2026 ඔක්තෝබර් මස 16 දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී සිදු වූ ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
හිටපු අමාත්යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය පී.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු කටයුතු කරති.
මෙම විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක ලෙස ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් මහතා කටයුතු කරනු ඇත.
‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සිදුවූ ආකාරය, ඊට බලපෑ ආසන්න හා වක්ර හේතු, ප්රතිකාර කටයුතුවලදී යම් අතපසුවීම් හෝ නොසැලකිලිමත්කම් සිදුවී තිබේද යන්න පිළිබඳව සොයා බැලීම මෙන්ම වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම මෙම කමිටුවට පැවරේ.
මෙම කටයුත්තේදී දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමටද මෙම කමිටුවට බලය පැවරී ඇත.











