- පුනරුද ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ වැඩවර්ජන අවසන් වෙයි, උපවාස, උද්ඝෝෂණ අවසන් වෙයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. ආණ්ඩුවේ ප්‍රබලයෙක් වන ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා කිව්වා වෘත්තීය සමිති විසුරුවා හරින්න කාලය ඇවිත් කියලා. ඒත් දැන් දැන් රට පුරා උද්ඝෝෂණ, මාරාන්තික උපවාස සිදු වෙනවා. මේක අනපේක්ෂිත තත්ත්වයක් නේද ?
ඕනෑම රටක සේවක අයිතිවාසිකම්, ඉල්ලීම් වෙනුවෙන් කරන උද්ඝෝෂණ හා වැඩවර්ජන සාමාන්‍ය දෙයක්. ඒක අලුත් දෙයක් නො වෙයි. ඒවා තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ, මේ හදිසියේ ඇති වෙලා තිබෙන තත්ත්වය ස්වභාවික දෙයක් කියලා මට හිතෙන්නේ නැහැ. ඒවා සමාජයීය අවශ්‍යතාවක් මත ඇති වුණ දේවල් කියලා මට හිතෙන්නේ නැහැ. ඒවා තුළ කිසිම ආකාරයක වෘත්තීයභාවයක් නැහැ. විශේෂයෙන්ම නව රජයට බලයට පත් වුණාට පස්සේ රජයේ සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක් ලබා දුන්නා. මෙතෙක් කාලයක් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩි වීමක් සිදු කළේ රාජ්‍ය සේවකයින්ගෙන් දැඩි බලපෑමක් එල්ල වුණාට පස්සේ. නමුත් අපේ රජය පියවර තුනක් යටතේ දැවැන්ත වැටුප් වැඩි වීමක් ලබා දුන්නා. මේ වන විට වැටුප් වැඩි වීම් දෙකක් රාජ්‍ය සේවකයින්ට ලබා දී තිබෙනවා. විශාල වැටුප් වැඩි වීමක් සිදු වුණාටත් පස්සේ මේ ආකාරයේ වැඩ වර්ජන, උද්ඝෝෂණ සිදු කිරීම කිසිසේත්ම සාධාරණ නැහැ. විශේෂයෙන් වෛද්‍යවරුන් කරන ඉල්ලීම්වල කිසිම සාධාරණයක් නැහැ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමතිතුමා පසුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කරුණු පැහැදිලි කළා. එතුමා එහිදී ඉතා ම පැහැදිලිව පෙන්වා දුන්නා වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය කිසිසේත් සාධාරණ නැති අසාධාරණ එකක් කියලා. වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් අතර තිබෙනවා ඔවුන්ගේ දරුවන්ගේ පාසල් සම්බන්ධ ගැටලු සහ වෛද්‍ය සේවය විශේෂ සේවයක් බවට පත් කරන්න කියන ඉල්ලීම.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවත් ඒ හා සමාන එකක්. ඔවුන් සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගත් පසු පාසල්වලට අනුයුක්ත කළා. පසුව ඔවුන් ගුරුවරු ලෙස සේවය කළා. අපි ඔවුන්ගේ සේවය අගය කරනවා. ඒ අවස්ථාවේ පාසල්වල තිබුණ ගුරු හිඟයත් එක්ක ඔවුන් කළ සේවය අපි කිසිසේත් අවතක්සේරු කරන්නේ නැහැ. නමුත් රටේ පවතින නීති, රෙගුලාසි, අණපනත් එක්ක ගුරු සේවයට බඳවා ගන්නා විට තරඟ විභාගයකින් තොරව බඳවා ගැනීමක් කරන්න හැකියාවක් නැහැ. ඔවුන් පසුගිය දා (03) ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට ගියා. එම සාකච්ඡාවෙන් පසු මාරාන්තික උපවාසය අවසන් කරනවා කියලා ඔවුන් ප්‍රකාශ කළා.
