔහුට තියෙන්නේ ‘නීත්‍යානුකූල සන්තකයක්’ නම්, (නීත්‍යානුකූල සන්තකය කියන්නේ ඉතා පුළුල් අර්ථයක් ඇති සංකල්පයක්) ඒක මේ පනතින් ගෙනාවොත් වෙන්නේ 2023 අංක 01 දරන පනතේ විධිවිධානවල ආරක්ෂාව ලබා ගන්නා බදු දීමනාකරුටත් තම අයිතිවාසිකම් අහිමි විමක් වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස,  2023 අංක 01 දරන පනතේ බදුකරු සහ බදු දීමනාකරු අතර ගිවිසුම බදුකරු විසින් කඩකරන අවස්ථාවක දී බදු දීමනාකරුට පුළුවන් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ලඝු කාර්යය පටිපාටිය යටතේ ඉතාම කෙටි කාලයක් තුළ ‘නිසි නියෝග’ ලබා ගන්න පුළුවන්. මේ ප්‍රතිපාදන හරහා දේපොළක් බද්දට දීමේ දී ඇති වන බිය නැති වුණා. ඒ අනුව යම්කිසි දේපොළක් කුලියට හෝ බද්දට දීමට බදු දීමනාකරුට පුළුල් අවස්ථාවක් ඇති වුණා. මේ කාරණයේ දී අපේ රෝම ලන්දේසි නීතිය සහ වෙනත් පිළිගත් නීති සිද්ධාන්ත තුළ වෙන වෙන විත්තිවාචකයක් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් බදු දීමනාකරුයි, බදු ගැනුම්කරුයි ගිවිසුමකින් බැඳිලා ඉන්න ඒ ආරක්ෂාව, ඒ අවස්ථාව ලබා දීම තුළින් අපේ රටේ දේපොළ කුලියට දීම සම්බන්ධයෙන් පුළුල් වෙළෙඳපොළක් ආරම්භ වුණා කියලා කිව්වොත් මම නිවැරදියි. නමුත් නව පනතේ ප්‍රතිපාදන තුළ මාස තුනක කාලයක් තුළ නඩු අවසන් කිරීමට සහ තව දුරටත් විත්තිවාචක ඉදිරිපත් කරන ලද අවස්ථාවක දී මාස නවයක් වන තෙක් එම විත්තිවාචක සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. නමුත් නෛතික ක්‍රියාවලිය තුළ කාලසීමාවන් ලකුණු කිරීමේ දී ද 2023 අංක 01 පනතේ ප්‍රතිපාදනයන්ට පටහැනි නොවන ආකාරයට කටයුතු කිරීම ඉතා වැදගත් කියලා මම හිතනවා. එසේ නොවුණොත් කුලී නිවැසියා (සන්තකයේ සිටින පුද්ගලයා) 2023 අංක පනතේ දීමනාකරු වෙන්න කලින් මේ පනතේ (2025) ප්‍රතිපාදන යටතේ අධිකරණයෙන් නියෝග ගන්න අවස්ථාව තිබෙනවා. එවැනි දෙයක් වුණොත් අවසානයේ බදු දීමනාකරුට 2023 අංක 01 පනතේ මුල් අවස්ථාවේ දීම කරුණු දැක්වීමෙන් ලබා ගත් තීන්දු ප්‍රකාශය වුණත් අහෝසි වෙන්න අවස්ථාව තිබෙනවා. මේ නිසා පනත් පනත් අතර තිබෙන ගැටුම අවම කර ගැනීම අත්‍යවශ්‍යයි. ඒකට හේතුව තමයි 1972 සිට 2023 දක්වා නව නීතිය සම්මත වන තෙක් අධිකරණය තමයි නිර්වචන ලබා දීලා, 1972 පනතේ කුලී නිවැසියන්ටත්, එකී දේපොළ හිමිකරුවන්ටත් අවශ්‍ය අර්ථ නිරූපණය ලබා දුන්නේ” නීතිඥ යුවින් මතුගම පැවසුවේ ය.

  • අර්ථ නිරූපණ නිශ්චිත වීම

මෙහිදී නීතිඥ යුවින් මතුගම පෙන්වා දුන්නේ 2023 අංක දරන පනතේ සියලු අර්ථ නිරුපණයක් පැහැදිලිව දක්වා ඇති බවයි.

“ඒවා කාලීනව සලකා බලා නිශ්චිත ලෙස ලබා දී තිබෙනවා” යැයි කී නීතිඥ මතුගම මෙම පනතේ ද රෝම ලන්දේසි නීතිය සම්බන්ධ කිසිඳු සටහනක් නැති නමුත් එම ප්‍රතිපාදන වලට අවහිර නොවන ලෙස අදාළ අර්ථ දැක්වීම් කරලා තිබෙනවා. මේ ප්‍රතිපාදන අනුව අනීතිකව රැඳී සිටින කුලී නිවැසියෙකුට හැර නෛතික රැඳී සිටිනවා නම්, ඔහු අදාළ ගිවිසුම කඩ කරන්නේ නැති අවස්ථාවක බදු දීමනාකරු යම් කිසි පියවරක් ගන්නවා නම් ඒ හරහා ඔහුට කිසිම ආරක්ෂාවක් නො ලැබෙන බවට ඉදිරිපත් වන තර්කයට පදනමක් නැහැ. ඒ වගේම 2023 අංක 01 දරන පනතේ ප්‍රතිපාදනවල තිබෙන නිශ්චිතභාවය තුළ මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ අදාළ ප්‍රතිපාදන ක්‍රියාත්මක වෙනවා. එවැනි අවස්ථාවක අපි නිවැරදිව තේරුම් ගත යුතුයි, සියලු දෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුයි. ඒ වගේම පනත ඉදිරිපත් කිරීමට පෙර, ඊට අදාළ නෛතික ප්‍රතිපාදන හඳුනා ගැනීමක් කළේ නැතිනම් අවසානයේ දී නව නීතිවල (ගේන නීති) අවසාන අරමුණ සහ අවසාන සහනයන් වලට බලපෑමක් සිදු වෙනවා”.

  • විශාල අවදානමක්

2023 අංක 01 දරන පනත සහ යෝජිත 2025 පනත ක්‍රියාත්මක විය යුත්තේ දිසා අධිකරණයේ දී බව පෙන්වා දුන් නීතිඥ මතුගම යම්කිසි අවස්ථාවක දිසා අධිකරණයක මේ පනත් දෙක යටතේ වෙන වෙනම නඩු විභාග කිරීමක් සිදු වුවහොත් සිදු කළ යුතු දේ සම්බන්ධයෙන් ‘නිශ්චිත පැහැදිලි කිරීමක්’ සිදුවිය යුතු බව අවධාරණය කළේය.

“මේ පනතේ අර්ථ නිරූපණය පටන් ගන්නේ කුලී නිවැසියෙක් ගැන සඳහන් කරමින්. නමුත් ආරක්ෂිත කුලී නිවැසියෙක් සම්බන්ධයෙන් ආරක්ෂාවක් තිබිය යුතුයි. නමුත් කුලී නිවැසියෙක් නොවන, වෙනත් අයිතිවාසිකම් තිබෙන පුද්ගලයෙක් සම්බන්ධයෙනුත් මේ පනත බලපෑවොත් එයින් දේපොළ හිමිකරුට විශාල හානියක් වෙන්න පුළුවන්. මං හිතන ආකාරයට මේ අනතුර නිසාම තමයි යෝජිත පනත සම්බන්ධයෙන් සමාජය තුළ සංවාදයක් ගොඩනැගුණේ. කෙසේ වෙතත් යෝජිත පනතේ ප්‍රතිපාදන අනුව, නෛතික රාමුව සලකා බලලා, ශ්‍රේෂ්ඨාධිකරණය වසර ගණනාවක් පුරා ලබා දුන් ලබා දුන් අර්ථ නිරූපණයක් සලකා බලලා තමයි මේ පනතට අදාළ නෛතික රාමුව සකස් කළ යුතු වන්නේ. මම පුද්ගලිකව හිතන්නේ යෝජිත නීතිය ඒ ආකාරයෙන්ම සම්මත කළොත් දේපොළ කුලියට සහ බද්දට දෙන ව්‍යාපාරය තුළ බරපතළ බිඳ වැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වර්තමානයේ පවතින නීතිවලටත් විශාල හානියක් වෙන්න පුළුවන්” නීතිඥ යුවින් මතුගම අවධාරණය කළේය.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website