2/3කට වඩා වැඩි බලයක් තිබුණත් හිතෙන හිතෙන නීති ගේන්න ආණ්ඩුව සූදානම් නැහැ – ලක්මාලි හේමචන්ද්‍ර – පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගය

ආණ්ඩුවක ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් තමයි නීති සම්මත කිරීම, අලුත් නීති ගෙන ඒම සහ පවතින නීති සංශෝධනය කිරීම. සමහර නීති කෙටුම්පත් මහජනතාවගේ දැන ගැනීමට ප්‍රසිද්ධ කළාට පස්සේ මහජනතාව අතරින් එකී නීති ගැන යම් යම් අදහස් ඉදිරිපත් වෙනවා. ඇතැම් අවස්ථාවල සමහර නීති කෙටුම්පත් ගැසට් කිරීමට පෙරම මහජනතාවගේ අදහස් ලබා ගැනීමට ඉදිරිපත් කරනවා. අපි මහජනතාවට එරෙහිව කිසිම නීතියක් සම්මත කරන්නේ නැහැ, මහජනතාවගේ අදහස් නොසලකා හරින නීති සම්පාදනය කිරීමේ කිසිම අදහසක් අපට නැහැ. අපි මේ ක්‍රියාවලිය කරන්නේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන සහභාගීත්වය තුළයි

  • මේ වන විට ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය යොමු වෙලා තියෙන්නේ කවරාකාර වැඩසටහන් සහ සැලසුම් දෙස ද ?, ඒ සම්බන්ධ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් යම් යම් වෙනස්කම් සිදු වුණත් රජයේ ප්‍රමුඛතා වල කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. ඒ අනුව 2026 අයවැය ලේඛනයේ සැලසුම් කළ ආකාරයට අදාළ සියලුම ව්‍යාපෘති සහ වැඩසටහන් අපේක්ෂිත ආකාරයෙන්ම, සැලසුම් කළ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපි මෙහි දී ප්‍රමුඛ වැඩසටහන් තුනක් හඳුන්වා දුන්නා, ඒවා තමයි ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ප්‍රජා ශක්ති වැඩසටහන, ඩිජිටල්කරණ වැඩසටහන සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන. ඒ වගේම පසුගිය වර්ෂයේ ජාතික අවශ්‍යතාව සහ ජනතාවගේ දැඩි ඉල්ලීම පරිදි විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කළා. ඒ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වුණ ආපදා තත්ත්වයෙන් යළි ගොඩනැගීම වෙනුවෙන් ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩසටහන ආරම්භ කළා. ඒක දිට්වා ආපදාවෙන් යළි ගොඩනැඟීම වෙනුවෙන් පමණක් නොවෙයි සමස්ත ශ්‍රී ලංකාවම තිරසාර ලෙස නැවත ගොඩනඟන වැඩසටහනක් බවට පත්කර තිබෙනවා. Rebuilding Sri Lanka වැඩසටහන සඳහා අමතර රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් හරහා මුදල් ලබා ගෙන තිබෙනවා. මෙහිදී අවතැන් ජනතාව නැවත පදිංචි කරවීම සහ අවතැන් ජනතාවට නැවත තම නිවාස, ව්‍යාපාරික ස්ථාන පිළිසකර කර ගැනීමට ආධාර කරනවා, ඒ ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට, ව්‍යවසායකයින්ට, කාන්තාවන්ට, ගොවීන්ට ඇතුළු විපතට පත් සියලු පාර්ශ්වයන් වෙත සහන ලබා දීමට ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. ඒ වගේම නිවාස සම්පූර්ණයෙන් විනාශ වූ හෝ අර්ධ වශයෙන් විනාශ වූ ජනතාවට ඒවා නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට ආධාර ලබාදීම, නැවත පදිංචියට යාමට නොහැකි ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමත් අඛණ්ඩව සිදුවෙනවා. මේ සමඟ හානියට පත් යටිතල පහසුකම්, මහා මාර්ග, දුම්රිය මාර්ග, පාළම්, වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙනවා. මම මෙහිදී යළි අවධාරණය කරන්නේ අනපේක්ෂිත ලෙස මහත් ව්‍යවසනයක් සිදුකළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රජයේ කිසිම සැලසුමක් හෝ වැඩපිළිවෙළක් දුර්වල වීමක් සිදුවෙලා නැහැ.

  • පසුගිය දා ජාත්‍යන්තර දූෂණ සංජානන දර්ශකය 2025 (Corruption Perceptions Index – CPI) නිකුත් වුණා. එහි ලංකාව කැපී පෙනෙන වර්ධනයක් ලබා ගෙන තිබෙනවා. මේ තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?

