තුන්කොන් සටනේ ශ්‍රී ලංකා පළමු අභියෝගය සිම්බාබ්වේට එරෙහිව

හෙට තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, දසුන් ශානක (නායක), භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, සහ ඒෂාන් මාලිංග.

එක්දින තරගාවලියේ ලද අමිහිරි පරාජය අමතක කර දමමින් පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව හෙට (20 දා) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය පළමු තරගයට පිවිසෙනු ඇත. රාවල්පිණ්ඩිහි පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සතු සතුටු දායකම සිදුවීම වන්නේ මෙතෙක් ආබාධයන් වලට ලක්ව සිටි වනිදු හසරංග සහ වේග පන්දු යවන දුෂ්මන්ත චමීර දෙදෙනාම හෙට පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු ශාරීරික යෝග්‍යතා මට්ටමකින් පසුවීමයි.

පාකිස්තානයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගය අතරතුරදී හසරංග කලවයේ මාංශ පේෂීවල ආබාධිත තත්ත්වයකට ගොදුරු වූ අතර චමීර දණ හිසේ වේදනාව හේතුවෙන් පාකිස්තානයට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටියේය.

හෙට තරගයේදී බොහෝ දෙනාගේ අවධානය යොමුවන කරුණක් බවට පත්ව තිබෙන්නේ තෙවැනි එක්දින තරගයේදී මංගල එක්දින වරම් දිනාගත් නවක ක්‍රීඩක පවන් රත්නායක හෙට තරගයට ක්‍රීඩා කරන්නේද යන්න වගයි. නිත්‍ය නායක චරිත් අසලංක අසනීප තත්ත්වයකට ගොදුරු වූ නිසා ඔහු ශ්‍රී ලංකාව බලා යළිත් පැමිණි නමුත්, ඔහුගේ ස්ථානය බොහෝ විට භානුක රාජපක්ෂ වෙත හිමිවනු ඇත.

මාස 10 කට ආසන්න කාලයකින් පසු නැවතත් ජාත්‍යන්තර විස්සයි-20 පිටියට අවතීර්ණව සිටින භානුකට, චරිත් මෙන්ම මැද පෙළ පිතිකරුවකු ලෙස වේගයෙන් පන්දුවට පහරදීමට ඇති හැකියාව, හෙට තරගයේදී ඔහුට ස්ථානය වෙන්වීමට හේතු වී තිබේ. එමෙන්ම ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන කණ්ඩායමට තේරීමටද භානුකට හෙටින් ආරම්භ වන තරගාවලිය හොඳ අවස්ථාවක් උදාකර දී තිබේ.

2023 වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණය සඳහා අවසන් මහ තරගයේදී නොදැවී රැස් කරන ලද ලකුණු 71 හැරුණු කොට අනතුරුව පැවැති තරග කීපයේදීම භානුක පිතිකරුවකු ලෙස අසාර්ථක වූවේය. එබැවින් ඔහුව මෙම වසර මුලදී නවසීලන්ත පිලට එරෙහිව පැවැති තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවිණ. සමස්ථයක් ලෙස භානුකගේ අවසන් ජාත්‍යන්තර තරග 15 පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔහු එකම අර්ධ ශතකයක් හෝ වාර්තා කර ගැනීමට අපොහොසත්ව ඇත.

මීට පෙර ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකයාව කටයුතු කළ දසුන් ශානක එම නායකත්වයෙන් ඉවත් කිරීමෙන් පසු නැවතත් කණ්ඩායම මෙහෙයවනු ලබන පළමු අවස්ථාව වන්නේ සිම්බාබ්වේට එරෙහිව හෙට ආරම්භ වන තරගයයි. තරගාවලිය ආරම්භයේදී අසලංකගේ සහායකයා ලෙසින් දසුන්ව නම් කෙරුණු ලැබුවත්, නිත්‍ය නායකයා හදිසියේ අසනීපව සිය රට බලා ගිය හෙයිින් කණ්ඩායම මෙහෙයවන සුක්ඛානමේ වගකීම දසුන් කර මතට පැටවී තිබේ.

2026 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් මෙම තරගාවලිය පැවැත්වෙන හෙයින් එහි උපරිම වාසිය උකහා ගැනීමට ශ්‍රී ලංකා පිල වග බලා ගත යුතුය. මෙහිදී දසුන්ටද නායකත්වයට අමතරව කණ්ඩායමේ අංක 4 හෝ අංක 5 පිතිකරණ ස්ථානයෙන් වැඩි වගකීමක් පැවරී තිබේ.

ඉහතින් සඳහන් කළ ආකාරයට වනිඳු හෙට තරගයට ක්‍රීඩා කළහොත් අංක 7 ස්ථානය පිළිබඳව වඩාත් සුපැහැදිලි සහ විශ්වාසනීයත්වයක් ඇති කරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවනු ඇත. මන්ද ඔහු පාකිස්තානයට එරෙහිව පැවැති පළමු තරගයේදීද ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු අතර සිටින නිසාවෙනි. එමෙන්ම ශ්‍රී ලංකාවට විශේෂඥ පන්දු යවන්නන් පස් දෙනෙකුද සමග අවතීර්ණ වීමට වනිඳුගේ භූමිකාව ඉඩ සලස්වාදීම තවත් සැලකිය යුතු මට්ටමේ වාසියක් වනු ඇත.

තරග පැවැත්වෙන පිණ්ඩි ක්‍රීඩාංගණය ගත් විට ඉතා අධික ශීත කාලගුණයක් පවතින බැවින් රාත්‍රී කාලයේ පිණි සහිත තත්ත්වය වැඩි වශයෙන් ඇතිවීම නිසා කිසියේ වාසිය ඉතාමත් තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන් සමඟින් වැඩි විශ්වාසයක් තබා තරගයට අවතීර්ණ වන ශ්‍රී ලංකා කණ්ඩායමට, රාත්‍රී කාලයේදී නිසියාකාරව පන්දුව ග්‍රහණය කර ගැනීමට පිණි සහිත තත්ත්වය දැවැන්ත බාධාවක් ගෙන එනු ලබන බැවිනි. කාසියේ වාසිය යනු පාලනය කළ නොහැකි දෙයක් බැවින් ශ්‍රී ලංකාව බොහෝ විට වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟින් අවතීර්ණ වුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. එහිදී දුෂ්මන්ත චමීර සමඟින් නුවන් තුෂාර සහ එෂාන් මාලිංග දෙදෙනාම ක්‍රීඩා කරනු ලබන අතර වනිඳුගේ සහායක දඟ පන්දු යවන්නා ලෙස මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

හෙට තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, දසුන් ශානක (නායක), භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, සහ ඒෂාන් මාලිංග.

මූලාශ්‍රය – srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website