SLS ප්රමිති සහතික ලාංඡනය නොමැති ආරක්ෂිත හිස්වැසුම් අලෙවියට තැබූ කොළඹ ආයතනයකට අධිකරණය විසින් රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (15) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. එම නිල නිවේදනය පහත පළ වේ.
ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන SLS 517 ප්රමිති සහතික ලාංඡනය නොමැති ආරක්ෂිත හිස්වැසුම් අලෙවිය සඳහා ප්රදර්ශනය කර තැබීම සම්බන්ධයෙන් කොළඹ 10, ජයන්ත වීරසේකර මාවතේ පිහිටි Ruzaik Motors (Pvt) Ltd ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවකදී රුපියල් 100,000/-ක (රුපියල් ලක්ෂයක) දඩ මුදලක් නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026 ඔක්තෝබර් 06 දින සිදුකළ වැටලීමේදී, අදාළ ආයතනය තුළ SLS 517 ප්රමිති සහතික ලාංඡනය නොමැති ආරක්ෂිත හිස්වැසුම් අලෙවිය සඳහා ප්රදර්ශනය කර තිබූ බව අනාවරණය කර ගන්නා ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ අංක 05 හමුවේ නඩු පවරන ලදී.
අධිකරණ තීන්දුව – රුපියල් ලක්ෂයක දඩයක්!
2026 ඔක්තෝබර් 14 දින අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ගරු අධිකරණය විසින් රුපියල් 100,000/-ක දඩ මුදලක් නියම කරන ලදී.
ආරක්ෂිත හිස්වැසුම් සම්බන්ධයෙන් නීතිය පවසන්නේ කුමක්ද?
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12(2) වගන්තිය යටතේ, 2015 ජූලි 16 දිනැති අංක 1923/65 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද අංක 59 දරන විධානය මඟින් අදාළ කාණ්ඩවල ආරක්ෂිත හිස්වැසුම් සඳහා ප්රමිති සහතික අවශ්යතා නියම කර තිබේ.
ඒ අනුව, අදාළ විධානයට යටත් වන යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් SLS 517 ප්රමිතිය අනුව නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැතිව නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හා ප්රදර්ශනය කිරීම තහනම් වේ.
මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණ වන්නේ, නීතිය උල්ලංඝනය වීමට හිස්වැසුමක් පාරිභෝගිකයෙකුට අලෙවි කර අවසන් වීම අත්යවශ්ය නොවන බවයි. අදාළ සහතික ලාංඡනය නොමැති හිස්වැසුමක් අලෙවිය සඳහා ප්රදර්ශනය කර තැබීමද නීතිමය වරදක් වේ.
යතුරුපැදිකරුවන්ගේ අවධානයට – ඔබේ හිස්වැසුම ඔබේ ජීවිතය ආරක්ෂා කළ හැකිද?
යතුරුපැදි අනතුරකදී හිසට සිදුවන බරපතළ තුවාල මරණයට හෝ දිගුකාලීන ආබාධවලට හේතු විය හැකිය. එවැනි අවස්ථාවක නිසි ආරක්ෂක ප්රමිතීන්ට අනුකූල හිස්වැසුමක් නිවැරදිව පැලඳ සිටීම හිසට සිදුවන තුවාලවල බරපතළකම අඩු කිරීමට උපකාරී වේ.
එහෙත් වෙළෙඳපොළේ ඇති සෑම හිස්වැසුමක්ම එකම ආරක්ෂක මට්ටමක් ලබාදෙන බව උපකල්පනය කළ නොහැකිය.
හිස්වැසුමක බාහිර පෙනුම, වර්ණය, හැඩය, වෙළෙඳ නාමය හෝ මිල පමණක් එහි ආරක්ෂාව තහවුරු කරන සාධක නොවේ. එය අදාළ ආරක්ෂක ප්රමිතියට අනුකූලව නිෂ්පාදනය කර ඇති බවට විශ්වාසනීය සහතිකයක් තිබීම වැදගත් වේ.
SLS සහතික ලාංඡනය නොමැති වීමෙන් පමණක් යම් හිස්වැසුමක් අනතුරකදී අනිවාර්යයෙන් අසාර්ථක වන බව නිගමනය කළ නොහැකිය. එහෙත් අදාළ නීතිය යටතේ එම සහතික ලාංඡනය අනිවාර්ය කර ඇති විට එය නොමැතිව හිස්වැසුමක් අලෙවි කිරීම නීතිමය උල්ලංඝනයකි.
