
මහජන වරමට පිටුපාන මන්ත්‍රීවරුන්ට වැට බැඳීම යහපත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.
මහජන ඡන්දයෙන් තේරී පත් වී ජනවරමට එරෙහි වෙමින් පක්ෂය මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ඇති සූදානම සාධනීය ප්රතිසංස්කණයක් සඳහා අවස්ථාවක් බවට පත් කර ගත හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරය බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.
මාධ්‍ය නිවේදනය
මහජන වරමට පිටුපාන මන්ත්‍රීවරුන්ට වැට බැඳීම යහපත් ය
මහජන ඡන්දයෙන් තේරී පත් වී ජනවරමට එරෙහි වෙමින් පක්ෂය මාරු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ඇති සූදානම සාධනීය ප්රතිසංස්කණයක් සඳහා අවස්ථාවක් බවට පත් කර ගත හැකි බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි.
අප සංවිධානයේ සමාරම්භක නායක, අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් ද 2013 වසරේ සිට නිරන්තරයෙන් හඬ නැඟූ එකී ස්ථාවරය සැලකීමේදී මෙම තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් සීමා නොවිය යුතු අතර පළාත් සභා මන්ත්‍රීවරුන්ට මෙන්ම පළාත් පාලන ආයතනයන්හි මහජන නියෝජිතයන්ට ද එය අදාළ කළ යුතුය.
එයින් අප අදහස් කරන්නේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා හෝ බාහිර බලපැම්වලට යටත්ව හෝ තමන් පත් කර එවූ ඡන්ද දායකයන් සහ ජාතියේ යහපැවැත්ම පාවාදීමට කිසිදු ජනතා නියෝජිතයකුට හැකියාවක් නොතිබිය යුතු බව ය.
අවංකභාවය හා ප්‍රතිපත්තිගරුකභාවය ප්රජාතන්ත්රවාදි ක්රමයක කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයත්, මහජන විශ්වාසයත් ගොඩනැඟිමට සඳහා වන අත්‍යාවශ්‍යම සාධකයකි. ඒ සමඟම අප සංවිධානය අවධාරණය කරන තවත් වැදගත් කරුණක්ද තිබේ. එනම් ජාතික යහපත හා රාජ්‍යයේ යහපැවැත්ම උදෙසා අත්‍යන්තයෙන්ම බැඳී සිටීමට මහජන නියෝජිතයන්ට හෘද සාක්ෂියේ නිදහස තහවුරු කල යුතු බවයි. එය තහවුරු කිරීමට නම් බලය සඳහා පෙනී සිටින දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය ද ශක්තිමත් විය යුතු අතර එය බාහිර සමාජයට ද ප්‍රදර්ශනය විය යුතුව තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන මහජන නියෝජිතයන්ට අදාලව පියවර ගැනීමට හැකිවන ආකාරයේ නව පනත තුළ ප්රජාතන්ත්රවාදී මූලික හරයන් සපුරාම ආරක්ෂා කරමින් පටු අරමුණු සහිතව වරප්‍රසාද හෝ වෙනත් ලාභ අපේක්ෂාවන්ට අනුව කටයුතු කරමින් මහජන වරමට පිටුපාන්නා වූ අවස්ථාවන් පමණක් අවහිර කළ යුතුව ඇතැයි විශ්වාස කරන අප සංවිධානය ඒ මඟින් බහු පක්ෂ ක්‍රමය සහ ජාතික වගකීම් පෙරදැරි කරගනිමින් කටයුතු කිරීමේ හෘද සාක්ෂියේ නිදහස ද ආරක්ෂා කරගත යුතුව ඇති බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.
මෙකී ජාතික වැදගත්කමින් යුතු ප්‍රතිසංස්කරණය සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින්, යෝජිත ප්‍රතිසංස්කරණයේ අරමුණු පැහැදිලි කරන ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වැදගත්කම ද අප අවධාරණය කරමු. අපගේ ප්‍රාර්ථනය වන්නේ ශ්‍රී ලංකාවේ පාරීශුද්ධ දේශපාලන සංස්කෘතියක් බිහිවනු දැකීම ය.
සුනිල් ජයසේකර, මහලේකම්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.














