Micro-Credential: වෘත්තිකයින්ට කෙටි කාලීන පාඨමාලා හරහා පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාවක්

වෘත්තිකයින්ට කෙටි කාලීන පාඨමාලා හරහා සිය වෘත්තීයමය ගමන් මඟෙහි පිළිගැනීමක් ලබා ගැනීමට Micro-Credential ක්‍රමවේදය උපකාරී වන බවත්, ඒ ඔස්සේ රජය සැලසුම් කරමින් සිටින වඩාත් නම්‍යශීලී, වෙනස්වන පරිසරයට ගැලපෙන, කුසලතා පදනම් කරගත් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට අත්වැලක් සපයන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

පසුගිය දා (26) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති ශ්‍රී ලංකාව තුළ ජාතික ක්ෂුද්‍ර- අක්ත පත්‍ර පිළිබඳ ප්‍රතිපත්තියක් සහ රාමුවක් (National Micro-Credentials Framework) සංවර්ධනය කිරීමේ දෙදින වැඩමුළුවේ දෙවන දිනය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් මණ්ඩලය (COL) සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. එහි පළමු දිනයේ සමාරම්භක අවස්ථාව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. පොදු රාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් මණ්ඩලයේ කේන්ද්‍රය ලක්ෂය ලෙස කටයුතු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විදේශ කටයුතු හා විදේශ ආයතන ශාඛාවයි.

ශ්‍රී ලංකාවට ගැළපෙන ක්ෂුද්‍ර අක්ත පත්‍ර පිළිබඳ ප්‍රතිපත්තියක් සහ රාමුවක් සංවර්ධනය කර, වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථාන සහ උසස් අධ්‍යාපන ආයතන තුළ මෙම ක්‍රමවේදය ස්ථාපිත කිරීම සඳහා යොදාගන්නා ක්‍රමෝපායන් සහ යෝජනා සම්මත කරගැනීම මෙම වැඩමුළුවේදී සිදු විය.

මෙම ක්ෂුද්‍ර- අක්ත පත්‍ර අධ්‍යාපන ක්‍රමවේදය යනු නිශ්චිත කුසලතා හෝ නිපුණතාවල ප්‍රවීණත්වය සනාථ කරන කෙටිකාලින ඉගෙනුම් ක්‍රමවේදයක් වේ. එමගින් අවධානය යොමු කරන්නේ වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින නිශ්චිත මාතෘකා කෙරෙහි ය. වෘත්තිකයන්ට සම්පූර්ණ උපාධි වැඩසටහනක් සඳහා වැය වන කාලය හෝ මූල්‍යමය කැපවීමකින් තොරව, ඉක්මනින් තම කුසලතා ඉහළ නැංවීමට හෝ නව කුසලතා ප්‍රගුණ කිරීමට මෙමගින් අවස්ථාව ලැබෙයි.

මෙහිදී ක්ෂුද්‍ර- අක්ත පත්‍ර අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව සිය අදහස් පැමිණ සිටි සාමාජිකයින් හට යොමුකරමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද පවසා සිටියාය.

මේ වේගයෙන් වෙනස් වන ලෝකයේ, දෙමාපියන් තමන්ගේ දරුවන්ට ගැලපෙන වෘත්තීන් ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් තෝරා දීමට පෙළඹීම වෙනස් විය යුතු දෙයක්. අපගේ අධ්‍යාපන ක්‍රමය මඟින් ඒ සඳහා අවශ්‍ය නව අවස්ථා සලසා දෙන බව අප තහවුරු කළ යුතුයි.

එමෙන්ම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය කියන්නේ බොහෝ දෙනෙක් වෙනත් විකල්පයක් නැති වුණාම තෝරාගන්නා දෙයක් බවට පත්වෙලා තියෙනවා. මේකත් අපි අනිවාර්යයෙන්ම වෙනස් කළ යුතු තවත් එක දෙයක්. අපි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ එය ශක්තිමත් කිරීමට ඉතා විශාල අවධානයක් යොමු කළයුතු වෙනවා.

අධ්‍යාපන ක්‍රමයට නම්‍යශීලී බව අවශ්‍යයි. හැබැයි ඒ නම්‍යශීලී බව ඇති කරගත යුත්තේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැතිකරගෙන නෙවෙයි. ඔබ මේ අධ්‍යාපන පද්ධතියේ තීරණ ගන්නා අය විදිහට, එහි ගුණාත්මකභාවය රැකගනිමින් ඉදිරියට යාමට හැකි මග සෑදිය යුතුයි.

මෙම වැඩමුළුවේ පළමු දිනය සඳහා සහභාගී වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශකර සිටියේ නව තාක්ෂණය මත පදනම් වූ ගෝලීය වෙළඳපොළ තුළ සාම්ප්‍රදායික විෂයමාලාවන්ට තනිවම ළඟා විය නොහැකි වේගයකින් කර්මාන්ත ක්ෂේත්‍රය පරිවර්තනය වෙමින් පවතින බවයි.එමෙන්ම අපගේ ශ්‍රම බලකාය තරගකාරීව තබා ගැනීම සඳහා පුළුල් වන නිපුණතා පරතරය පියවීමට සක්‍රීයව මැදිහත් විය යුතු බවත්,ඒ සඳහා පහසුවෙන් ඉගෙනුම් කටයුතු කළ හැකි ක්‍රමවේද හඳුන්වා දීම සිදු වන්නේ එම අවශ්‍යතාව සඳහා බව ද ප්‍රකාශකර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website