විෂ මත්ද්රව්ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකයේ ක්රියාකාරිත්වය සහ මෙහෙයුම් කටයුතුවල ප්රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
දිවයින පුරා සිදුවන විෂ මත්ද්රව්ය ජාවාරම්, බෙදා හැරීම් හෝ ඒ ආශ්රිත ඕනෑම සැකකටයුතු ක්රියාකාරකමක් පිළිබඳ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීම සඳහා මෙම අංකය හඳුන්වා දී ඇත. රටේ ඕනෑම පුද්ගලයකුට මෙහිදී තොරතුරු ලබා දිය හැකි අතරම, තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීම සහ ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් ඉතා කඩිනමින් ක්රියාත්මක වේ. ජනාධිපති කාර්යාලයේ සහ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ සම්බන්ධීකරණය කෙරෙන මෙම සේවාව “රටම එකට” මාධ්ය මධ්යස්ථානයේ සිට ක්රියාත්මක වන අතර, ඕනෑම මොහොතක ඉතා සුරක්ෂිතව මහජනතාවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දීමට හැකියාව පවතී.
එමෙන්ම “රටම එකට” ජාතික මෙහෙයුම සඳහා එළැඹෙන නොවැම්බර් 05වෙනිදාට වසරක් සපිරීමට නියමිත අතර ඒ පිළිබඳව මෙන්ම විෂ මත්ද්රව්ය උවදුරෙන් රටේ අනාගත පරපුර ආරක්ෂා කර ගනිමින්, සුරක්ෂිත සහ මත්ද්රව්යවලින් තොර සමාජයක් ගොඩනැඟීම සඳහා ක්රියාත්මක මෙම ජාතික මෙහෙයුම වඩාත් ඵලදායීව ඉදිරියට ගෙන යාමට අදාළ කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.











