රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 236ක් විදේශ රටවල – මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

රතු නිවේදන නිකුත් කර ඇති ශ්‍රී ලාංකීය අපරාධකරුවන් 236 දෙනෙකු මේ වන විට විදේශීය රටවල සැඟවී සිටින බවත්, ඒ අතරින් 97 දෙනෙක් සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුර මගින් ඉහත කරුණු අනාවරණය විය.

රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, මුදල් විශුද්ධිකරණය, නීති විරෝධී වත්කම් රැස් කිරීම, අපරාධවලට කුමන්ත්‍රණය කිරීම හා අපරාධ සඳහා ආධාර අනුබල දීම ඇතුළු විවිධ සංකීර්ණ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයන් බවත්, ඒ අතරින් අපරාධකරුවන් 32 කු මනුෂ්‍ය ඝාතන සිදු කර ඇති බව ද , අනෙකුත් අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම හෝ වෙනත් බරපතල සංකීර්ණ අපරාධවලට හෝ සම්බන්ධ සැකකරුවන් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එක් අපරාධකරුවෙකු වෙනුවෙන් රතු වරෙන්තු එකකට වැඩි සංඛ්‍යාවක් නිකුත් නොකරන බවත්, ජාත්‍යන්තර පොලිස් නිවේදන මඟින් සැකකරුවන්ගේ ජීව දත්ත තොරතුරු ජාත්‍යන්තර පොලිස් තොරතුරු පද්ධති තුළ සංසරණය කර ඇති නිසා සැකකරුවකු අත්අඩංගුවට පත්වන තෙක් එය රහස්‍ය ලේඛනයක් ලෙස තබා ගන්න බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

විදේශීය රටවල සැඟවී සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ඔවුනට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට 1977 අංක 08 දරන උදර්පණ පනතේ ප්‍රතිපාදන හෝ එක් එක් රටවල් සමඟ අත්සන් කර ඇති ගිවිසුම්වල ප්‍රතිපාදන අනුව කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website