තිරය පිටුපස කතාව: සංවර්ධන නිලධාරීන් තරඟ විභාගය ලියා ගුරු පත්වීම් ගැනීමට එකඟ වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග තුන්වෙනිදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව දින නවයක් පුරා පැවති සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය අත්හැර දැමීමට උපවාසකරුවෝ තීරණය කළහ.

ගුරු සේවය සඳහා විසිතුන් දහසක් බඳවා ගැනීම වෙනුවෙන්  තරඟ විභාගයක් පැවැත්වීමට එරෙහිව මෙම උපවාසය ආරම්භ කරන ලද්දේ පාසල් වලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් විසිනි. ඔවුන් පෙන්වා දෙන්නේ උපාධිධාරීන් වන තමන් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගෙන පාසල් වලට අනුයුක්ත කිරීමෙන් පසු ගුරුවරුන් ලෙස වසර ගණනාවක් සේවය කර ඇති බවත් එලෙස සේවය කළ තමන්ට විභාගයකට පෙනී සිටින්නැයි පැවසීම අසාධාරණ බවය. එහෙත් රජයේ ස්ථාවරය වූයේ අනිවාර්යෙන්ම රජයේ ඕනෑම වෘත්තියකට බඳවා ගන්නා ක්‍රමවේදයට අනුව මිස ඉන් පරිභාහිරව ගුරුවරු බඳවා ගත නොහැකි බවය. ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ද පවතී.

සංවර්ධන නිලධාරීන් ලෙස 2015 -19 ආණ්ඩු සමයේ බඳවා ගත් මෙම උපාධිධාරීන් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ  පාසල් වලට අනුයුක්ත කෙරුණි. ඒ අයගෙන් බහුතරයක් ගුරුවරු ලෙස ඉගැන්වීම් කටයුතු කළහ.

උපාධිධාරීන් තරඟ විභාගයකින් තොරව ගුරු සේවයට බඳවා ගැනීමට එරෙහිව සමාජයේ ද දැඩි කතාබහක් පසුගිය සතිය තුළ නිර්මාණය විය.

කෙසේ නමුත් උපවාසය අත්නොහැරී සංවර්ධන නිලධාරීන් ප්‍රකාශ කළේ තරඟ විභාගයකින් තොරව ගුරු සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් රජය තීරණයක් ගන්නා තුරු සටන් කරන බවය. මෙම විරෝධතාවය සමඟ දිගින් දිගටම සම්බන්ධ වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උපවාසකරුවන්ට හමුවීමෙන් අනතුරුව තමන්ගේ රජයක් යටතේ ප්‍රශ්නය විසඳන බවට වන පොරොන්දුවක් ලෙයින් ලියා දෙන බව ද පැවසීය.

පසුගිය 03 වැනිදා ජනාධිපතිවරයා හමුවට ගිය සංවර්ධන නිලධාරීන්ට  ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එම සියලු දෙනාගේ වෘත්තීය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බවත් පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, එබැවින් ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙස තමා ඔවුන්ට ආරාධනා කරන බවත්ය.

එම විභාගයෙන් අසමත් වුව ද සංවර්ධන නිලධාරීන් ලෙස පාසල්වල කටයුතු කළ හැකි බව ද අවශ්‍ය සුදුසුකම් සපුරා ගනිමින් රාජ්‍ය සේවය තුළ ඉදිරියට යාමට ඇති හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය. ඒ සියල්ල සමඟ එකඟත්වය පළකළ උපවාසකරුවෝ එදිනම උපවාසය අත්හැරියහ. උපවාසකරුවන් තරඟ විභාගයකට පෙනී සිට ගුරුපත්වීම් ලබාගැනීමට එකඟතාවය පළ කළහ.

ජනාධිපතිතුමාගේ සාකච්ඡාවෙන් පසු උපවාසය පැවති ස්ථානයට පැමිණි  කණ්ඩායම උපවාසය අත්හැරීමට ගත් තීන්දුව පිළිබඳව එහි සිටි පිරිසට දැනුම් දුන්හ. ඒ අවස්ථාවේ දින නවයක් පුරා උපවාසයේ යෙදී සිටි උපවාසකරුවන්  සාමාන්‍ය තත්ත්වයෙන් අට්ටාලයෙන් බැස ප්‍රීති ඝෝෂා නගන අයුරු දැක ගත හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website