ක්ෂුද්ර මූල්ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්රියාත්මක කරමින් ක්ෂුද්ර මූල්ය ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නීතිඥ ලක්මාලි හේමචන්ද්ර පාර්ලිමේන්තු මන්ත්රීතුමියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ පිළිබඳව ශ්රී ලංකා ක්ෂුද්ර මූල්ය වෘත්තිකයන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණි.
ක්ෂුද්රමූල්ය සහ ණය දීමේ ක්ෂේත්රය නියාමනය කිරීම සඳහා සම්මත කරන ලද පනත කඩිනමින් ක්රියාත්මක කිරීමේ අවශ්යතාව මෙහිදී අවධාරණය කෙරිණි. අවිධිමත් ලෙස අධික පොලී අය කරමින් ජනතාව පීඩාවට පත් කරන ණය දෙන ආයතන පාලනය කිරීම මෙන්ම විධිමත් ලෙස ක්රියාත්මක වන ක්ෂුද්ර මූල්ය ආයතන සඳහා සාධාරණ නියාමන පරිසරයක් සකස් කිරීමේ අවශ්යතාව ද පෙන්වා දෙන ලදී.
මෙහිදී ක්ෂුද්රමූල් ව්යාපාර කටයුතු සිදු කරන ආයතනවලට බලපත්ර ලබාදීමේ ක්රියාවලිය,පනතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පවතින නීතිමය හා ප්රායෝගික ගැටලු, තැන්පතු ලබා ගැනීමේ සීමා සහ අරමුදල් පිරිවැය පිළිබඳව සාකච්ඡා වූ අතර, දැනට ක්රියාත්මක ක්ෂුද්ර මූල්ය ආයතන සඳහා බලපත්ර ලබා ගැනීමේ ක්රියාවලිය සරල කිරීම, නියාමනයකට යටත්ව සීමිත මහජන තැන්පතු ලබා ගැනීමට අවස්ථාව සැලසීම සහ අඩු පිරිවැය අරමුදල් වෙත ප්රවේශය ලබාදීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කෙරිණි.
එමෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්යන්තර ආයතනවලින් ලැබෙන සහනදායී අරමුදල් නියාමනය වන ක්ෂුද්ර මූල්ය ආයතන වෙත ලබා දීමේ යාන්ත්රණයක් සකස් කිරීම තුළින් ණය පොලී අනුපාත පහළ දැමීමට හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු විය.
පනතේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ වගන්ති ක්රියාත්මක කිරීම, නියාමන අධිකාරිය පිහිටුවීමට ගතවන කාලය සහ ආයතනවලට බලපත්ර ලබාගැනීම සඳහා ලබා දී ඇති කාලසීමාව පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
මේ අතර, ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් (LMSL) ආයතනය සඳහා ග්රිඩ් 68ක කැණීම් අයිතිය ලබාදීම සහ මෙහෙයුම් සහය ලබාදීම සම්බන්ධ කරුණු පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් අවශ්ය නිර්දේශ නිකුත් කිරීමට කාරක සභාව තීරණය කළේය.
උතුරු-නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඛනිජ වැලි තැන්පතු වෙනත් පෞද්ගලික ආයතන වෙත ලබා නොදී රාජ්ය සතු ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය වෙත අනන්ය කැණීම් අයිතිය ලබාදෙන ලෙස එම ආයතනය විසින් කාරක සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි.
මෙහිදී නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඛනිජ වැලි තැන්පතු භාවිත කරමින් අගය එකතු කළ කර්මාන්ත සඳහා අවශ්ය අමුද්රව්ය දීර්ඝකාලීනව සහ අඛණ්ඩව සපයා ගැනීමේ අවශ්යතාව පිළිබඳව සාකච්ඡා විය. ඛනිජ වැලි අමුද්රව්ය ලෙස පමණක් අපනයනය කිරීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කර අපනයනය කිරීමේ රජයේ ප්රතිපත්තිය අනුව, දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගනිමින් අගය එකතු කිරීමේ ව්යාපෘති ක්රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම, අතීතයේ නිකුත් කර ඇති ඛනිජ කැණීම් බලපත්ර සමාලෝචනය කිරීම, අක්රමවත් ලෙස පවතින බලපත්ර සම්බන්ධයෙන් අවශ්ය පියවර ගැනීම සහ අදාළ ඛනිජ තැන්පතු LMSL ආයතනය වෙත පැවරීම පිළිබඳව ද සාකච්ඡා විය. පසුගිය කාලයේ සිදුව ඇති බවට හඳුනාගෙන ඇති ඇතැම් අක්රමිකතා සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවද සඳහන් වූ අතර, ඉදිරියේදී ඛනිජ කැණීම් බලපත්ර නිකුත් කිරීමේදී විනිවිදභාවය සහ ආයතන අතර සම්බන්ධීකරණය තහවුරු කිරීම සඳහා බහු-ආයතනික කමිටු ක්රමවේදයක් ක්රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, කන්දසාමි ප්රභු, තිළිණ සමරකෝන්, විජේසිරි බස්නායක, සුරංග රත්නායක සහ සිවඥානම් ශ්රීතරන් යන මහත්ම මහත්මීන් ඇතුළු කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.











