රටම එකට’ ජාතික මෙහෙයුම | නුවරඑළිය: 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසරක්

  • නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නැහැ
  • කිසිදු දරුවෙක් මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරක් බවට පත් නොවන රටක් ගොඩනඟනවා
  • අපිට බේරන්න කුඩු ව්‍යාපාරිකයෝ, ජාවාරම්කරුවෝ නැහැ. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට සියලු දෙනා එක් වෙමු
  • අපි අනුගමනය කරන්නේ කිසිදු පාර්ශ්වයකට ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්
  • 2027 වසරේදී  03 වන වැටුප් වර්ධකය ලබා දීමෙන් පසු රාජ්‍ය සේවක අනෙකුත් දීමනා ලබා දීමට අවධානය යොමු කරනවා.

නීතියේ විධානයේ ආධිපත්‍යය බිඳවැටුණු කිසිදු රටක් සංවර්ධනය අත්පත් කර ගෙන නොමැති බවත්, නීතිය බිඳ වැටුණු රටක බලය හොබවන්නේ අපරාධකරුවන් බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වු රටක් ගොඩනැඟීම වෙනුවෙන් වත්මන් රජය කැප වී සිටින බවත්, 2026 වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසරක් බවත් සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (11) පස්වරුවේ නුවරඑළිය නගරයේ පැවති  විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහනට එක්වෙමිනි.

අපි විඳි දුක් අපේ දරුවන්ට හිමි නොවන රටක් ගොඩනැඟීම වත්මන් රජයේ අරමුණ බවත්, කිසිදු දරුවෙක් මත්ද්‍රව්‍ය ව්‍යසනයේ ගොදුරක් බවට පත් නොවන රටක් ගොඩනඟන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එම වැඩපිළිවෙළෙහිදී ඉවත බලා සිටීමට කිසිවෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා  එහිදී තමා පිළිබඳව තමා සහතික වන බවත්, ආගමික නායකයන්, දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ මෙන්ම මහජනතාව ලෙසද සියලු දෙනා වෙත පැවරී ඇති වගකීම් ඉටු කිරීමට එක් වෙමුයි’ද  ආරාධනා කළේය.

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වේ. එම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් මගින් සමාජය මෙම උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීම සිදු කෙරේ.

මලෛගම් ප්‍රජාව ඇතුළු මෙරට සියලු ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන සමාජ ගැටලුවක් ලෙස විෂ මත්ද්‍රව්‍ය උවදුර හඳුනාගෙන තිබෙන අතර,  සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් මගින් එම ජනතාව ඉන් මුදාගෙන ඔවුන් සමාජ සහ ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීමේ අරමුණින් මධ්‍යම පළාත් වැඩසටහන සැලසුම් කර තිබේ.

‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කළදා පටන් විෂ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 91,000කට අධික සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඊට අදාළව සියයකට අධික නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ෂණ ආරම්භ කිරීමත්, රැඳවුම් නියෝග මත සැකකරුවන් 1818ක් දීර්ඝ කාලීන විමර්ෂණවලට යටත් කිරීමත් සිදු කර තිබේ. 1566 දෙනෙක් පමණ පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.

මෙම කෙටි කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය ලබා දුන් සක්‍රීය දායකත්වය අගයමින්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් 62 දෙනෙකු ඇගයිමට ලක් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website