ඒක ඉතාම වැදගත් හෙළි කිරීමක්. ජාත්‍යන්තර දූෂණ සංජානන දර්ශකය 2025ට අනුව ලංකාව ස්ථාන 14කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව 2024 දී 121ක් වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2025 දී 107 වැනි ස්ථානය දක්වා ඉහළ ප්‍රගතියක් ලබා ගෙන තිබෙනවා. මෙහි දී රාජ්‍ය අංශයේ දූෂණය අඩුවීම ජාත්‍යන්තර වශයෙන් ඇඟයීමකට ලක්කර තිබෙනවා. 2024 වන විට රාජ්‍ය අංශයේ දූෂණය ගත්විට අපි ලෝකයේ නරකම ස්ථානය පසු වුණේ. නමුත් වර්ෂයක කාලයක් තුළ ඒකක 14කින් ඉදිරියට ඒමට අපේ රජය යටතේ හැකියාව ලැබී තිබෙනවා. මේ වර්ධනයට විශේෂ හේතු ගණනාවක් බලපෑවා. විශේෂයෙන් රාජ්‍ය අංශයේ දූෂණය පිටුදැකීමට අපේ රජය විසින් ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ පසුගිය 2025 වර්ෂයේ රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම කැපී පෙනෙන ලෙස අඩුවීමක් තිබෙන බව මේ වාර්තාව අනුව පැහැදිලි වෙනවා. මේක රජයක් ලෙස අපට සතුටුදායක ආරංචියක් වගේම අපව ධෛර්යමත් කරන ඇඟයීමක්.

  • ජාත්‍යන්තර දූෂණ සංජානන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණයත් විපක්ෂය ආණ්ඩුවට එරෙහිව කන්ටේනර් 323 සිද්ධිය, බාල ගල්අුරු වංචාව ආදි දූෂණ චෝදනා ගණනාවක් එල්ල කරනවා නේද ?

විපක්ෂය ඉන්නේ ඒකටනේ.

  • ඔබ කාන්තාවන් සම්බන්ධයෙන් වඩාත් වැඩි අවධානය යොමු කරන මන්ත්‍රීවරියක්. ඒ වගේම ඔබේ ආණ්ඩුවත් මැතිවරණයට පෙර ‘කාන්තාවන් එක මිටට කියලා දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කළා. ඒත් කාන්තා කොමිෂමේ සභාපතිවරිය ඉල්ලා අස්විම ඇතුළු කාරණා මත විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරනවා නේද ?

ලංකාවේ පළමු වතාවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් බවට පත් කිරීමට අපේ ආණ්ඩුව පියවර ගත්තා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තමයි කාන්තාවන් සවිබල ගැන්වීම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කටයුතු කරන්නේ. විශේෂයෙන් මෙහි දී නීති සංශෝධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව කාන්තාවන්ට අදාළ නීති හතරක් ඉදිරියේ දී සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ගෘහස්ත හිංසන පනත, සයිබර් අවකාශයේ දරුවන්ට සිදුවන හිංසනයන් පිටුදැකීම ආදි පනත් කිහිපයක්ම ඉදිරියේ දී සංශෝධනය වීමට නියමිතයි. මේ හරහා කාන්තාවන්ට නෛතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අපි ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකනවා. මේ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කටයුතුවල නිරතව සිටින කාන්තාවන් (සියලු ව්‍යවසායකයින්ට) වෙනුවෙන් රුපියල් බිලියන 8000ක ණය වැඩසටහනක් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ග්‍රාම සංවර්ධන සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශය යටතේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ගොඩනැඟීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ඉදිරියේ දී ‘සුරැකුම් ආර්ථිකය’ නම් වැඩසටහන යටතේ කාන්තාවන් ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.

  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?

