පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන කුසලාන සංචාරයේ දෙවැනි දිනය වූ ජනවාරි 22 වැනිදා, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගයට පෙර, ලෝක කුසලානය අඩි 7000ක උසින් පැරෂුට් මඟින් ක්‍රීඩාංගණයට රැගෙන එනු ලැබීය.
ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන පැරෂුට් භටයන් පස් දෙනෙකු විසින් ජාතික ධජය, අයි.සී.සී. ලෝක කුසලාන ධජය, ශ්‍රී ලංකා ක්‍රිකට් ධජය සහ තරගාවලියේ තේමා පාඨය වන “උද්‍යෝගය අත්විඳින්න” (Feel The Thrill) යන ධජ ලෙළදවමින් උඩුගුවනෙන් පිම්ම ලබා, ලෝක කුසලානය අලංකාර ලෙස ක්‍රීඩාංගණයට ගොඩබැස්සවීය.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් කොමදෝරු ජගත් ගොඩකන්ද මහතා විසින් ලෝක කුසලානය සුරැකිව රැගෙන ආ අතර, එය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රධාන මණ්ඩපය ඉදිරියේ පිහිටි විශේෂ පීඨිකාවක තැන්පත් කර මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලදී.
මෙම පැරෂුට් මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් සම්පත් ප්‍රියසුන්දර, ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් නලින් කුලතුංග, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ බෝට්ටු අංශයේ කොමදෝරු කමල් තිස්ස කුමාර සහ ශ්‍රී ලංකා විශේෂ කාර්යය බලකායේ ලුතිනන් කර්නල් පුෂ්පකුමාර යන නිලධාරීහුද එක්ව සිටියහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 21 වැනිදා ආරම්භ වූ මෙම ලෝක කුසලාන සංචාරයේ මූලික අරමුණ වන්නේ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව රටේ ජනතාව තුළ උද්‍යෝගය හා වැඩි ප්‍රේක්ෂක අවධානයක් ගොඩනැගීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන ගිය ලෝක කුසලානය එතැන් සිට හෙලිකොප්ටරයකින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය ඉහළ අහස දක්වා ගුවන්ගත කර තිබූ අතර, එම ගමන් මඟදී මහජනතාවට එය සමීපව දැකබලා ගැනීමටද අවස්ථාව සලසා දී තිබුණි.
2012 වසරෙන් පසු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් තරග පැවැත්වීමට සැලසුම් කර ඇත.
source: srilankacricket.lk