- හිස්වැසුමක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න.
හිස්වැසුමක් මිලදී ගැනීමේදී SLS 517 ප්රමිති සහතික ලාංඡනය පැහැදිලිව තිබේදැයි සහ එය විශ්වාසනීයදැයි පරීක්ෂා කරන්න. හිසට නිවැරදිව ගැළපෙන හිස්වැසුමක් තෝරාගැනීමද වැදගත්ය. හිස්වැසුම අධික ලෙස ලිහිල් හෝ තද නොවිය යුතු අතර, පැලඳ සිටින විට පහසුවෙන් ගැලවී නොයන ලෙස ගැළපිය යුතුය.
එසේම, නිකට පටිය සහ අගුල නිසි ලෙස ක්රියාත්මක වේදැයි පරීක්ෂා කරන්න. අනතුරකදී හිස්වැසුම හිසෙන් ගැලවී නොයෑම සඳහා නිකට පටිය නිසි ලෙස සවි කර තිබීම ඉතා වැදගත්ය.
හිස්වැසුමේ බාහිර හා අභ්යන්තර තත්ත්වය පරීක්ෂා කර ඉරිතැලීම්, හානි වූ ආරක්ෂක ආවරණ, දුර්වල පටි හෝ වෙනත් දෘශ්යමාන දෝෂ තිබේදැයි සොයා බලන්න. විශ්වාසනීය වෙළෙඳ ආයතනයකින් හිස්වැසුම මිලදී ගෙන නිවැරදි බිල්පතක් ලබාගැනීමද වැදගත්ය.
- අනතුරකට ලක් වූ හිස්වැසුමක් නැවත භාවිත කිරීම පිළිබඳවත් සැලකිලිමත් වන්න.
හිස්වැසුමක් බරපතළ ගැටීමකට ලක්වූ පසු එහි බාහිරින් හානියක් නොපෙනුණද අභ්යන්තර ආරක්ෂක ව්යුහයට හානි සිදුවී තිබිය හැකිය. එබැවින් එවැනි හිස්වැසුමක් නැවත භාවිත කිරීම වෙනුවට නිෂ්පාදකයාගේ ආරක්ෂක උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත්ය.
- ආරක්ෂිත හිස්වැසුම් අලෙවි කරන වෙළෙඳ ප්රජාවගේ විශේෂ අවධානයට!
යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් අලෙවි කරන නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන් සහ වෙළෙඳුන් විසින් අදාළ නීතිමය ප්රමිති සහ සහතික අවශ්යතා පිළිපැදීම අත්යවශ්ය වේ.
වෙළෙඳපොළට ඉදිරිපත් කරන භාණ්ඩවල අදාළ සහතික ලාංඡන තිබේදැයි තහවුරු කරගැනීම, භාණ්ඩවල මූලාශ්ර පිළිබඳ තොරතුරු පවත්වාගෙන යාම සහ පාරිභෝගිකයින්ට නිවැරදි තොරතුරු ලබාදීම වගකීම් සහගත වෙළෙඳාමේ වැදගත් අංග වේ.
හිස්වැසුමක් යනු සාමාන්ය විලාසිතා භාණ්ඩයක් නොවේ. එය මිනිස් ජීවිතයක් ආරක්ෂා කිරීම සඳහා භාවිත කරන ආරක්ෂක උපකරණයකි.
එබැවින් එවැනි භාණ්ඩවල ප්රමිතිය සම්බන්ධයෙන් නිෂ්පාදකයාගේ සිට අවසන් වෙළෙන්දා දක්වා සියලු පාර්ශ්වයන් වැඩි වගකීමකින් කටයුතු කළ යුතුය.
පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, අදාළ ප්රමිති සහතික අවශ්යතා ක්රියාත්මක කිරීම සහ නීති විරෝධී භාණ්ඩ වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා වැටලීම් සහ විමර්ශන අඛණ්ඩව ක්රියාත්මක කරනු ලබයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිල facebook පිටුවෙන් කළ සම්පූර්ණ උපුටා ගැනීමකි – සංස්කාරක
