පසුගිය වර්ෂයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම් කළත් එය ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ 2026 වර්ෂයේ දි. ඒ අනුව පළමු ශ්‍රේණියේ සහ හය වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. නමුත් හය වසර ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් ඇති වුණ යම් යම් ගැටලු හේතුවෙන් 2026 දී හය වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 වසර දක්වා කල් දැමීමට සිදු වුණා. නමුත් පළමු ශ්‍රේණියට අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට සාර්ථකව ආරම්භ කරලා තිබෙනවා. එහි අදහස තමයි අපි අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරනවා. එහිදී සාමාන්‍ය පොදු අධ්‍යාපනය පමණක් නොවෙයි, මුල් ළමාවියට අදාළව, පෙර පාසල්වලට අදාළව පවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපි බලාපොරොත්තු වෙනවා සමස්ත අධ්‍යාපනයම එක ජාතික විෂය මාලාවකට ගෙන ඒමට. ඒ හරහා රජයේ අධ්‍යාපන ආයතන ශක්තිමත් කිරීමට හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි වර්තමානය වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල අර්බුදයක් තිබෙනවා. ඒකක විවිධ ස්වරූපයන්ගෙන් ප්‍රකාශයට පත් වෙනවා. ළමයි පාසල් යාම අඩු වීම, පුද්ගලික අධ්‍යාපන ආයතනවලට වැඩි අවධානයක් යොමු විම, විශේෂයෙන් ජාත්‍යන්තර පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම වර්ධනය විම වැනි ගැටලු අපි හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ යාවත්කාලීන කිරීම, සෑම දරුවෙකුම ඇතුළත් කර ගන්න, දරුවන්ට, දෙමාපියන්ට සහ ගුරුවරුන්ට පීඩාවක් නොවන අධ්‍යාපන ක්‍රමවේදයක් හදන්න ඕනෑ කියන ස්ථාවරයේ ආණ්ඩුව ඉන්නවා. ඒ වෙනුවෙන් තමයි අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම අපේ ආර්ථිකයට ඵලදායී ලෙස සම්බන්ධ විය හැකි පුරවැසියෙක් අධ්‍යාපනය තුළින් බිහි කළ යුතුයි. ඒ කියන්නේ පාසලෙන් හෝ විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවා ඵලදායී ලෙස සමාජ – ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට සම්බන්ධ විය යුතුයි. මෙයත් වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එක් අරමුණක්. මම මෙහිදී යළිත් අවධාරණය කරනවා, අපි කිසිසේත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නැහැ. අපි දන්නවා අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කරන විට විවිධ ගැටලු මතු වෙනවා. මේ ගැටලු නිරාකරණය කර ගනිමින් අපි අපේ සැලසුම් ක්‍රියාත්මක කරනවා.

  • ආණ්ඩුව සම්මත කර ගැනීමට සැලසුම් කරන බොහෝ නීති, පනත් රිවස් කරන ස්වභාවයක් තිබෙනවා. මේ ගැන ජනතාව අතරත් යම් සංවාදයක් තිබෙනවා. නීතිඥවරියක් ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද ?

ආණ්ඩුවක ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් තමයි නීති සම්මත කිරීම, අලුත් නීති ගෙන ඒම සහ පවතින නීති සංශෝධනය කිරීම. සමහර නීති කෙටුම්පත් මහජනතාවගේ දැන ගැනීමට ප්‍රසිද්ධ කළාට පස්සේ මහජනතාව අතරින් එකී නීති ගැන යම් යම් අදහස් ඉදිරිපත් වෙනවා. ඇතැම් අවස්ථාවල සමහර නීති කෙටුම්පත් ගැසට් කිරීමට පෙරම මහජනතාවගේ අදහස් ලබා ගැනීමට ඉදිරිපත් කරනවා. අපි මහජනතාවට එරෙහිව කිසිම නීතියක් සම්මත කරන්නේ නැහැ, මහජනතාවගේ අදහස් නොසලකා හරින නීති සම්පාදනය කිරීමේ කිසිම අදහසක් අපට නැහැ. අපි මේ ක්‍රියාවලිය කරන්නේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන සහභාගීත්වය තුළයි. පාර්ලිමේන්තුවට ඕනෑම නීතියක් සම්මත කර ගැනීමට හැකි වුණත්, ඒක ඇත්ත වුණත් අපි කැමතියි වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදීව සහ මහජන සහභාගීත්වයක් සහිතව නීති සම්මත කර ගන්න. ඒ නිසා ආණ්ඩුව ඉදිරිපත් කළ, කෙටුම්පත් කළ යම්කිසි නීතියට ජනතාව අතරින් විරෝධයක් තිබෙනවා නම් ඒක පසුපසට ගන්න ආණ්ඩුව අකමැති නැහැ. ඒ වගේම සමහර වැදගත් නීති කාලීන නොවෙන්න, මේ අවස්ථාවට සුදුසු නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපි එකී නීතිය ගේන ඒම ගැන යළි සලකා බලනවා. පසුගිය කාලය තුළ එවැනි පනත් කෙටුම්පත් කිහිපයක් අපි සලකා බලා තිබෙනවා. ඒවා ගේන්නේ නැහැ කියලා එයින් අදහස් වන්නේ නැහැ. නමුත් ඒවා තව දුරටත් සලකා බලන්න අපි සූදානම්. ආණ්ඩුවට 2/3කටත් වඩා වැඩි බලයක් තිබුණා කියලා හිතෙන හිතෙන නීති සම්මත කළ යුතුයි කියලා අදහසක් අපේ ආණ්ඩුවට නැහැ.

සටහන – භාතිය බරුකන්ද

රතුඉර පුවත්පතේ 2026 පෙබරවාරී 15 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද ලිපියකි

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website