කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළින් 2019 සිට 2025 දක්වා ක්ෂය රෝගීන් 6658 ක් වාර්තා වී ඇති බවත්, ක්ෂය රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන අවදානම් සාධක ලෙස අඩු ප්රතිශක්තීකරණය, ජනාකීර්ණ සහ අසතුටුදායක වාසස්ථාන, මන්ද පෝෂණය, ජීවන රටා සාධක සහ සමීප ආශ්‍රය යනාදිය හේතුවන බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය.
Mycobacterium tuberculosis නැමැති බැක්ටීරියාව ආසාදනය වීමෙන් පසු, ශරීරයේ ප්රතිශක්තීකරණය භීන වන අවස්ථාවලදී එය පසුව කාලීනව සක්‍රිය ක්ෂය රෝගය දක්වා වර්ධනය වන බව අමාත්‍යවරයා පවසා සිටියේය.
ක්ෂය රෝගය ඇතිවීමට බලපාන සාධක ලෙස, පෙනහැලි ක්ෂය රෝගියෙකු කහින විට, කිවිසුම් යවන විට, කතා කරන විට හෝ සිනාසෙන විට හෝ ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සහිත ක්ෂුද්‍ර බිඳිති (airborne droplets) වාතයට මුදා හැරෙන බවත්, එම බිඳිති ආශ්වාස කිරීම මගින් නිරෝගී පුද්ගලයෙකුගේ ශ්වසන පද්ධතියට බැක්ටීරියාව ඇතුළු වන නිසා මෙලෙස රෝගය ව්‍යාප්ත වීම සිදු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
කොළඹ මහ නගර සභා සීමාව තුළ ක්ෂය රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සියලුම රෝගීන්ට නොමිලේ ඖෂධ ලබා දීම සහ සෘජු නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා දීම සිදු කරන බවත්, අධි අවදානම් සහිත නාගරික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ජංගම එක්ස්-රේ රථ යොදා ගෙන නොමිලේ පරීක්ෂණ සායන පැවැත්වීම සිදු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය . එමෙන්ම, හඳුනාගත් රෝගීන්ගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් පරීක්ෂාවට ලක් කර, අවශ්‍ය අවස්ථාවලදී පූර්ව ආරක්ෂණ ප්‍රතිකාර ලබාදීමට ද කටයුතු කරන බව සඳහන් කළේය.
මීට අමතරව, නාගරික ප්‍රජාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, සෞඛ්‍ය උපදේශකවරුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් මෙන්ම ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තවද, අධි අවදානම් කණ්ඩායම් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීම මෙන්ම ආබාධ සහිත සහ වයස්ගත පුද්ගලයන්ගේ ක්ෂය රෝග අවදානම පරීක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















