බන්ධනාගාර තදබදය අවම කිරීමට නීතිමය සංශෝධන සහ විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට යොමු කිරීම සහ රස පරීක්ෂක වාර්තා ලබාදීම කඩිනම් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු විය. බන්ධනාගාර තදබදය අවම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මාලාවක්, මෙම කාරක සභාව සඳහා ඒ ඒ අංශ සම්බන්ධ කර ගනිමින් සිදු කෙරුණු අතර එහි තවත් පියවරක් ලෙස මේ සාකච්ඡාවද සිදු කෙරිණි.

බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා යෝජිත නීති සංශෝධන, විවෘත බන්ධනාගාර හා වැඩ කඳවුරු ක්‍රමවේද, කොන්දේසි පිට මුදාහැරීම සහ යහපත් හැසිරීමක් ඇති රැඳවියන් සේවා නියුක්ති වැඩසටහන් සඳහා යොමු කිරීම ඇතුළු යෝජනා මෙහිදී සමාලෝචනය කෙරිණි.

එමෙන්ම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා විය. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය, ප්‍රවාහන පහසුකම් සහ අතිකාල සේවා වැඩිදියුණු කිරීම මඟින් ගොඩගැසී ඇති වාර්තා ප්‍රමාණය අඩු කර ගැනීමට ගෙන ඇති පියවර ද මෙහිදී අවධානයට ලක් විය.

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා අදාළ නීතිමය හා පරිපාලනමය සංශෝධන ඉදිරියට ගෙන යාමටත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණයෙන් යුතුව යෝජිත ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමටත් අවශ්‍ය පියවර පිළිබඳව කාරක සභාවේදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website