
බන්ධනාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පසුගිය 10 වැනිදා මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගා පරිශ්රයේ පිහිටි වාරියපොළ ශ්රී සුමංගල හිමියන්ගේ ප්රතිමාව අසලින් ආරම්භ කළ ‘නිදහසේ පාද යාත්රාව’ අද (15) සවස ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ළඟා විය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසට පාගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා මේ වන විට ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ අසුන් ගැනීමට කටයුතු කර තිබේ.
භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම්වරයා ඉදිරිපත් නොවීමට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන තිබේ.
උන්වහන්සේලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සෙත් පිරිත් සජ්ඣායනාවක් ද සිදු කළේය.
පාද යාත්රාව හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති අතර, මේ හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර මාර්ගයේ ද දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.