මේවා පිටුපස ඉන්නේ විපක්ෂය කියන එක පැහැදිලි කරුණක්. විපක්ෂය බලාපොරොත්තු වුණා ඉතාම කෙටි කාලයකින් ආණ්ඩුව අර්බුදයට යයි කියලා, මාස හයකින්, අවුරුද්දකින් ආණ්ඩුව කඩා ගෙන වැටෙයි කියලා ඔවුන් විශ්වාස කළා, බලාපොරොත්තු වුණා. ඔවුන් බලාගෙන හිටියේ ගෝඨගේ ආ්ණ්ඩුව වාගේ මේක කඩා ගෙන වැටෙයි, ස්වභාවිකව ජනතාව ආණ්ඩුවට විරුද්ධ වෙයි කියලා. අවසානයේ විපක්ෂය බලාපොරොත්තු වුණා දිට්වා සුළි කුණාටුවෙනුත් ආණ්ඩුව වැටෙයි කියලා. එහෙම හිතන, ප්‍රාර්ථනා කරන කුහක විපක්ෂයක් තමයි දැන් තියෙන්නේ. ඒ නිසා තමයි සුළි කුණාටුව සම්බන්ධයෙන් ආණ්ඩුවට කරන්න පුළුවන් සෑම චෝදනාවක්ම, විවේචනයක්ම කළේ, නමුත් දැන් තත්ත්වය පැහැදිලියි. දිට්වා සුළි කුණාටුවෙන් පස්සෙත් විපක්ෂයේ කුහක බලාපොරොත්තු ඉටු වුණේ නැහැ. ආණ්ඩුව ආපදාව නිසි පරිදි කළමනාකරණය කර ගෙන පශ්චාත් ආපදා තත්ත්වය සාර්ථකව කළමනාකරණය කර ගනිමින් සිටිනවා. ආපදා ගෙවීම්, ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ අපි දකිනවා විපක්ෂය විසින් අවුස්සන ලද, විපක්ෂය විසින් උසිගන්වන ලද සුළු පිරිසක් නැවත උපවාස, උද්ඝෝෂණ සහ වැඩවර්ජන කිරීමට එළියට පැමිණ තිබෙන බව. අපි රජයක් ලෙස උපවාස කිරීමට, උද්ඝෝෂණය කිරීමට සහ වැඩවර්ජන කිරීමට ඔවුන්ට ඇති අයිතියට ගරු කරනවා. නමුත් අවස්ථාවාදී සුළු පිරිසකගේ උඟුලේ වැටෙන්න අපි සූදානම් නැහැ. ඉතාම විනිවිධභාවයකින් අදාළ පත්වීම් ලබා දෙනවා.
- නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ එකම දවසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට යනවා. මේවා වෙන්නේ කොහොමද ?
මුලින්ම කියන්න ඕනෑ සැලසුම් සහගතව ශිරන්ති රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ එකම දිනයක නීතිය හමුවට ගෙනාවේ නැහැ. ඔවුන් දෙදෙනාට වෙනස් වෙනස් චෝදනා තිබෙන්නේ. ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස කැඳවීමක් ලැබුණේ මීට සති කිහිපයකට පමණ පෙර. නමුත් එතුමිය එම දිනයේ පැමිණීමට නොහැකි බව පවසමින් වෙනත් දිනයක් ඉල්ලා සිටියා. ඒ වගේම නාමල් රාජපක්ෂ මහත්මයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස කැඳවීමක් ලැබුණත් ඔහු ඉන්දීය සංචාරයක නිරතව සිටි සිටි වෙනත් දිනයක් ඉල්ලා සිටියා. මම විශ්වාස කරන්නේ නැහැ මේ රටේ සාමාන්‍ය මනුස්සයෙකුට මූල්‍ය අපරාධ කොට්ඨාශයෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ ආකාරයේ කැඳවීමක් ලැබුණොත් වෙනත් දිනයක් ලබා දෙයි කියලා. අඩුම ගානේ පොලිසියට එන්න කිව්වත් ‘මට එන්න බැහැ දවස් 14ක් දෙන්න’ කියලා කියන්න පුළුවන් කියලා. නමුත් පසුගිය 76 වසර පුරාම මේ රට පාලනය කළ පක්ෂ දෙකේ ඉහළම නායකයෝ කළේ මේවා තමයි. ඔවුන් නීතියට උඩින් හිටියේ. ඔවුන් හිතාගෙන හිටියේ ‘අපි ඉන්නේ නීතියට ස්පර්ශ කළ නොහැකි තැනක’ කියලා. ඒ නිසා තමයි ශිරන්ති රාජපක්ෂ කියන්නේ ‘මම දවස් 14කට පස්සේ එන්නම්’කියලා. ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් ගත කරන කොට මුළු අධිකරණ ශාලාවම තුෂ්ණිම්භූත වුණා. ඒකට හේතුව තමයි ඔවුන් කවදාවත් විශ්වාස කළේ නැහැ, හිතුවේ නැහැ රනිල් වික්‍රමසිංහට, මහින්ද රාජපක්ෂට, ශිරන්ති රාජපක්ෂට, නාමල්ට අධිකරණය හමුවට එන්න වෙයි කියලා, නීතිය ස්පර්ශ කරයි කියලා. ජාතික ජන බලවේගය රජය තමයි ඉතිහාසයේ පළමු වැනි වතාවට හිටපු ජනාධිපතිවරුන්ට, ජනාධිපති ආර්යාවන්ටත් නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා රටට පෙන්නලා දුන්නේ. මේක අපි ආණ්ඩුවක් විදිහට, පක්ෂයක් ලෙස රටට, ජනතාවට දුන්න හොඳ ආදර්ශයක්. විපක්ෂය බලාපොරොත්තු වෙන විදිහට කවදා හෝ ඔවුන් බලයට පත් වුුණාට පස්සේ අපි ඇති කළ මේ සම්ප්‍රදායට අපිටත් යටත් වෙනවා. වර්තමාන ජනාධිපතිතුමත් නීතියට යටත්.
- මාස 10කට අධික කාලයක් තිබුණ විගණකාධිපති අර්බුදය නිමාවට පත් වුණා. නව විගණකාධිපතිවරිය විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන්ම පත් වුණා. නමුත් විපක්ෂය ප්‍රචාරය කළේ මීට වෙනස් කතාවක්. ඇත්තටම විගණකාධිපති පත් කිරීමේ දී මොකද වුණේ ?
ඇත්ටම විගණකාධිපති පත් කිරීමේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් යෝජනා කළා. නමුත් එවකට පැවති ව්‍යවස්ථාදායක සභාව විසින් ඇතැම් නම් විහිළු සහගත ලෙස ප්‍රතික්ෂේප කළා. ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සභාවට ලැබී ඇති බලතල අනුව ජනපතිවරයා යම් නමක් යෝජනා කළ විට ඒ නම සුදුසුකම් අනුමත කිරීම තමයි ව්‍යවස්ථාදායක සභාවේ නිල කාර්යය වෙන්නේ නමුත් අපට මතකයි ඇතැම් නම් ප්‍රතික්ෂේප කළේ, ‘මෙයාට වඩා සුදුසු අය එළියේ ඉන්නවා, ඒ නිසා මෙයා සුදුසු නැහැ’ කියලා වගේනේ. ඒ කියන්නේ යම්කිසි නමක්, යම්කිසි පුද්ගලයෙක් ලංකාවේ විගණකාධිපති කර ගන්න විපක්ෂයට අවශ්‍ය වුණා. ඔහුගේ නම යෝජනා කර එවන තෙක් ව්‍යවස්ථාදායක සභාවට ජනතිවරයා යොමු කළ සියලුම නම් ප්‍රතික්ෂේප කරන භූමිකාවක තමයි ඔවුන් කටයුතු කළේ. කෙසේ හෝ වේවා පරණ ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ සාමාජිකයින්ගේ ධුර කාලය අවසන් වුණා. දැන් අලුත් විගණකාධිපතිනියක් පත්ව සිටිනවා. එම ආයතනයේ කටයුතු සුපුරුදු ලෙස සිදුවෙයි කියලා අපි විශ්වාස කරනවා.
