
යම් ප්‍රදේශයක සිදුවන රිය අනතුරු පිළිබඳව අධ්‍යනයක් සිදුකරමින් එම සංඛ්‍යාලේඛන අදාළ ප්‍රදේශයේ රිය අනතුරු අවම කිරීම සඳහා විසඳුම් සෙවීමට යොදාගැනීම, මහ මඟ ජීවිත බේරාගැනීමේ ප්රයත්නයේ සාර්ථක ප්‍රතිඵල අත්කර දෙනු ඇත.
ඒ් අනුව දිවයිනේ සියළු පොලිස් බල ප්‍රදේශයන්හි රිය අනතුරු දත්ත රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ කොට්ඨාසයේ විශ්ලේෂනයට යොමුකිරීම සඳහා පොලිස් පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසය මගින් මෘදුකාංගයක් භාවිතා කරමින් නව දත්ත පද්ධතියක් සකසන ලදී.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) වන දින කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සම්මන්ත්රණ ශාලාවේදී එම දත්ත පද්ධතිය නියමු ව්‍යාපෘතියක් ලෙස බස්නාහිර පළාතේ සියළු පොලිස් ස්ථාන වෙත ලබාදුන් අතර පද්ධතියේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව සමස්ථ දිවයිනේ සියළු පොලිස් ස්ථාන වෙත ලබාදීමට නියමිතය.
පද්ධතිය හැසිරවීම සඳහා යොදාගන්නා ටැබ් යන්ත්‍ර 142 ක්, සිම්පත් පොලිස් ස්ථාන අතර බෙදාදෙන ලදී. දත්ත පද්ධතිය හඳුන්වාදීමේ මෙම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා,අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා, කොළඹ දිසාව නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සිල්වා මහතා, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පි.ජේ සේනාධීර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බස්නාහිර පලාතේ සියළුම පොලිස් ස්ථානයන්හි රථවාහන අංශ ස්ථානාධිපතිවරුන්, බස්නාහිර පලාතේ සියළුම කොට්ඨාස රථවාහන ස්ථානාධිපතිවරුන්, නාගරික රථවාහන පොලිසියේ ස්ථානාධිපතිවරුන් සහභාගී විය.












