මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් මෙම වන්දි ප්රදානය කිරීමට ලැබීම පිළිබඳ සතුටු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතර, නිල්වලා ගඟ ආශ්රිත ලවණ බාධකය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් 2019-2022 වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ප්රදානය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයේ දීය.
අමාත්‍යවරයා මෙසේ ද පැවසුවේය.
“අපි මැතිවරණයේදී පොරොන්දු වුණා නිල්වලා ඛේදවාචකය අවසන් කරනවා කියලා. මෙතන ගැටලු කිහිපයක් තියෙනවා. ජල ගැටලුවක් තියෙනවා. නිල්වලා ගඟේ පහළ නිම්නය සුළු ගංවතුරකිනුත් යටවෙනවා. ලවණ බාධකය නිසා වගා කරගන්න බැරිව ගොවි ජනතාව හැමදාමත් පීඩාවට පත්වෙනවා. අපි බලයට පත්වීමට පෙර සම්බන්ධීකරණ කමිටුව වගා හානි වූ ගොවි ජනතාවගේ ප්‍රශ්නවලින් උණුසුම් වෙනවා. අද මේ ප්‍රතිලාභීන්ට වගා වන්දි ලැබෙනවා පමණක් නෙමෙයි නිල්වලා ගඟේ ගැටලුවලට ස්ථිරසාර විසඳුම් ලබා දීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර අවශ්‍ය පර්යේෂණ සිදු කරමින් තිබෙනවා.
මේ වසර අවසන් වන විට ශක්‍යතා අධ්‍යයනය කරලා ලවණ බාධකය පිළිබඳ ගැටලුව අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඒ සඳහා රුපියල් මිලියන පන්සීයක ප්‍රතිපාදන වෙන් කළා.
තව මිලියන 1200ක්, 2019 සිට 2022 දක්වා කන්න ගණනාවක් වගා හානි වීමෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි ලබා දීමට වෙන්කර තිබෙනවා. අපි බලයට එන්න කලින් කාලයක් තිස්සේ වන්දි ඉල්ලා උද්ඝෝෂණය කළා. දැන් ඔබට කිසිම උද්ඝෝෂණයකින් තොරව වගා හානි සඳහා වන්දි ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. සමහර ගොවීන්ට ලක්ෂ 29ක පමණ විශාල වන්දියක් ලැබෙනවා. අපි ඒ තරම් විශාල වන්දියක් මේ ගොවි ජනතාව වෙනුවෙන් වෙන් කර තිබෙනවා. මේ ජුනි 18වන දා වන විට මෙම වන්දි ගෙවීම් අවසන් කිරීමට අපි කටයුතු සැලසුම් කර තිබෙනවා. සමහර අය කිව්වා මීට වඩා වන්දියක් පාරෙ බැහැලා උද්ඝෝෂණය කරොත් ගන්න පුළුවන් කියලා. සමහරු මේ වන්දිය ප්‍රතික්ෂේප කරමු කිව්වා. එහෙත් ඔබට උද්ඝෝෂණය කරන්නට නොතියා ඔබ වෙනුවෙන් අපි උද්ඝෝෂණය කරලා මේ වන්දි මුදල අද ඔබට ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. මේ ඉන්න නිලධාරීන් ඒ පිළිබඳව සාක්ෂි දරාවි. එහෙම වුණේ ඔබේ වේදනාව, ගැටලුව අපි හොඳින් අවබෝධ කරගෙන සිටි නිසයි. සමහරු කිව්වා මේක ගත්තොත් ගොවි බිම් පවරා ගනියි කියලා. එහෙත් එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ”.















