
දශක පහකට අධික කාලයක් පුරා ලාංකීය පශු සම්පත් ක්ෂේත්රයේ ප්රමුඛතම නිෂ්පාදකයා ලෙස පාරිභෝගික හදවත් තුළ තැබූ නොමැකෙන විශ්වාසය සහ විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන්, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) 2026 ඔක්තෝබර් 15 වන දින පැවැත්වුණු සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම නිෂ්පාදකයින් සඳහා වන රිදී සම්මානයෙන් (Silver Award) පිදුම් ලැබීය.
ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් සංවිධානය කරනු ලබන, කාර්මික විශිෂ්ටතාව උදෙසා වන “CNCI Achiever Awards 2026” සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ අඛණ්ඩව 25 වන වරටයි. සමස්ත ලංකාවේම රාජ්ය හා පෞද්ගලික අංශයේ සියලු නිෂ්පාදකයන් ආවරණය කරමින් කාණ්ඩ පහක් යටතේ මෙම තරගාවලිය පැවැත්විණි.
අති විශාල (Extra Large), විශාල (Large), මධ්යම (Medium), කුඩා (Small) සහ ක්ෂුද්ර (Micro) ලෙස එම වර්ගීකරණය සිදු කර තිබූ අතර, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අති විශාල (Extra Large) කාණ්ඩය යටතේ මෙම සම්මානයට සුදුසුකම් ලැබ තිබිණ. මෙහිදී ලංකාවේ දැවැන්ත රාජ්ය හා පෞද්ගලික අංශයේ නිෂ්පාදකයන් අතරින් වසරේ විශිෂ්ටතම නිෂ්පාදකයාට හිමි රිදී සම්මානයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පිදුම් ලැබීමට සමත් විය.
2026 ඔක්තෝබර් 15 වන දින රාත්රී සිනමන්ලයිෆ් (Cinnamon Life) හෝටල් පරිශ්රයේදී කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු මෙම අභිමානවත් සම්මාන ප්රදානෝත්සවය සඳහා මණ්ඩලයේ සභාපති වෛද්යබී. සී. එස්. පෙරේරා මහතා, සාමාන්යාධිකාරී වෛද්්ය කේ. ජි. ජේ. එස්. දිස්නක මහතා, නියෝජ්ය සාමාන්යාධිකාරී (සංස්ථාව හා මෙහෙයුම්) ජයන්ත විජේරත්න මහතා, සහකාර සාමාන්යාධිකාරී(මුල්ය) රුවන්තිලකසිරිමහතා, සහකාර කළමනාකාරිණි (මෙහයුම් හා අධීක්ෂණ) කවිතා රෝෂිණි මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
තරගකාරී සමාගම්වල සමාජීය හා පාරිසරික වගකීම් කෙරෙහි අවධානය යොමු කරමින්, ක්ෂේත්රයේ නිෂ්පාදන තවදුරටත් ඉහළ තලයකට ගෙන ඒම දිරිගැන්වීම සඳහා මෙම ඇගයීම සිදු කරනු ලබයි. එහිදී ගුණාත්මක ප්රමිතීන්, පාරිභෝගික මිත්රශීලීත්වය, ආයතනික සැලසුම්කරණය, පර්යේෂණ හා සංවර්ධන කටයුතු, සේවක ප්රතිලාභ සහ යහපත් කාර්මික සබඳතා යන ක්ෂේත්රයන්හි දක්වන ලද විශිෂ්ට කාර්යසාධනය පදනම් කරගනිමින් මෙම සම්මානය පිරිනමන ලදී.
ශ්රී ලාංකේය දැවැන්ත නිෂ්පාදකයන් අතර ජනතා විශ්වාසය දිනූ ප්රමුඛතම ආයතනයක් ලෙස මණ්ඩලය ඇගයීමට ලක් කිරීම වෙනුවෙන්, සමස්ත ශ්රී ලාංකික පාරිභෝගික ජනතාව වෙත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හෘදයාංගම ප්රණාමය පිරිනමනු ලබයි. මෙම ඓතිහාසික ජයග්රහණය උදෙසා කැපවුණු, නිෂ්පාදන ක්රියාවලියේ පෙරගමන්කරුවන් වන ගොවිපළ සේවක මහත්ම මහත්මීන්, ප්රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇතුළු සහය දැක්වූ සියලු දෙනා ඇගයීමට ලක්කිරීමේ විශේෂ උත්සවයක් පසුගිය 16 වනදා ප්රධාන කාර්යාලයේදී පැවැත්විණි.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය – කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම්හාවාරිමාර්ගඅමාත්යාංශය
පිටපත රචනය-නලින්ද පුෂ්පකුමාර – මාධ්ය සම්බන්ධිකාරක- NLDB