- දැවැන්ත ගල් අඟුරු වංචාවක් ගැන විපක්ෂය බරපතළ චෝදනාවක් කරනවා. මේ ගැන ඔබට කියන්න තියෙන්නේ කුමක් ද ?
ඔය සම්බන්ධයෙන් පසුගිය දවස්වල පාර්ලිමේන්තුවේ දී නොකඩවා විවාද කළා. අජිත් පී. පෙරේරා මන්ත්‍රීතුමා මේ ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේ බලශක්ති විෂයභාර අමාත්‍ය කුමාර ජයකොඩි සහෝදරයා හිටියා. ඔහු මේ චෝදනා සම්බන්ධයෙන් ඉතාම නිරවුල්ව පැහැදිලි කිරීමක් කළා. දැන් සතියක පමණ කාලයක සිට මම සහභාගී වන රූපවාහිනී වැඩසටහන් වලදී, කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී නලින්ද ජයතිස්ස සහෝදරයා, විෂයභාර අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමා පැහැදිලි කිරීම් කරලා තිබෙනවා. ඇත්තටම විපක්ෂයේ අරමුණ පැහදිලි යි. දෙරණ වාද පිටිය වැඩසටහනේ දී මම මේ සම්බන්ධයෙන් මුලින්ම අභියෝගයක් කළා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහත්මයා ඇවිත් කිව්වා ‘මෙතැන වංචාවක් වෙලා තියෙනවා’ කියලා. මම ඔහුට ප්‍රසිද්ධියේ කිව්වා ‘කරුණාකරලා කියන්න කවුද වංචාව කළේ ?, ආණ්ඩු පක්ෂයේ යම් මන්ත්‍රීවරයෙක්, ආණ්ඩුවට සම්බන්ධ යම්කිසි කෙනෙක් හෝ යම්කිසි ආයතනයක් විසින්, හිතාමතා හෝ නොසිතා හෝ යම්කිසි බලය අවභාවිතාවක් කරලා, එක රුපියලකින් හෝ ආණ්ඩුවට වංචාවක් කරලා තිබෙනවා ද, පාඩුවක් කරලා තිබෙනවා ද, අයථා ලෙස මූල්‍ය ලාභයක් හිතමාතා හෝ නොසිතා ලබා ගෙන තිබෙනවා නම් පැහැදිලිව ඇඟිල්ල දික්කරලා පෙන්වන්න’ කියලා මම පුබුදු ජාගොඩට අභියෝග කළා. ඔහුට උත්තරයක් දී ගන්න බැරි වුණා. පුබුදු ජාගොඩ මහත්මයා කිව්වේ මොකක්ද ?, ‘නැහැ, එහෙම වංචාවක් වෙලා නැහැ’ කියලා ඔහු කිව්වා. ඒ කියන්නේ ගල් අඟුරු ආනයනයේදී වංචාවක් වුණා කියලා ආණ්ඩුවට හෝ ආණ්ඩුවට සම්බන්ධ කිසිවෙකුට පැහැදිලිව ඇඟිල්ල දික්කරන්න බැහැ. විපක්ෂයේ අරමුණ ඉතාම පැහැදිලියි. විපක්ෂයට අවශ්‍ය කරන්නේ ගල් අඟුරු වංචාවක් වෙලා ද, බල ශක්ති ක්ෂේත්‍රයේ වංචාවක් වෙලා ද කියලා සොයා බැලීම නොවෙයි. ඔවුන් අවශ්‍ය කරන්නේ කුමාර ජයකොඩි සහෝදරයාට පහර ගැසීම. නැවත වරක් ගෝඨගේ කාලේ වගේ විදුලිබල කප්පාදුවකට යයි, රට අඳුරේ තියයි කියන කුහක අපේක්ෂාව තමයි විපක්ෂයට තිබුණේ. විපක්ෂයේ ඒ සිහින සැබෑ කර ගන්න ජාතික ජන බලවේගයේ කිසිම අමාත්‍යවරයෙක්, මන්ත්‍රීවරයෙක් ඉඩ දෙන්නේ නැහැ. අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 පෙබරවාරී 08 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි















